(Betty Heimann 1888-1961)
පර්යේෂණ කාර්යවල යෙදීමෙහි බොහෝ මිහිරි අත්දැකීම් තිබේ. එකක් පර්යේෂණයෙහි යෙදෙන මාතෘකාව ගැන පර්යේෂකයාගේ දැනුම වැඩි වීමය. මා ලියා ඇති සියලු පර්යේෂණ ලිපි සහ පොත් සියල්ලෙහි මූලික අරමුණ මගේම දැනුම වැඩි කර ගැනීමය. නිදර්ශනයක් මෙසේය: කෙටිකතා කලාව නමින් කෘතියක් වසර දෙකකට පෙර පළ කළෙමි. එහිලා පර්යේෂණ කිරීමෙන් ඒ කලාව ගැන මගේ දැනුම බෙහෙවින් වැඩි විය. ඒ විෂය ගැන සම්පූර්ණ දැනුමක් තවමත් මට නැත.
පර්යේෂණ කටයුතුවල තවත් අමුතු මිහිරක් තිබේ. මේ වූකලි ගුරුහරුකම් පිණිස සංවාද කරන මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්ය ඔබේසේකර යුවළ නිතර මා හා එකඟ වන දෙයකි. ඒ මෙයයි: එක් පර්යේෂණයක් කරගෙන යන අතර සිත්ගන්නා අමතර කරුණු මතුවේ. පර්යේෂණයෙහි මාතෘකාවට සෘජු සම්බන්ධයක් නැති එවැනි අමතර කරුණු පසු දවසෙක ලුහුබැඳයාම පිණිස සටහන් කරගැනීම පර්යේෂකයන්ගේ පුරුද්දයි. දැන් ඒ අමතර කරුණු පිළිබඳ කෙටි රචනා ලියා පළ කරන්නට නොයෙක් අවකාශ තිබේ. බ්ලොග් රචනාව එවන් වැඩවලට ඉතා හොඳ ශානරයකි.
වෙනත් පර්යේෂණයකදී මට හමුවුණ (සැබැවින්ම නැවත සිහියට ආ) කරුණක් ගැන කෙටි රචනයකි මේ. ඒ ලංකා විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම මහාචාර්යවරිය ගැනයි. ඇගේ නම බෙටී හයිමන්ය. ජර්මනියෙහි හයිඩල්බර්ග් විශ්විවිද්‍යාලයෙහි සේවය කරමින් සිටි ඇය දෙවෙනි යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූවාය. ඇය ජර්මානු යුදෙව් ජාතික කාන්තාවක වූ බැවිනි. ඇයට ලංකා විශ්වවිද්‍යාලයෙහි සංස්කෘත මහාචාර්යධුරය පිරිනැමුණේ 1944 දීය. ඇය එය 1945 වර්ෂයේදී බාරගත්තාය. 1949 වර්ෂය තෙක් ඇය ඒ තනතුර දරුවාය. ඇය ඉන් ඉවත් වූයේ විශ්‍රාම යන වයස එළඹ තිබුණ නිසාය. මුලින්ම ලංකාවට එන පනස් හත් වෙනි වියෙහි පසුවුවද ඇය ඉතා කාර්යශූර ලෙස ලංකා විශ්වවිද්‍යාලයෙහි සංස්කෘත අධ්‍යයන කටයුතු සංවිධානය කළ බව කියවේ.
1930 ගණන්වල සිට ජර්මනියේ සහ එංගලන්තයේ ඇගේ ප්‍රධාන පොතපත කීපයක්ම පළ විය. එසේම ආසියානු සහ යුරෝපීය ශාස්ත්‍රීය සඟරා ගණනාවකද ඇගේ ලිපි පළ වී ඇති බව මට සොයාගත හැකිවිය. ඇගේ සිත්ගත් විෂය ක්ෂේත්‍රය වී ඇත්තේ ඉන්දියානු දර්ශනයයි.
මහාචාර්ය හයිමන් ගැන මා මුලින්ම දැනගත්තේ මහාචාර්ය රත්නා හන්දුරුකන්ද ලියූ ලිපියකිනි. ලංකා විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම මහාචාර්යවරිය වූ මෙම ශාස්ත්‍රවන්තිය ගැන කිසිම උපහාර කලාපයක් පළ වී නැතැයි මහාචාර්ය හන්දුරුකන්ද 1994දී ලිව්වාය. ඉන් පසුව පවා එවැනි උපහාර කලාපයක් හෝ ලිපියක් පළවී ඇති බවක් මට සොයාගත නොහැකි විය.
විශ්‍රාම ගෙන ලන්ඩනය බලා ගිය ඇය දිගටම ශාස්ත්‍රීය ලේඛනයෙහි යෙදුණ බව පෙනේ. 1961දී සිදු වූ ඇගේ මරණයෙන් පසුවත් Facets of Indian Thought (1964) යන පොත පළව තිබේ. ඒ වූකලි ඇය ජීවත්ව සිටියදී ලියූ නමුත් පළ කළ නොහැකි වූ කෘතියකි.
මගේ පර්යේෂණය අතරතුර එකතු කරගත මහාචාර්ය හයිමන්ගේ රචනා කිහිපයක් කියවන කල ඇති වූයේ අමුතු මිහිරි හැඟීමකි. මේ නම් අපේ විශ්වවිද්‍යාල පද්ධතියෙහි බිහි වූ පළමු මහාචාර්යවරියගේ අදහස් නොවේද සිතිවිල්ල නිතර සිතට නැගීම ඒ මිහිරයි. ඒ වූකලි ශෝකාකූල හැඟීමක්ද ඇති මිහිරකි. ඇය උපතින් ජර්මන් ජාතික වුවද ඇයට ඇත්තේ රමණීය වූද පැහැදිලි වූද ගද්‍ය ශෛලියකි. ඇය පැහැදිලිව සිතිය හැකි, විනිවිදින මනසකින් යුතු කෙනෙක බව ඇගේ ගද්‍ය කියවන කල පෙනේ. 1934 දී පළ වූ උපනිෂද් කතාවල ඉංග්‍රීසි පරිවර්තනයකට කෙටි විචාරයක් ලියන මහාචාර්ය හයිමන් මෙසේ ලියයි:
“පුරාණ උපනිෂද් හොඳින් වටහා ගැනීමට (බටහිර) අපට හුරුපුරුදු චින්තන පදනමට මූලික වශයෙන්ම වෙනස් චින්තන පදනමකට අනුවර්තනය විය යුතුය; පුරාණ ග්‍රීක විතණ්ඩවාදීන්ගේ සිට අපට උරුම වී ඇති මිනිසා සහ තනි පුද්ගලභාවය යනු සියල්ල මනින මිම්මය යන බටහිර පූර්ව න්‍යාමය අත්හැර දැමිය යුතුය. එහිලා අප පූර්ව විතණ්ඩවාදී විශ්වීය උපකල්පනය වූ මනුෂ්‍යයා සහ ඔහුගේ උපරිම මනුෂ්‍යමය පරමාදර්ය, දෙවියන් යනු විශ්වයෙහි කොටසක් පමණකිය යන න්‍යාමය වෙත අප ආපසු යා යුතුය. එහෙත් අප මේ දුෂ්කර පියවර ගෙන එහි පිහිටා සිටි කල මුල් කාලීන උපනිෂද්වල එන සම්පූර්ණ ලෝකයත්, ඊට පෙර පැවති සියලු ග්‍රන්ථවල එන ලෝකයත් අවබෝධය කරගැනීමට මාර්ගය විවෘත වෙයි. මේ සියලු ග්‍රන්ථ පදනම් වන්නේ සියලු දෙයෙහි ඒකතාව සහ අන්තර්සම්බන්ධය පිළිබඳ අදහස මතය.”
මේ වචන කියවන කල අනේ එදා මටත් ඇගේ දේශනයක වාඩි වී සිටින්නට තිබිණි නම් යැයි මට සිතේ. ලෝක දෙකක දාර්ශනික පදනම් මෙලෙස කෙටි ඡේදයකට හකුළුවා ගෙන ළගන්නා ගද්‍යයෙන් ලිවිය හැකි ආචාර්යවරියන් හෝ වරුන් අද කී දෙනෙකු අද අපට සිටින්නේද?
මහාචාර්ය හයිමන් ලියූ මට කියවන්නට ලැබුණු සියලු ලිපිවලිනුත්, මට තවම කියවන්නට නොහැකි වූ එහෙත් උඩින් පල්ලෙන් බැලූ ලේඛනවලිනුත් පෙනෙන්නේ පෙරදිග ලෝකය පෙරදිගටම ආවේණික වූ දාර්ශනික පදනම්වල සිට අවබෝධ කර ගැනීමට ඇය දැක්වූ අනවරත ප්‍රයත්නයයි. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ උපරිම අවස්ථාවකදී බටහිර ශාස්ත්‍රවන්තියක වෙතින් එවැනි ලක්ෂණ දකින්නට ලැබීම අද පුදුම හිතෙන දෙයක් විය හැකිය. එහෙත් ඇය වැනි තවත් බොහෝ ශාස්ත්‍රවන්තයින් එකල සිටි බවද කිව යුතුය. Indian and Western Philosophy: A Study in Contrasts නමින් ඇය 1937 දී වර්ෂයේදී පොතක් පළ කළාය. එය ඉන්දියානු සහ බටහිර දර්ශන වෙනස් වන තැන් ගැන අධ්‍යයනයකි. එය මා තවම සම්පූර්ණයෙන් කියවා නැත. එහි එක් තැනක මෙවැන්නක් එයි. “බටහිර සහ ඉන්දීය දර්ශනවල ගමන් පථ ඇතැම් තැන්වලදී එකිනෙකට ළං වන බව පෙනෙතත් ඒවා කවදාවත් මුණ නොගැසෙනු ඇත.” මෙවන් නිගමන යටත්විජිත යුගයකදී හොඳට සේම නරකටද භාවිත විය හැකිය. එසේ කවදාවත් මුණ ගැසෙන ලෝකය සියලු දෙනා මුණ ගැසෙන විශ්වීය කතිකාවක් වෙතට එසවීම යටත්විජිතවාදයේ ශිෂ්ටාචාරකරණ කාර්ය බව යටත්විජිත යුගයේ එක් අවස්ථාවකදී කියවිණි. ඒ නිසා සිදුවන හිංසන අපමණය. ඒවා තවත් සිදුවේ.
අපේ විශ්වවිද්‍යාලයේ පළමු මහාචාර්යවරියගේ ශාස්ත්‍රීය ජීවිතය සොයා යන කෙනෙකුට දැනුම සහ බලය අතර සම්බන්ධතාව ගැන තවත් තොරතුරු හමුවනු ඇත.
මට දැන් ඒ වැඩේට වෙලාවක් නැත. මා මේ අතුරුපාරට පැන්නේ වෙනත් රචනාවක යෙදෙන අතරතුර බව ඔබට මතක ඇත. ප්‍රධාන පාරවලින් පිට පැන යන අතුරුපාරවල මිහිරි දේ හමුවන්නේ සැබෑ ජීවිතයේදී පමණක් නොවේ ! ශාස්ත්‍රීය ලෝකයේදී එය වැඩිවැඩියෙන් සිදුවේ.
Intresting Prof Amare...
ReplyDeleteKeep up the good work
Steve