Saturday, August 21, 2021

වෛද්‍ය විද්‍යාමය මානව ශාස්ත්‍ර සහ ලංකාවේ අධ්‍යාපනය - ලියනගේ අමරකීර්ති


         




   ලංකාවේ වෛද්‍යවරුන්ගේ සන්නිවේදන ශක්‍යතාවෙහි පැහැදිලි වර්ධනයක් සිදුවී ඇති බව මා මෑතකදී ෆේස්බුක්හි ලියූ සටහනක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. සන්නිවේදනයෙහි පමණක් නොව ලෙඩ රෝග සහ සමාජ යුක්තිය අතර සම්බන්ධයද අලුත් ඇසකින් වටහා ගැනීමට වෛදවරුන් වැනි ඉහළ මධ්‍යම පාන්තික වෘත්තිකයන්ට මේ වසංගතය හේතු වන්නට ඇත.

       ඒ සටහනින් සතියක් ගත වන විට මට ඊයේ රාත්‍රියේ ආ දුරකථන ඇමතුමකින් වාසනාවන්ත ආරංචියක් ලැබිණ. ඒ මෙයයි: රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍යමය මානව ශාස්ත්‍ර (Medical Humanities) පාඨමාලාවක් ආරම්භ කරන්නට යන බවය. කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ දැනටමත් එවැනි පාඨමාලාවක් පවතින බව මට ආරංචිය කී මහාචාර්ය කේ.ඩී. පතිරණ විස්තර කළේ සතුටිනි. ඊ ළඟ පරම්පරාවේ වෛද්‍යවරුන්ට තමන්ගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් පිළිබඳ වඩා සාකල්‍යවාදී වූද මානුෂීය වූද අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම ඇති කිරීම එවැනි පාඨමාලාවල අරමුණ බව ඔහු කීය. එය ඉතා හොඳ අරමුණකි. එසේම වෛද්‍යවරුන්ගේ ජීවිතයෙහි ගුණය ඉහළ දැමීමට එවැනි පාඨමාලාවකින් එළිය ලැබෙනු ඇත. 

                      මානව ශාස්ත්‍රමය ප්‍රසාරණය

    මා පසුගිය කාලයෙහි මානව ශාස්ත්‍ර අධ්‍යාපනය ගැන රචනා පේළියක්මෙම බ්ලොග් අඩවියේද රාවය සහ අනිද්දා පුවත්පත්වලද පළ කළේ අර වැනි කතිකාවක් ඇති කරනු පිණිසය.

   බ්‍රිතාන්‍යයෙහි  වෛද්‍යමය මානව ශාස්ත්‍ර සඳහා වූ සංගමය හෙවත්  Association for Medical Humanities රට වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයෙහි වෘත්තිකයන්ට මානව ශාස්ත්‍ර විෂයයන්ගෙන් ලබා ගත හැකි එළිය ගැන දැනටමත් විශාල වැඩකොටසක් කර තිබේ. බි්‍රතාන්‍යයට වඩා සාකල්‍යවාදී අධ්‍යාපන ක්‍රමයක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේ සෑම විශ්වවිද්‍යාලයකම පාහේ වෛද්‍ය ශිෂ්‍යයන්ට මානව ශාස්ත්‍ර පාඨමාලා කිහිපයක්වත් හැදෑරීම අනිවාර්ය වේ. එය දිගු ඉතිහාසයක් ඇති සම්ප්‍රදායකි. ඒ ශිෂ්‍යයන්ට පූර්ව-වෛද්‍ය පාඨමාලා (Pre-med) යනුවෙන් හැඳින්වෙන පාඨමාලා විශේෂයක් අවුරුදු දෙකක් පමණ හදාරන්නට සිදු වේ. සමහර විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට ඇතුළු විය හැක්කේ ඉන් පසුවය. ඒ පාඨමාලාවලට මානව ශාස්ත්‍රවලට අයත් දර්ශනය, සාහිත්‍යය, ඉතිහාසය වැනි විෂයනුත් සමාජයීය විද්‍යාවලට අයත් සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මානව විද්‍යාව, ආර්ථික විද්‍යාව වැනි විෂයනුත් ඇතුළත් වේ.

      වෛද්‍යමය මානව ශාස්ත්‍ර යැයි අපට සිංහලෙන් හැඳින්විය හැකි මෙම විෂය ක්ෂේත්‍රයෙන් කෙරෙන්නේ මොනවාද? දැනට පළ වී ලිපි ලේඛන ඇසුරින් අපට මෙවැනි දේ වටහා ගත හැකිය:

   - වෛද්‍ය ශිෂ්‍යයන්ට සහ වෛද්‍ය වෘත්තිකයන්ට වඩා හොඳින් සවන්දීමට, සන්නිවේදනය කිරීමට, රෝගීන් කියන දේ සහ ඔවුන්ගේ පසුබිම් අර්ථකථනය කිරීමට සහ ඔවුන්ගේ ජීවිතය සහවේදනීය පරිකල්පනයෙන් යුතුව වටහා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම.

   - වෛද්‍ය වෘත්තියට අදාළ ආචාරධර්ම සියුම් ලෙසද සංවේදීතාවකින් යුතුවද භාවිතයට දැමීමට අවශ්‍ය අවබෝධය ලබා දීම

   -  මනුෂ්‍ය ස්වභාවය සම්බන්ධයෙන් විස්මයෙන් යුතු උනන්දුවක් හා කුතූහලයක් නිරන්තරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය පදනම ඇති කිරීම

    - තමන් ලබන අත්දැකීම් ගැනද තමා දැනට ලබා ඇති අධ්‍යාපනය ගැනද විචාරාක්මකව නැවත සිතීමට අවශ්‍ය කුසලතා ලබා දීම

    - වෛද්‍යමය දත්ත පිළිබඳ වඩා පළල් අර්ථ කථනවලට එළඹීමේ හැකියාව ඇති කිරීම

      මේවා වෛද්‍යමය මානව ශාස්ත්‍රවලින් ලැබෙන ප්‍රායෝගික කුසලතා සමහරකි. එහෙත් එම විෂය ධාරාවේ නෛසර්ගික අරමුණු ඊට වඩා පෘථුලය. එක් නිදර්ශනයක් මෙසේය: මනුෂ්‍ය පුද්ගලභාවය හෙවත් ආත්මීයතාව සකස්වීමට නොයෙක් සමාජ-සංස්කෘතික, මනෝ විද්‍යාත්මක කාරණා බලපාන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට මානව ශාස්ත්‍ර උපකාර වේ. තමාගේම වූ ආත්මීයතාවක් ඇති පුද්ගලයා අනික් මනුෂ්‍යයන් සමග ක්‍රියා කරන ආකාරවල සංකීර්ණතා වටහා ගැනීමටත් මානව ශාස්ත්‍ර උදව් වේ. එවැනි සංකීර්ණතා වටහා ගැනීමට ප්‍රබන්ධ කථා, නාට්‍ය සහ සිනමා කෘති අධ්‍යයනයෙන් ලැබෙන එළිය සුළුපටු නොවේ. වෛද්‍යවරයෙකුට එවැනි පසුබිමක් තීබිම හොඳය.

    නවකතා, ස්වයං-චරිතාපදාන, නාට්‍යය, චාරිකා සටහන්, මතක පොත් ආදිය අද වෛද්‍යමය මානව ශාස්ත්‍ර පාඨමාලාවල හදරනු ලබන කෘති අතරට එක් වී තිබේ. 

     සාහිත්‍යය සහ වෛද්‍ය විද්‍යාව අතර සම්බන්ධය පෙන්වන අධ්‍යයන රැසක් පළ වී තිබේ. විශේෂයෙන් විවිධ සාහිත්යික ආඛ්‍යාන සහ මනුෂ්‍ය ප්‍රජානනය අතර සම්බන්ධය අතර සම්බන්ධය ස්නායු වෛද්‍ය පාඨමාලාවල ගුණය වැඩි කරන්නට හේතු වී තිබේ. 

   එසේම අනන්‍ය සංස්කෘතියකට හෝ ජනවර්ගයකට අයත් රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී ආඛ්‍යාන කලාවෙන් ලැබෙන සහවේදනීය අවබෝධය වෛද්‍යවරයෙකුට ඉතා ප්‍රයෝජනවත්ය. නිදර්ශනයක් ලෙස සුදු ජාතික වෛද්‍යවරයෙකු වයස්ගත අප්‍රිකානු-ඇමරිකානු රෝගියෙකුට ප්‍රතිකාර කරන්නේ යැයි සිතමු. වර්ණභේදවාදය පිළිබඳ ඛේදජනක ඉතිහාසයක මතක තවමත් සජීවීව පවතින ඇමරිකාව තුළ අදාළ වෛද්‍යවරයා උගන්නා කාලයේදී කළු ජාතික ජීවිතය පිළිබඳ මානව ශාස්ත්‍ර පාඨමාලාවලින් යම් දැනුමක් ලබා තිබීම ප්‍රයෝජනවත් වන බවට සැකයක් නැත. 

                           කතා කලාව සහ වෛද්‍ය විද්‍යාව

   වෛද්‍ය විද්‍යාව සහ සාහිත්‍යය අතර සබඳතාව පිළිබඳ අගනා පොතක එන කතාවකින් කොටසක් මෙහි දක්වන්න මට ඉඩ දෙන්න. වරක් වයස් ගත ජෝන්ස් මහත්මිය සිය දියණියද සමග රෝහලට ආවාය. ලෙඩ වී ඇඳෙහිම සිටීම නිසා ඇයගේ ඇඟ පුරා තුවාලද තිබිණි. ඇයට සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරයාට අවබෝධ විය. ඔහු එය දැනුම් දුන්නේය. ජෝන්ස් මහත්මිය එය සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කළාය. “හඳ තියෙන්නෙ මගෙ පපුවෙ. ඒක හොඳ නෑ. හාට් ඇටෑක් හැදෙනවා.” ඇය කීවාය. පසු දවසක නැවතත් වෛද්‍යවරයා සැත්කමේ අවශ්‍යතාව සිහි කළේය. “අද හඳ මගෙ බඩේ. අද ඔපරේෂන් කෙරුවොත් මට බඩේ අමාරු හැදෙනවා.” ඇය කීවාය. ඇය සහ ඇගේ පවුලේ අය සියලු තීරණ ගන්නේ ග්‍රාමීය ප්‍රදේශවල භාවිත කරන පරණ ලිතකට අනුවය. චන්ද්‍රයාගේ පිහිටීම තමන්ගේ ශරීරයට බලපාන බව ඔවුහු විශ්වාස කරති.

   මේ රසවත් කතාව අවසාන වන්නේ චන්ද්‍රයා ඇගේ වම් පාදය උඩින් පිහිටන දිනයේ එනම් ඒ මාසයේ 17 වෙනිදා දවසේ ඇගේ සැත්කම කිරීමට වෛද්‍යවරයා එකඟවීමය. සැත්කම එදින දක්වා කල් දැමීම ඇගේ ජීවිතයට අනතුරක් නොවන බව වෛද්‍යවරයා අවබෝධ කරගෙන තිබිණි. 

  මෙවැනි කෘතිවල එළිය මගේ තුලනාත්මක සාහිත්‍යය දේශනවලදී දැනටමත් භාවිත කරමි. එහෙත් එවැනි පාඨමාලාවලින් වඩාත් ප්‍රයෝජන ලැබෙන්නේ වෛද්‍ය ශිෂ්‍යශිෂ්‍යාවන්ටය.

   පුදුමාකාර සංස්කෘතික බහුවිධත්වයකින් සැදි මිලියන තුන්සිය තිහක ජනගහණයකින් සැදි ඇමරිකාවේ මෙවැනි වෛද්‍ය අත්දැකීම් සුලභය. ඒ නිසා එරට වෛද්‍යවරුන්ට අපටත් වඩා මානව ශාස්ත්‍රමය අධ්‍යාපනයකින් එළිය ලැබිය හැකියැයි කෙනෙකු සිතන්නට පුළුවන. 

                                   වේදනාව සහ සහවේදනය

    රෝගයක් පිළිබඳ රෝගියාගේ අත්දැකීම කුමක්ද යන්න වෛද්‍යවරයෙකුට පමණක් නොව වෙන ඕනෑම කෙනෙකුට සම්පූර්ණයෙන් වටහාගත නොහැකිය. මෙය මනුෂ්‍ය ශිෂ්ටාචාරය අමනුෂ්‍ය කරවන එක් ප්‍රධාන කාරණයකි: අපට අනෙකාගේ කායික වේදනාව නොදැනේ. මා මේ රචනාව ලියන අතර මගේ බිරිඳ මොඩර්නා දෙවෙනි මාත්‍රාව එන්නත් කළ අත ඉදිමී වේදනාවෙන් ඇඳෙහි සිටියි. මට ඇගේ වේදනාව එලෙසින්ම විඳිය නොහැකිය. දාර්ශනික විට්ගන්ස්ටයින් මෙය හරියටම ඇල්ලුවේය. ඔහුගේ Philosophical Investigations  කෘතියෙහි  ඡේද කිහිපයකම මේ කාරණය සඳහන් කළේය. අපට අනෙකාගේ වේදනාව දැකිය හැක්කේ වේදනා චර්යාවලින් පමණි. මිනිසාට සාහිත්‍ය කලා අවශ්‍ය වීමේ ප්‍රධාන හේතුවක් මෙය විය හැකිය. 

   දියුණු වෛද්‍යමය මානව ශාස්ත්‍ර පාඨමාලාවල රෝගීන් විසින් ලියන ලද ස්වයං චරිතාපදාන පාඨ ග්‍රන්ථ ලෙස භාවිතයට ගැනෙයි. එංගලන්තය සහ ඇමරිකාව වැනි දියුණු ග්‍රන්ථ කර්මාන්තයක් ඇති රටවල එවැනි පොත් නිතර ලියවේ; පළවේ.

   වයසට යාම නමැති අත්දැකීම කාලය ඔස්සේ සිදුවන ඉතා සංකීර්ණ අත්දැකීමකි. මේ මැදිවියේදී මම ඒ ගැන නිතර හිතමි. දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා නමින් මෑතකදී පළ කළ කෙටිකතා කිහිපයක උපතේමාව සේ මෙය අල්ලාගන්නට තැත් කළෙමි. තරුණ වෛද්‍ය ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයෙහි එක් ප්‍රධාන කොටසක් විය යුත්තේ වයසට යාම නම් යථාර්ථය වටහා ගැනීමය. එය හුදෙක් ශරීර විශ්ලේෂණයෙන් හෝ ශරීරය හා සම්බන්ධ රසායන විද්‍යාවෙන් වටහා ගත නොහැකිය. ඒ නිසා වෛද්‍යමය මානව ශාස්ත්‍ර පාඨමාලාවල වයසට යාම නම් සංකීර්ණ අත්දැකීම විස්තර වන විවිධ සාහිත්‍ය කෘති භාවිත කෙරේ. 

   කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මෙම විෂය පිළිබඳ වෙනම අධ්‍යයන අංශයක් පවත්වාගෙන යයි. එය ලංකාවේ අංක එකේ වෛද්‍ය පීඨය වීම පුදුමයක් නොවේ. වෛද්‍ය පීඨය සහ ශාස්ත්‍ර පීඨය හූවක දුරින් පමණක් වෙන් කරන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ දෙක අතර එවැනි ශාස්ත්‍රීය සම්බන්ධතා හොඳින්ම පැවැත්විය හැකිය. එහෙත් වෛද්‍යමය මානව ශාස්ත්‍ර යනු වෛද්‍ය පීඨ දේශන ශාලාවට ගොස් “අපේ භාෂාව, අපේ ඉතිහාසය, අපේ ආගම, ලෝකයේ හොඳම එක” යැයි දොරමඩලා  කතා කීම නොවේ. මානව ජීවිතය සහ මානව තත්ත්වය ගැඹුරින් වටහා ගැනීමට සාහිත්‍ය කලාවලින් ලැබෙන එළිය අනාවරණය කර පෙන්වීමය. 

   

    


No comments:

Post a Comment