Tuesday, July 6, 2021

මම කතා කියන්න ආස කෙනෙක් - කුසුම්සිරි විජේවර්ධන සමග ඉරිදා ලංකාදීපයට කළ සාකච්ඡාවක්

 








1.     ඔබගේ නවතම කෙටිකතා සංග්‍රහය 'ගෙදර'වට සිතියම' නිකුත් වෙන්නෙ වසර හතරකට පසුව. ඒ අතරතුර කාලයේ කෙටිකතා සංග්‍රහ විසාල ප්‍රමාණයක් ලංකාවේ නිකුත් වෙනවා. විශේෂයෙන් තරුණ නිර්නිර්මාණකරුවන් අතින්. කෙටිකතා රචනයේ මේ අලුත් උද්‍යෝගය ඔබ දකින්නේ කෙසේද?

 

ඇත්තටම ගත්තොත් තරුණ නිර්මාණකරුවන් අතින් කෙටිකතා සංග්‍රහ පළවීම අඩුයි. කවියට සාපේක්ෂව ඉතාම අඩුයි. ඒක කොච්චරද කියනවා නම් දැන් වයස අවුරුදු විසිගණන්වල හෝ තිස් ගණන්වල පසුවෙන ජාතික මට්ටමේ පිළිගැනීමක් ලැබුණ කෙටිකතාරකරුවො කවුද? එහෙම ජාතික මට්ටමේ කවියො කිවිඳියො විශාල පිරිසක් ඉන්නවා. ඒ ප්‍රසිද්ධිය පැත්තෙන්. කලාත්මක විශිෂ්ටත්වය සහ ගැඹුර අතින් ඒ වයස් කාණ්ඩයේ කෙටිකතාකරුවො අඩුයි. පසුගිය අවුරුදු දහයෙදි කෙටිකතා ක්ෂේත්‍රයෙ අලුතින් ස්ථාවර වුණු කෙටිකතා රචකයො තමයි ප්‍රභාත් ජයසිංහ, ඉසුරු චාමර සෝමවීර වගේ අය. ඊ ළඟට සුදර්ශන සමරවීර, සුමුදු සෙනෙවිරත්න, කාංචනා ප්‍රියකාන්ත, විරාජිනී තෙන්නකෝන්, ප්‍රින්ස් සේනාධීරවැනි අය. ඒ අය සියලු දෙනාම හුඟක් තරුණ අය නෙමේ. වෙනුර සරත් කුමාර, සඳනි ප්‍රාර්ථනා තෙන්නකෝන්, අමාලි අනුපමා මල්ලවආරච්චි, මනෝජ් ප්‍රසන්න යනාදී අය තමයි තරුණයි කියන්න පුළුවන්.  

   මෑතකදි අපේක්ෂා ඇති කරන කෙටිකතා පොත් පළ කරපු සුමුදු අතුකෝරළ, කේ. සංජීව, සුසන්ත මූණමල්පෙ, කාංචනා අමිලානි වගේ අයත් හුඟක් තරුණ අය නෙමේ

විශාල කෙටිකතා පොත් ගණනක් වසරකට පළවෙනවා ඇති. නමුත් කතා කලාව තුළ විශිෂ්ටයෙකු ලෙස ස්ථාපිත වෙමින් ඉන්න තරුණ රචකයො මදි. ඉසුරු චාමර සෝමවීර වගේ කෙනෙකුට හැකියාව තියෙනවා අලුත් පිරිසක් සමග ඉදිරියෙන් යන රචකයෙක් විදියට වැඩෙන්න.

 

  

2.     නවක කෙටිකතාකරුවන් තමන්ගේ නිර්මාණ තුළ ශිල්පීය විචිත්‍රත්වයට වඩා නිර්මාණයේ දාර්ශනික ප්‍රවේශය ගැන වැඩි අවධානයක් යොමු කරන බව පෙනෙනවා නේද?

 

ඒ ප්‍රශ්නයෙ යම් අර්ථයක් තියෙනවා. හැබැයි ශිල්පීය කාරණා ගැනත් ලොකු උනන්දුවක් අද තියෙනවා. විශේෂ දාර්ශනික ප්‍රවේශ ගැන අවධානය යොමු කරන කෙටිකතාකරුවො නවක අය අතර ඉන්න බවක් මට පේන්නෙ නෑ. ඔබ ඉන් අදහස් කරන්නෙ අපැහැදිලි අදහස් වියුක්ත ලෙස විදහා දක්වන උනන්දුව නම් ඒකෙ ඇත්තක් තියෙනවා. කෙටිකතා කලාවෙදි කතාව තලයෙදි විතරක් නෙමේ ප්‍රතිනිර්මාණ ශිල්පක්‍රම තලයෙදි නිර්මාණශීලී වෙන්න ඕනෙ. එහෙම තමයි කෙටිකතාව නමැති සෞන්දර්ය වස්තුව බිහිවෙන්නෙ. ඒ සමබරතාව නැති වුණොත් එක්කෝ සරල වාර්තාවක් නැත්නම් දුෂ්කර ප්‍රහේලිකාවක් තමයි බිහිවෙන්නෙ. මේක ප්‍රවීණ අයට වුණත් අභියෝගයක්.


    ඔබගේ කෙටිකතා හා නවකතා තුළත් ප්‍රබලම තැන හිමිකර ගන්නේ කතාව. එහෙම නැත්නම් ස්ටෝරි ලයින් එක. නිර්මාණයේ දාර්ශනික ප්‍රවේශය එහි අන්තර්ගතයක් මිස එහි එකම එළඹුම නොවෙයි. 'ගෙදර'වට සිතියම' හී කතා අටමත් ඊට හොඳ උදාහරණ. ඔබ දක්ෂ කතන්දර කරුවෙක්. ස්ටෝරි ටෙලර් කෙනෙක්. ඒ ගැන ඔබේ අදහස?

 ඒක නම් හරියට හරි. ඒ නිරීක්ෂණයට ස්තුතියි. මනුෂ්‍යයා කියන්නෙ හෝමෝ ස්ටෝරිටෙලර් කෙනෙක්. මම   බය නැතිව කතා කියනවා. කතාව කියන්නෙ ආදිකාලීන මනුෂ්‍යයාගේ සිට පැවති මනුෂ්‍ය උරුමයක්. මේ මනුෂ්‍ය උරුමයට හරියට නිග්‍රහ කළා ඇතැම් නූතනවාදී සහ අතිනූතනවාදී කලා ප්‍රවණතා. ඒ වුණත් පස්සෙ කාලෙ ආඛ්‍යාන න්‍යායධරයො පෙන්නලා දුන්නා “කතාව” කියන්නෙ ප්‍රබන්ධ කලාවෙ වැදගත් අංගයක් බව. හැබැයි මගෙ සියලුම කතාවල මම ඒ කතා ඉදිරිපත් කරන ප්‍රතිනිර්මාණ තාක්ෂණවල තියෙනවා නූතනවාදී ලක්ෂණ. අන්න එතනදි අපට හිටපු හොඳ කතාකාරයෙක් වන ඇරැව්වල නන්දිමිත්‍ර වගේ කෙනෙකුගෙන් මම වෙනස්. අනික තමයි නූතනවාදී යුගයෙ වැදගත්ම ප්‍රබන්ධ රචකයොත් කතාකීමට නිගරු කළේ නෑ. මම මගෙ කෙටිකතා කලාව කියන පොතේ පෙන්නල දීල තියෙනවා ජේම්ස් ජොයිස් වගේ නූතනවාදියොත් හොඳ කතාකාරයො බව. හොඳ කතාවක් අහන මොහොතෙදි අපට දැනෙනවා අපේ ආදීකාලීන මානවයාත් සමග අපි වැදගත් සංස්කෘතික කාර්යක් සාමූහිකව කරන බවක්. අපේ ආදිම මුතුන්මිත්තන් මෙවැනි මොහොතවල් කතා කළ බව අපි උපවිඥානයෙන් දන්නවා. ප්‍රබන්ධ රචකයො මනුෂ්‍යයන් තුළ පවතින මේ ආදිකාලීන විඥානයෙන් ප්‍රයෝජනගන්න ඕනෙ.


 

4.     


ඔඔබ කෙටිකතා කලාව ගැන වෙනමම පොතක් පළ කළා. එයට පාඨකයන් අතර හොඳ පිළිගැනීමක් ලැබුණු බවත් අපට දැනගන්නට ලැබුණා. පාඨකයන්, නිර්මාණකරුවන් මෙලෙස නිර්මාණකරණය විද්‍යාවක් ලෙස භාර ගැනීමට උනන්දුවීම ගැන ඔබේ අදහස?

 

ඒ පොත සරසවි ප්‍රකාශනයන් සේ පළ උනා. 2018දී. දැන් එය දෙවෙනි මුද්‍රණයට ඇවිල්ලා. ඒක පිටු 400කට වැඩි පොතක්. සිංහල කෙටිකතා අධ්‍යයන ක්ෂේත්‍රයෙ මෙතෙක් සාකච්ඡා නොවුණු බොහෝ කරුණු එහි තියෙනවා. එය පළ වූ අවුරුද්දේ සිටම තරුණ පිරිස් අතර පැතිර ගියා. අනික සාහිත්‍ය කලා ගැන මම ලියපු අනික් හැම පොතක්ම වගේ ඒ විදියට පැතිරුණා. කලාව සහ මිනිසා කියන පොත දැන් දෙවෙනි මුද්‍රණයට ආවා. තරුණ නවකතාකරුවෙකු වෙත කියන පොත දැන් තුන්වෙනි මුද්‍රණයෙ. අමුතු කතාව දෙවෙනි මුද්‍රණයෙ. පහන සහ කැඩපත දෙවෙනි මුද්‍රණය ළඟදි එනවා.


ඒකත් එක සාක්ෂියක් සාහිත්‍ය කලා අධ්‍යයනය බරපතල ලෙස බාරගන්නා පිරිසක් ඉන්න බවට. නිර්මාණකරණය යනු ජීවිතය කැපකොට කළ යුතු වෘත්තීය කාර්යක් කියන අවබෝධය පැතිරෙන එක හොඳයි. අපි වගේ ශාස්ත්‍රාලිකයො කරන්න ඕනෙ එහෙම කැපවෙන පිරිසකට අවශ්‍ය දැනුම සම්පාදනය සහ දැනමු විසරණය කිරීම. එහෙම නැතුව තරුණ පරම්පරාවට බැණ බැණ ඉඳලා හරියන්නෑ.


 

.     ඔබ ළඟදී ඇමරිකානු මහචාර්යවරයෙක් වන  චාල්ස් හැලිසි සිංහල සාහිත්‍යය ගැන ලියූ දීර්ඝ ලිපියක් කෘතියක් ලෙස පළ කළා. එය වටිනා ශාස්ත්‍රීය අධ්‍යයනයක්. මහාචාර්ය හැලිසි ගැන යමක් කිව හැකිද?

මහාචාර්ය චාල්ස් හැලිසි කියන්නෙ 1980 වර්ෂයේ විතර සිට ලංකාව ගැන සිංහල සාහිත්‍යය ගැන අධ්‍යයනය කරන විද්වතෙක්. ඔහු තරුණ කාලෙ ලංකාවට ඇවිල්ලා සිංහල භාෂාව ඉගෙනගෙන තියෙනවා. දැන් ඔහුට චතුර ලෙස සිංහල කතා කරන්න බෑ. ඒ උනාට සම්භාව්‍ය සිංහල හොඳට කියනවා. ඔහු තමන්ගෙ ආචාර්ය උපාධිය කළේ සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍යයෙහි නිරූපිත ආචාරධර්ම ගැන. දැන් ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උගන්නවා. මම පරිවර්තනය කළ ඉතිහාසයක් තුළ සාහිත්‍යය කියන කුඩා පොත අපේ සාහිත්‍ය කලා ගැන පර්යේෂණ කරන අයට අත්පොතක් වගේ.




                                            මහාචාර්ය චාල්ස් හැලිසි


  ඔබ ස්වතන්ත්‍ර නිර්මාණ කරනවා, පරිවර්තනය කරනවා, ශාස්ත්‍රීය අධ්‍යයනයන් කරනවා, ඒවා ගැන ලියනවා, වගා කරනවා, දේශන පවත්වනවා, විශ්ව විද්‍යාලයේ උගන්වනවා, දේශපාලන අවස්ථා තුළත් සක්‍රීයව ඉන්නවා...ඔබ දක්ෂ කාල කළමණාකරුවෙක් වගේම ජීවිතය සමබර වීමේ අවශ්‍යතාව ප්‍රකට කරන්නෙක්. මේ ගැන ඔබේ අදහස?

 

ඒ නිරීක්ෂණයටත් ස්තුතියි. ඔය ඔක්කොටම අමතරව මම විනෝද වෙනවා. ක්‍රීඩා කරනවා. යාළු මිත්‍රයො එක්ක කල් ගත කරනවා. ඔය කියපු සියලුම ක්ෂේත්‍රවල ක්‍රියාකාරී වීමෙන් ඒ ක්ෂේත්‍ර එකිනෙක අතර පෝෂණයක් සිද්ධ වෙනවා. එක සැරයක් තරුණ විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් ඇවිල්ලා මට කිව්වා මම කාලය හසුරුවාගන්නා ආකාරය ගැන දේශනයක් කරන්න කියලා. අපි අපේ ජීවිත යම් තෝරගත්ත විෂයකට කැපකරන්න ඕනෙ. අපට අපේ රටේ ජනතාව සාපේක්ෂ වශයෙන් විශාල වැටුප් ගෙවනවා. තව පහසුකම් දෙනවා. ඒවා අංග සම්පූර්ණ නැති වුණත්, ප්‍රමාණවත් නැති වුණත් අපේ වගකීම තමයි ප්‍රාමාණික ශාස්ත්‍රීය ජීවිත ගෙවීම. ඒක වගකීමක්. අනික තමයි දේවල ප්‍රමුඛතා හරියට හඳුනා ගැනීම. උදාහරණයක් මෙහෙමයි. මට භාෂා දෙකකින් වැඩ කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අමතර ආදායම් ලැබෙන එක එක දේවල් හොයාගන්න පුළුවන්. මම ඒව පස්සෙ යන්නෙ නෑ. මම ගෙයක් හදන්න ඉඩමක් තෝරගත්තෙ විශ්වවිද්‍යාලෙ කිට්ටුවෙන්. ප්‍රධාන හේතුව ගමන් කාලය අඩු කරගැනීම. ට්‍රැෆික් වල හිරවෙලා කාලය නාස්ති වෙන නිසා ස්කූටරේකුත් ගත්තා. අනික තමයි එක වෙලාවකට ටිකක් වැඩ කිරීම. ලිට්ල් ඇට් අ ටයිම්. ඒ කියන්නෙ එක සැරේකට ටිකක් හරි වැඩ කරන එක. අපි බොහෝ විට හිතන දෙයක් තමයි ලිවීම, ශාස්ත්‍රීය වැඩ කියන දේවලට එක දිගට පැය හත අට හැම වෙලාවෙම අවශ්‍යයයි කියලා. එහෙම වෙලාව නොලැබෙන්න පුළුවන්. හම්බ වෙන වෙලාවෙදි පැය භාගයක් පැයක් වැඩ කරල නතර කළත් අර කර කර උන්න වැඩේ අපේ උපවිඥානෙ තියෙනවා. හැබැයි මම එක දිගට පැය දහය දොළහ වැඩ කරන්න පුළුවන් කෙනෙක්.


 අනික පැය හතක අටක නින්දක් අනිවාර්යෙන් ගැනීම. විශාල පෞද්ගලික පුස්තකාලයක් තිබීම නිසත් වෙලාව ඉතිරි වෙනවා. අනික එක ශාස්ත්‍රීය කටයුත්තක අවංකව නියුක්ත වෙනකොට ඒකෙන්ම තව ශාස්ත්‍රීය කටයුතුවලට මගපෑදෙනවා. ඒ නිසා ශාස්ත්‍රීය රචනයේ නියැලෙන අයට තමයි තවත් එවන් රචනාවලට මාතෘකා පෑදෙන්නෙ.   


 

No comments:

Post a Comment