Tuesday, August 24, 2021

“මැණිකේ මගේ හිතේ” යුගයේ “මැණිකේ” ලියන කවි - ලියනගේ අමරකීර්ති

 

  

 






ඉන්නේ කොහේදැයි කාගේ කවුදැයි නොදන්නා කිවිඳියක් දෙවසරකට පෙර මට ඇගේ පළමු පොත එව්වාය. මේ අලුත් කොරෝනා රැල්ලට පෙර දෙවන පොතද එවා තිබිණි. පළමු පොත කියවා මා කුමක් කීවේදැයි මතක නැත. යමක් කිව්වත් නොකීවත් මම අලුත් කවි කිවිඳියන්ගේ නිර්මාණ මගේ පාඩම් සැලසුම්වලට උචිත පරිදි ඇතුළු කරමි. 

  පළමු කවිපොතේ කිවිඳියගේ නම සඳහන් වන්නේ වින්යා ජයසේකර යනුවෙනි. දෙවෙනි පොතෙහිදී එය වින්යා මැණිකේ ජයසේකර වෙයි. ඇගේ නමට අලුත් කොටසක් එකතු වීමට අමතරව සැලකිය යුතු වර්ධනයක් මේ තරුණ කිවිඳිය සිය කවිය වෙත එක් කරගන්නා බව පෙනෙයි. ඒ නිසා මැණිකේ ඇයට වාසනාව ගෙනැවිත් තිබේ.

  මෙම කෙටි රචනය ඇගේ කවියෙහි එන අමුතු ගුණය කුමක්දැයි බලන්නට ඔබට ආරාධනා කිරීමටයි. ඒ අමුතු ගුණය කුමක්ද යන්නට මටද නිසි පිළිතුරක් නැත. ඒ නිසා අපි කවියක් දෙකක් කියවා බලමු. ඒ පරීක්ෂාවට කවි තෝරාගැනෙන්නේ අහඹු ලෙසය. මේ මතු කරන කරුණුම මතු කළ හැකි තවත් කවි මේ කෘතියේ තිබේ.

  එසේම මා මේ සටහන ලියන්නේ ජයසේකරගේ කවි ගැන කියන්නම නොවේ. ඇගේ කවිය ඇසුරින් අනික් තරුණ කවි කිවිඳියන්ද අවධානය යොමු කළ යුතු යැයි මා සිතන “අනිශ්චිතාර්ථවත් කවිතාව ඇති කරන සංරචනය” ගැන කියන්නට මට අවශ්‍ය වී තිබේ. අනිශ්චිතාර්ථවත් බව යනු දුරවබෝධ ප්‍රහේලිකාව නොවේ. කවිතාව සහිත සුන්දර වස්තුවක් වන අතරම එක තනි අර්ථයක තබා ඇණ ගැසිය නොහැකි කවියක්ද වන ඇති වන කාව්‍යමයත්වයකි.  

  ජයසේකරගේ කවිය යනු වචන උඩ නැග පාවෙවී වාග්මය ජල ක්‍රීඩා කළ හැකි තැනක් නොවේ. වචනයෙන් බිමට බැස, වචනය ඉක්මවා ඈතද අප දෙසද බලන්නට ඒ කවිය ළඟදී අපට සිදුවේ. 

   අපි කවියෙන් කවිය ටික දුරක් යමු.


   දාසී රහස්

  රාත්‍රී වැඩමුරයෙහි

  මවු තුරෙන් තුරුලට පත්

  මල් පොහොට්ටුව නිදි කර

  අරුණ තෙක් සුළු මව වෙමි


  දිවා හිරු දවාලූ ගත

  රහස් වැසි වැටී

  මහා පිපිරුමක ගතු කියන

  සැඳෑ සැතපුමක කුඩා ඉරිතැළුම්

  දඹුලු ගල් පතුල සේ සඟවමි


සුළු කොට තකා ඒ රහස්

නික්ම ගිය පසු රැය

නොකල්හි දිය පිරී

උතුරා නොයන සේ

තඹ තලිය රකින දාසිය වෙමි


නැවත රෑ මුරය තෙක්

පුපුරු ගස්නා ග්‍රිෂ්මයේ

පතුල් පිරිමදිමින් හිතින්

මම තවම දඹුලු ගල නගිමි


   කවියක් අපූර්ව වන්නේ ඊට පාදක වන මනුෂ්‍ය අත්දැකීම නිසා පමණක් නොවේ. එසේ වී නම් මනුෂ්‍යයන්ට මීට බොහෝ කලෙකට කලින් කවි ලිවීම අත්හැර දමන්නට තිබිණි. ගෘහ සේවිකාවන්, මෙහෙකාරියන් ආදීන් ගැන බොහෝ සිංහල කවි ඇත. එය හැත්තෑව දශකයේ ජනප්‍රිය මාතෘකාවකි. එහෙත් මෙවැනි කවියක් ඒවා අතර නැත.

   මේ නිවසෙහි මව වෛද්‍යවරියක වැනි රාත්‍රී වැඩ මුරයක යෙදෙන්නියක යැයි සිතමු. ඇය ගෘහ සේවිකාව ළඟ සිය දරුවන් තබා යයි.

  තවත් දේවල් ටිකක් සිදුවේ. ඒවා හරියටම මොනවාදැයි කිවිඳිය අපට කියන්නේ නැත. ඒ කවි පද අනිශ්චිතාර්ථවත්ය. ගෙදර මහත්තයා “කායික ප්‍රේමය” පතා ඇය වෙත එන්නේද විය හැකිය. “රහස් වැසි”, “සැඳෑ සැතපුමක කුඩා ඉරි තැලුම්” මොනවාදැයි අපට හරියටම දැනගන්නට ලැබෙන්නේ නැත. ඒවා ගෙදර අයට හොරෙන් “දැමූ පොඩි නින්දක පැදුරු ඉරිද” වෙනත් ආකාරයක ආදර සීරුම්, කෙනිත්තිලිද විය හැකිය. 

 “උතුරා නොයන සේ

තඹ තලිය රකින” යන තැනද බොහෝ අර්ථ ඇති කරයි.

 කවිය අවසන් කරන පදය අප නැවත නැවත කවිය වෙත ගෙන එයි. දාසිය තවම නගින දඹුලු ගල කුමක්ද? එය හරියටම අපට දැනගන්නට නොලැබේ. එහෙත් ඒ දඹුලු ගල අපේ හදවත බර කරන රූපකයක්ව නවතියි.

  මෙවැනි කවියක් දෙකක් කියවත්ම මට ජයසේකරගේ පළමු කවි පොත වූ රෝස පාට හීන වෙත නැවත යන්නට සිතිණි. මේ කවිතාවෙහි ආරම්භය එහිද ඇත.

  අපි තව කවියක් වෙත යමු.


ලිලී මල් කෙල්ල


මේ උදෑසන පටන්

පෙනෙන මානයේ අසුනක

රූප පෙළකට හැරෙයි

පින්තාරු සිනහවක්

රාමු කළ නොහෙන

දිගු මේස කෙළවර

අට පැයට ඉටි මල් හිනාවෙන

ඔසරි පොටකට දැවටී

මසිත් ඔරුවට ගොඩවෙයි

ලිලී මල් කෙල්ලක


කන්තෝරු කතරට උඩින්

අළු පාට වැහි බීරමට මිටින් ඇන

නළදතක් අතරින්

වරුසාව වෑහෙයි

හාත්පස ධවල, පැහැ තවරාගෙන


දියකාවෙකුගේ ගෙලක පැටලී

කළඹවා මහද වැව් දිය

රැගෙන ගිය පසු ඈ

සැඳෑ ස්කූටරය


සන්සුන්ව පිටව එමි

හෙට උදේ ඇහිඳිනා තුරු

සඟවා නොසන්සුන් බවක

කන්තෝරු යතුර


   මෙම කවියෙහි “මම-කථකයා” පිරිමියෙකු යැයි අනුමාන කළ හැකිය. ඔහු කාර්යාලයේ වැඩ කරන කෙල්ලක වෙත ආකර්ෂණය වී තිබේ. ඒ ඒකාකාරී කන්තෝරු ජීවිතයට ලිලීමල් කෙල්ල ගෙනෙන ප්‍රාණය ඔහු ආසාවෙන් පතයි. ඒ කන්තෝරු ජීවිතයෙහි දුර්ලභ ආනන්දයක් වෙත යතුර ලිලී මල් කෙල්ල බව අපට සිතේ.


   ජයසේකරගේ අනිශ්චිතාර්ථවත් රූප පෙළ ගැස්ම මෙහිද දැකිය හැකිය. මේ කවිය මා උපුටා දැක්වූයේ ඇගේ කවි විධියෙහි එක් සීමාවක්ද පෙන්වනු පිණිසය. ඉතා සාමාන්‍ය අත්දැකීමක් අනිශිචිතාර්ථවත් කවිතාව ඔස්සේ ගැඹුරු සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පෙරළීම එකකි. අත්දැකීමෙහි අතිසරලත්වය සහ සුලභත්වය වසන්නට දුෂ්කර රූපක දවටනයක් සේ යෙදීම අනිකකි. මේ දෙක අතර වෙනස ගිලිහුණු තැනක් මේ කවියෙන් පෙනේද යන සැකය මට ඇති විය. ඒ සැකය සාධාරණදැයි මට විශ්වාස නැති වුවත් එය සටහන් කර තැබිය යුතුය.

   ඉතා සාමාන්‍ය අත්දැකීම් වුවත් ගැඹුරු ජීවන ගවේෂණයකට පෙරළිය හැකිය. එසේම ඒවාට ව්‍යාජ බරක් ගෙන දීමට නොයෙක් දවටන යෙදිය හැකිය. අපේ ප්‍රබන්ධ කථාවද, නාට්‍යයද සිනමාවද තුළ මේ තත්ත්වය පෙනෙන අවස්ථා තිබේ. ඒ නිසා ඉහත කී ගැටලුව මේ තරුණ කිවිඳියට පමණක් ආවේණික කරුණක් නොවේ.

    මේ කිවිඳියගේ බොහෝ කවි නැවත නැවත කියවීමට දිරිදෙනසුලුය. සාමාන්‍යයෙන් මගේ අධ්‍යයන කුටියෙහි සිට කවි හඬනගා මටම කියවන පුරුද්දෙන් යුතු මම ඇගේ කවිද හඬ නගා කියවීමි. එවිට ඒවා මගේ මනසින්, දෙසවනින්, පමණක් නොව පොත අල්ලාගෙන ඉන්නා අතේ රෝමකූප මුල්වලින් මා සිරුරට ඇතුළු වනු දැනේ. එය මා හොඳ කවිය මනින මිම්මකි. මේ එසේ හඬනගා කියවා වින්ද කවියකි:

අලුත් උයනෙහි

වැලඳ සැඩ සුළඟ

ඔබේ සුළැඟිල්ලට බරව

අලුත පිවිසුණු උයනෙහි

තෙරපුමට නතු වෙමි


හස පැන් වියළි

වදුලු අතරින් නැගෙන

රහස් කෙඳිරුම්වලට

වැසුණු කන් වෙමි


මුළු මුළුවලින් මතුව

ඇවිලෙනා පුළිඟු මගහැර

ඉවත ලන්නට වුව

මිතුරු ඇරයුම් දෙමි


විදුලි දහරා මවන

ලතා මඩුලු යට

දවා හළු වන්නට ප්‍රථම

අත් පහුරු අත් හරිමි


හිස්ව යා නොදී

ඔබ පුදුම කරවන රසයෙන්

ආදරය මුසු කර 

දිවි බඳුන පුරවමි


නොනැවතී සුළං වැගිරෙන

නොවැසූ උයන් fදාරටුවක

ඔබ පියාපතට සබරව

සුළඟ සේ සැහැල්ලු වෙමි

මම පියාපත් දිග හරිමි


 ජීවිතයේ ලොකු කුඩා දේ කවිකමින් දකින්නට, හඟින්නට අවශ්‍ය සුවිශේෂ කාව්‍ය විඥානයක් මේ කවිකාරිය සතුව තිබේ. ඒ ඇතැම් තැන් වදන් සිත්තමට ගන්නා ආකාරය මනහරය.

  හිස් නොවූ විතක මත


අහවරය මැදියමේ

බළල් කෙඳිරිය

බට පැළැල්ලෙන් පෙරි පෙරී

සඳ දියර වැගිරෙයි යහනට


සියුම් ගෙරවුම් තනුවක

වෙහෙසකර ස්වර නැගෙයි

කර තබා ඇවිද යන

කුරුසයෙහි බරට


හිස් නොවූ විතක

මත් බව ඉහිරෙයි

ළය මතින් වැටුණු

බරැති බාහුවට සිරව


වියැකී සුවඳ විලවුන්

මුදු සුවඳ විහිදෙයි

නුදුරු සුසුමක


ඔබ ඇහැරෙයිද?

මට හිතයි සිඹින්නට


රාත්‍රිය ඇවිළී

නිවෙයි

සඳ දියෙහි ඵල නැත

සුහද ඔබ නිදිගත් පසුව


  මේ වදන් සිත්තම මන නන්දනය. මේ පොතේ අනික් කවිවලත් එන එක්තරා වැදගත් ගුණයක් මේ කවිය ඇසුරින් විස්තර කළ හැකිය. ඒ මෙයයි: මේ කිවිඳියගේ කාව්‍ය විඥානය තුළ ලෞකික මනුෂ්‍ය ජීවිතය පිළිබඳ යථාර්ථවත් අවබෝධයක් තිබේ. ලිංගිකත්වය, කායික ප්‍රේමය, විවාහය නමැති ආයතනයේ බිත්තිවලින් එළියට උතුරුන ප්‍රේමය, සුරාවේ මිහිර ආදී ඕනෑම දෙයක් ගැන ඇය බලන්නේ වයසට ගියත් දහම්පාසල් වයසේම පසු වන ළමාසාරිකාරියක ලෙස නොවේ.

  ගතානුගතික විවාහ ජීවිතයෙහි, ගතානුගතික සැමියන් සමග හිරවුණු ගැහැනුන්ගේ ජීවිතය ගැනද ඇයට ලියන්නට හැකි වන්නේ ඒ නිසාය. මේ පොතෙහි එවැනි කවි කිහිපයක්ම තිබේ. 

                               අනිශ්චිතාර්ථවත් ගුණය

    

   මේ කවිවල මා දකින මේ අමුතු අනිශ්චිතාර්ථවත් ගුණය කවි විනිශ්චය මණ්ඩලවලට පහසුවෙන් හසු වන්නක් නොවේ. එසේ තිබියදීත් සරුංගල් ප්‍රේමිය පොත ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් වටය නියෝජනය කර තිබේ. 

   වින්යා මැණිකේ ජයසේකරගේ මේ කාව්‍ය සංග්‍රහයෙහි එක් දුර්වලතාවක් නම් රිද්මීය වශයෙනුත්, සංරචනය වශයෙනුත් ඇති ඒකාකාරිත්වයයි. කවි, කෙටිකතා සහ ගද්‍ය රචනා “සංග්‍රහ” වශයෙන් පළ කරන විට පැහැදිලි බහුවිධභාවයක් තිබීම උචිත යැයි මට සිතේ. “සංග්‍රහ” ලෙස පළ වන පොත්වලින් වැඩි පිරිසකට “සංග්‍රහ” කළ හැකි නම් උචිතය. කවියෙහි දිග සහ තේමා අතින් යම් විචිත්‍රත්වයක් තිබුණද සංරචනමය විවිධත්වය තව ටිකක් තිබුණා නම් හොඳ යැයි මට සිතේ. 

    මනසත්, හදවතත්, දෙසවනත් මත එක තරමේ බරකින් එක වර පතිත වන ගුණයක් කවියෙහි තිබීම උචිතය. මනස, හදවත, දෙසවන යන දේ මේ වැකියෙහි තිබෙන තරම් පැහැදිලිව කවියෙහිදී එකිනෙකින් වෙන් කිරීම අමාරුය. අපේ සවන මත මැණිකේගේ කවිය වදින පහරින් අපේ අවිඥානක ශ්‍රවණ ස්මෘතිය කැළඹී යන ප්‍රමාණය මදිය. කවිය අපේ ශ්‍රවණේන්ද්‍රියෙන්ද ඇතුළුව අපේ පැවැත්මේ රහසිගත ශ්‍රවණ ස්මරණ ගබඩාව ඇවිස්සිය යුතුය. ඒ මට හිතෙන හැටිය. සවන මත එතරම් බරින් නොවැදීමත්, සවන මත එක්තරා ඒකාකාරීත්වයකින් පතිත වීමත් මේ කවියෙහි මට දැනේ. ඒ වූකලි සිංහල කවියෙහි නිතර පෙනෙන ලක්ෂණයකි.

   ඒ කෙසේ වෙතත් වින්යාගේ කවියට “මැණිකේ” එකතු කර ඇති අගය අපමණය.

  

8 comments:

  1. මේ මග පෙන්වීමට බෙහෙවින්ම ස්තුතියි සර්.🙏

    ReplyDelete
  2. "මැණිකේ මගේ හිතේ" සද්ද නැති ගමන්ක් යන කිවිඳියක්. සරුංගල් ප්‍රේමියෙන් මාත් මුසපත් වුණා. "හිස් නොවූ විතක මත" කවිය මා කැළඹූ කවියක්. ඔබ තුමාගේ මේ සටහන නිහඬව කවි ලියන මැණිකේට වටිනා ඇගයීමක් හා විසාල ධෛර්‍යයක්. ස්තූතියි අමර්කීර්ති මහත්මයා.

    ReplyDelete
    Replies
    1. බෙහෙවින්ම ස්තුතියි අයියේ 💖

      Delete
  3. සුබ පැතුම් වින්‍යා නංගී .....❤

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ .

      Delete
    2. ස්තුතියි අයියේ .

      Delete
  4. සුබ පැතුම් කිවිඳියනි!❤👏

    ReplyDelete