Thursday, September 16, 2021

එන්. එම්. විදේශීය ජනමධ්‍යවේදියෙකු සමග පැවැත්වූ සාකච්ඡාවක පරිවර්තනය- ලියනගේ අමරකීර්ති

 


1960දී ආචාර්ය එන්. එම්. පෙරේරා සමග විදේශීය ජනමාධ්‍යවේදියෙක් කරන සම්මුඛ සාකච්ඡාවක් මෙතන තියෙන්නෙ. ඒ සාකච්ඡාවට කලින් ජනමාධ්‍යවේදියා සඳහන් කරනවා වරායෙ සමසමාජ වෘත්තීය සමිතිවලට තියෙන බලය ගැන. ඒ වෘත්තීය සමිති දීප්තිමත් සහ ප්‍රබල නායක ආචාර්ය පෙරේරාගේ නායකත්වයෙන් පවතින බවත් ජනමාධ්‍යවේදියා කියනවා. 

ඉන්පසුව ඇති වන  සංවාදය පරිවර්තනය කරන්න හිතුණා. 


ජාතිවාදයෙන් තොරව, වර්ගවාදී විදේශ විරෝධයෙන් තොරව, අධිරාජ්‍යවාදී ආර්ථික ප්‍රතිපත්තිවලට විරෝධය පාන හැටිත්, සෝවියට් කඳවුරේ ආධිපත්‍යය පවා ප්‍රතික්ශේප කරන හැටිත් බලන්න. මේ විනඩි කීපය තුළ ආචාර්ය එන්එම් පෙරේරාගේ චින්තනය අපට පැහැදිලිව පේනවා. 




ජනමාධ්‍යවේදියා: ලංකාවෙ ප්‍රශ්නවලට ඔබගේ විසඳුම්(ප්‍රතිකාර) මොනවද ආචාර්ය පෙරේරා?

එන්එම්: මෙහෙමයි. ලංකා සමසමාජ පක්ෂය සමාජවාදී පක්ෂයක්. ඒනිසා ලංකාව සඳහා අපට තියෙනවා සමාජවාදී වැඩ පිළිවෙළක්. 

ජනමාධ්‍යවේදියා: ඔබ කොමියුනිස්වාදියෙක්ද ආචාර්ය පෙරේරා?

එන්එම්: මම කොමියුනිස්ට්වාදියෙක් නෙමේ. හැබැයි මම මාක්ස්වාදියෙක්. අපි නියත වශයෙන්ම කොමියුනිස්වාදීන්ට(කොමියුනිස්ට් පක්ෂයට) විරුද්ධයි. මොකද ඔවුන් සම්පූර්ණයෙන් සෝවියට් දේශයට යටත් දේශපාලන පක්ෂයක්. අපි නිදහස් ජනතාවක් අපි කැමති අපේ ප්‍රතිපත්ති අපේ රටේ ප්‍රමුඛතා සහ අවශ්‍යතා වෙනුවෙන් මෙහෙය වෙනවට වෙන මිසක් කවුරුවත් අපට නියෝග කරනවට නෙමේ. 

ජනමාධ්‍යවේදියා: ඒත් මේ මැතිවරණෙදි ඔබ කොමියුනිස්ට්වාදීන් එක්ක සන්ධානයක් අපේක්ෂා කරනව නේද?

එන්එම්: අපි අතර එකඟතාවක් තියෙනවා. සන්ධානය කියන එක ටිකක් තද වැඩි වචනයක්.

ජනමාධ්‍යවේදියා: ඔබ අගමැති නම් ඔබ ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවතට ගන්නවද?

එන්එම්: ඒක මගේ පක්ෂෙ පහුගිය අවුරුද විසිපහක් තිස්සෙ තිබුණ අනිවාර්ය ප්‍රතිපත්තියක්. ඒ කියන්නෙ අපිට ඕනෙ බුරුමය වගේ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් පිට නිදහස් ජනරජයක් වෙන්න.

ජනමාධ්‍යවේදියා: සෝවියට් සමූහාණ්ඩුව සමග ඔබේ සම්බන්ධය කෙබඳු වෙයිද?

එන්එම්: අපිට සියලු කඳවුරුවලින් නිදහස්ව ඉන්නයි ඕනෙ.

ජනමාධ්‍යවේදියා: ඔබ තේවතු ජනසතු කරාවිද?

එන්එම්: අපි කරනවා.

ජනමාධ්‍යවේදියා: ඇයි?

එන්එම්: එහෙම කරන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයන් සම්බන්ධයෙන් මොනවත් විරෝධයක් අපිට තියෙන නිසා නෙමේ මොකද එහෙම තමයි තේවතුවලට යම් තාර්කිකත්වයක් දෙන්නත්, නිෂ්පාදනය උපරිමයට ගෙන එන්නත්, සම්පූර්ණ වාසිය ලංකාවෙ ජනතාවට ලබාගන්නත් පුළුවන්.

ජනමාධ්‍යවේදියා: ලාංකිකයන්ට පුළුවන්ද කාර්යක්ෂම ලෙස තේ වතු කරගෙන යන්න?

එන්එම්: ලාංකිකයන්ට තේවතු පවත්වගෙන යන්න පුළුවන් කියලට මම හොඳටම ඒත්තු ගිහින් ඉන්නෙ. හැබැයි දැනට ලංකාවෙ ඉන්න සියලුම යුරෝපීය ජාතිකයන් ලංකාවෙ තේවතු පාලනයට සහායවීමේ ඉඩ සහ හැකියාව මං බැහැර කරන්නෙ නෑ. මොකද අපි වර්ගය හෝ වර්ණය ගැන  කරදර වෙන්නෙ නෑ. අපේ උනන්දුව තියෙන්නෙ කාර්යක්ෂමව වැඩ කිරීම ගැන.



2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. පහු කාලෙක උං ඒ බූරු තකතීරු වැඩේ කලා.
    ජනසතු කියා ලේබලේට රජය සතු කරලා.
    සල්ලි ආකර වාගෙ තිවුනු වතු හෙංචයියලා දාල විනාස කලා.
    වරාය, තෙල්, ගුවං තොටුපොලවල්,කුකුල් කෑම වත් ඉතිරි කලේ නෑ.
    අද මේ සේරොම ජන්තාවගෙ කරපිට.
    අංත දූශිත නිලධාරිං හා දේසපාලුවොත් එක්ක

    ReplyDelete