Monday, September 6, 2021

"ගෙදර" නමැති ව්‍යූහය සහ මිනිසා- අත්දැකීම තේමාත්මකය කරා - ලියනගේ අමරකීර්ති

 

     


    

යම් අත්දැකීමක් ගැඹුරු තේමාත්මකයක් කරා මෙහෙය වන අතරම වින්දනීය කවියක් ලියන ආකාරය ගැන මම කලින් ලිව්වා. ඒ රචනය විශාල පිරිසක් කියවූ නිසා මේ රචනයත් කරන්න හිතුණා. අරකෙම දිගුවක් විදියට. මගෙ කලින් ලිපියට ප්‍රතිචාරයක් විදියට කුමාර හෙට්ටිආරච්චි ලියූ අපූරු කවියක් ඒ ලිපියටත් වඩා පැතිර ගිය බව ඔහුගෙ ෆේස්බුක් පිටුවට ගියොත් බැලුවැකි. 

   ගෙදර නමැති භෞතික වස්තුව ගෘහස්ථ ජීවිතය නමැති සංස්කෘතික, ආර්ථික ව්‍යුහයත් මනුෂ්‍ය ජීවිතයෙහි සම්පූර්ණ පොහොණිවීමට බාධා කරන ආකාරය ගැනත්, ඒ ව්‍යුහය නිරන්තරයෙන් සංස්කරණය වෙමින් සකස් විය යුතු බවත් තේමාත්මක වශයෙන් අල්ල ගන්න සාහිත්‍ය නිර්මාණ කවදත් තිබුණා. 13 වෙනි සියවසේ ලියවුණ කව්සිළුමිණට අනුව පබාවතී කුස අත්හැර යන්නෙ විවාහ ජීවිතයකදී බිරිඳකට හිමිවිය යුතු අභිමානවත් ස්ථානය ඇයට නොලැබීම නිසා කියා අර්ථ කථනය කරන්න පුළුවන්. මේ කාරණය තේමාත්මකව සාකච්ඡාවට ගැනීම මහාචාර්ය සුචරිත ගම්ලත්ගෙ වැදගත් බුද්ධිමය දායකත්වයක්. කව්සිළුමිණි විනිස මම හිතන්නෙ ඔහුගෙ හොඳම ශාස්ත්‍රීය කෘතිය. 

   මේක මම හිතන්නෙ මහාචාර්ය ගම්ලත් විතරක් නෙමේ, මහාචාර්ය පියසීලි විජේගුණසිංහ ඊටත් වඩා හොඳින් වර්ධනය කරපු තේමාවක්. ඉස්සර මට මතකයි මහාචාර්යවරිය අපට ඇනා කැරනිනා උගන්වද්දි සාකච්ඡාවට ගත්තු තේමාවක්: ලෝකෙ ලියවුණු හොඳම ආදර කතා බොහොමයක් විවාහයෙන් පිට ආදර කතා. ඇය එමා බොවාරි, බල්ලා කැටුව යන කාන්තාව ආදී කතා ඇය නිදර්ශනයට ගත්තා. අපේ ඒ තරුණ කාලෙ අපි එහෙමට පොතපත කියවලා තිබුණෙ නෑ. පස්සෙ කාලෙක ඇගේ තර්කයට පදනමක් තියෙනව කියල හිතෙන තරම් එවැනි ප්‍රබන්ධ කථා රාශියක් මට කියවන්න ලැබුණා. ඇන් එන්ඩ් ඔෆ් ඇන් ඇෆයාර්, ඉංග්ලිෂ් පේෂන්ට්,ස්කාලට් ලෙටර්, ඩොක්ටර් ෂිවාගෝ වගේ දිග ලැයිස්තුවක් තියෙනවා. මේ වගේ දේවල් ගැන උපාසක දුරස්ථභාවයකින් ලියූ මාර්ටින් වික්‍රමසිංහගෙ කලියුගයෙදි පවා පියල් ආදරය සහ ලිංගිකත්වය නිවසට පිටින් හොයනවා. ඒ නන්දලා අසපු යන්න පටන්ගන්න ගොඩක් කලින් !

    ඒත් මහාචාර්ය විජේගුණසිංහගෙ ප්‍රකාශය ඇත්තම නොවන බව මම පස්සෙ දැනගත්තා. ඒකභාර්යා ගෘහ ජීවිතය ගැන ලියවුණු හොඳ සාහිත්‍ය කෘති තියෙනවා. එවැනි කතාවලිනුත් ගෙදර සහ පවුල් සංස්ථාව කියන ව්‍යුහවල ඇති සීමා පෙන්නන්න පුළුවන්. ඇමරිකානු ලේඛක ජෝන් අප්ඩයික්ගෙ ටූ ෆාර් ටු ගෝ වගේ කතා සංග්‍රහයක් නිදර්ශනයක්. ඒ කතාවල අර දෙපැත්තම තියෙනවා. 

    මගේ ඔඩිසි පිටපතේ පැත්තකින් ලකුණු කළ තැනක් පරිවර්තනය කළොත් මෙහෙමයි: 

“පුරුෂයෙකු සහ ස්ත්‍රියක සැමියා සහ බිරිඳ ලෙස එකට එකතු වන්නට තීරණය කිරීම හොඳ දෙයකි. එය ඔවුන්ගේ මිතුරන්ට ප්‍රීතියක්ද සතුරන්ට අනතුරු ඇඟවීමක්ද වන නමුත් එහි සැබෑ අර්ථය දන්නේ ඒ දෙදෙනා පමණි.”

    ඔඩිසි කතාව වෛවාහික ආදරය ගැන පරමාදර්ශී කතාවක්. දශක කීපෙකට පස්සෙත් සිය බිරිඳ සොයා එන වීරයෙක් තමයි ඒකෙ ඉන්නෙ. හෝමර් ලියන්නෙ මිතුරන් සහ සතුරන් අත්‍යවශයෙන් ජීවිතයෙහි කොටසක් වූ ග්‍රීක නගර රාජ්‍ය පසුබිමේ. එක් එක් රාජ්‍ය අතර දේශපාලන තෙරපුම නිසා සතුරො ඉන්නවාමයි. ඒනිසා මිතුරො ඕනැමයි. විවාහය ඒ නිසා අවශ්‍ය ව්‍යුහයක්. හැබැයි හෝමර් කියනව ඒ ආයතනයේ ඇත්ත අර්ථය දන්නෙ විවාහ වුණු දෙන්න කියලා.

  මේක ටිකක් පරමාදර්ශි වගේ නම් මම උපුටා දක්වන්නම් මෑතකදි මට නැවත කියවන්න සිද්ධ වුණු ටෙනසි විලියම්ස්ගෙ කැට් ඔන් අ හොට් ටින් රූෆ් ( A Cat on a Hot Tin Roof) නාට්‍යයේ දෙබසක්. මේ ගැන මම වෙනම රචනයක් ලියන නිසා දෙබස විතරක් ඇති:

සිය සැමියා වන බ්‍රික් සමග ලිංගික ජීවිතයකින් තොර විවාහයක් ගෙවන්න සිදු වී ඇති රූමත් තරුණ බිරිඳක වන මාගරට් මෙහෙම කියනවා:

 “මම ඔයත් එක්ක ජීවත් වෙනවා නෙමෙයි. අපි එකම අවකාශයෙ රැඳී සිටිනවා.”

  මේ දෙබස් කණ්ඩය එන්නෙ නාට්‍යයෙ මුල නාට්‍යය අවසන් වන විට ඒ කියුමෙ අර්ථය අපට පේනවා. විවාහ තුනක කතා ඔස්සෙ අපි ඒක දකිනවා. හෙලේ නැග්ග ඩෝං පුතා යනුවෙන් සුගතපාලද සිල්වා පරිවර්තනය කොට 1966 දී නිෂ්පාදනය වූ මේ නාට්‍යය නූතන විවාහය යනු කුමක්ද කියන තේමාව සාකච්ඡාවට නොගෙනම නොපෙනි ගිය බවයි පේන්නෙ. 

   මෙක්සිකානු කිවි ඔක්ටාවියෝ පාස් ඩබල් ෆ්ලේම්( Double Flame) පොතේ මෙහෙම කියනවා. සරාගිකත්වය සහ ලිංගිකත්වය ජීවිතය දල්වා ප්‍රාණයෙන් තබන ගිනි දළු දෙක කියා. අපිට නාට්‍යයෙ හම්බවෙන්නෙ, බොහෝ එවැනි නවකතාවලවල හමුවන්නෙ ඒ ගිනි දළු දෙක නිමිලා ගිය ජීවිත.


  හැබැයි මේකත් කියන්න ඕනෙ. මහාචාර්ය විජේගුණසිංහ පවුල නමැති සංස්ථාවෙ සීමා ගැන ගැන කතා කළේ ඉන් එහා පාවෙන ජීවිතයක් රොමෑන්තිකකරණය කරන්න නෙමේ. ඇය විශ්වාස කළේ නිර්ධන පන්ති විප්ලවයෙන් පස්සෙ එළඹෙන සියලු අර්ථයෙන් සාධාරණ වූද සමානතාවාදී වූ සමාජයකදි පවුල නමැති ආයතනයත් අවශ්‍යයෙන්ම විශාල ප්‍රතිසංස්කරණයකට යා යුතු බව. ඇත්තටම ඒක නියතිවාදීවම එහෙම වෙනව වගේ දෙයක් තමයි ඇය කිව්ව බව මතක. ඇය ඒ විග්‍රහය කෙරුවෙ ආර්ථික නිර්ණයවාදී පසුබිමක ඉඳල. පොදු දේපල ක්‍රමයක් ඇවිත් පවුල නමැති ආතනයේ බරින් සාමාජික මිනිසා නිදහස් වුණාම පවුල නමැති ව්‍යූහය නිසැකයෙන්ම මෙන් ප්‍රජාතන්ත්‍රකරණය වෙනව වගේ දෙයක්. 

   1993 දි විතර ඇය උගන්නපු මේ දේවල් මට තවම මතක ඇයි? ඒ අර්ථකථන තව දුරටත් හිතන්න මාව පොලඹවපු නිසා. අදත් ඒවා ගැන හිතන නිසා. අද මම එවන් ආර්ථික නිර්ණයවාදී අර්ථකථනවලින් නවතින්න කැමති නෑ. එතුමියගෙ ඇස නොගැසුණ අධ්‍යයන සහ න්‍යායික ප්‍රවේශ පස්සෙ කාලෙ මට හම්බ වුණා. 

   මේ රචනයෙදි මම තවත් සිංහල කවි කීපයක් ඇසුරින් මෙම තේමාව සාකච්ඡා කරන්න කැමතියි. හැබැයි මගෙ අරමුණ පවුල කොහොම වෙන්න ඕනැද කියන එක සාකච්ඡා කරන්න නෙමේ. කවියා කොහොමද මෙවැනි වස්තු විෂයක් ගැඹුරු තේමාත්මකයක් සහ කවිතාවක් සහිත වින්දනීය සාහිත්යික අත්දැකීමක් බවට පෙරළන්නෙ කියන එකයි මට සාකච්ඡාවට ගන්න ඕනෙ. මම ලියන්නෙ අලුත් කවි කිවිඳියන්ට වන නිසා.

    ජගත් ජේ. එදිරිසිංහගේ ලතු අතුළ නගර මම කියවමින් සිටින අලුත්ම කවිපොත. මේ ඒකෙ කවියක්:

    ඔබට නොපෙනෙන


   සිරිපොද වැටෙන හඬ අබිබවා

   හිම බොරලු කැට හඬ නගයි

   වහලයට පතිත වෙයි

  ඒ හඬට සිත සැලෙයි

  ඔබ මෙතැන මා ගාව

 නිදි අතර...

 මම අසා සිටින්නෙමි

දෙසවන් යොමු කර

මේ විසල් ඝෝෂාව

මේ විසල් ලෝකය...


කෙතරම් දේ සිදුවේද

මේ රාත්‍රියේ පමණක් නොවේ

සෑම දවසකම ඔබ නිදාසිටිනාතර...


අවදි නොකරමි

මේ සියල්ලම

බොහෝ බියකරු බැවින්

ඔබට ඇති ස්නේහයෙන්

අසා සිටින්නෙමි


මා පමණක් අවදිව...


  මේ එදිරිසිංහගේ පොතේ තියෙන මම ඉතා කැමති කවියක්. මේ ගෙදරට, ඒකභාර්යා විවාහයට, න්‍යෂ්ටික පවුලට එපිටින් ඇහෙන බියකරු ශබ්ද නමැති චිත්තරූපය අපූරු සංකේත දනවනවා. කථකයා පමණක් අවදිව ඒවා අසා සිටින්නේ බිරිඳට ඇති සෙනහසින්. ඕනෑම බිරිඳකුත් මෙවන් බැහැරින් එන ශබ්ද අසා සිටින්න පුළුවන්. ගෘහස්ත ප්‍රේමයේ සහ ඒ ජීවිතයේ සීමා සේම ඒ හා බැඳුණු අත්හැරීමක ශෝකයෙන් යුතු මිහිර කවියට හසු වෙනවා. 

   ගෙදර සහ විවාහය නමැති ආයතනවල සීමාවලට පහර දෙන කවි නිතර හමු වෙන කාව්‍ය සංග්‍රහ පළ කරන කවියෙක් තමයි නිරාශ ගුණසේකර.  මට මතක තිබුණු එවැනි කවි හොයන්න ඔහුගෙ පොත් අතට ගනිද්දියි මට තේරුණේ ඔහුත් අඛණ්ඩව වැඩ කරන කවියෙක් බව. මීට වඩා අවධානයට ලක්විය යුතු කවියෙක් කියලත් කියන්න පුළුවන්. මේ කතා කරමින් ඉන්න තේමාව ගැන ඔහු ලියූ කවි අතරින් මම තෝරගත්තෙ අමුතුම කවියක්.

 ඇගේම මොහොතක්

උස් කඳු මුදුන් සිරසේ

වළා යහනට පාතින්

දිරූ දැව බංකුව මතුයෙහි

ඈ වාඩිගෙන හිඳී

කාලෙකින් නොලද

ඈගේම මොහොතක නතරව...


කාලය පවා නොගලන

ඒ අනත් අවකාශයෙහි

නොසැලෙනා ඇසිපියෙන්

නතුකරගන්නවා වැනි ඈ

පාත පැතිරුණු

මුළු මහත් මිටියාවතම

අත් පසුරින්...


කඳු කපොලු අතරින් රිංගා

ඈ කෙහෙරැලිද අවුල් කර දා

බිම් මත තණ ඇතිරි මත

සුළඟ රඟනා රැඟුමකි

පළමු වර ඈ දුටු මෙන්...


නොයා යුතුය ඒ අසලට

විසුණු නොකොට

ඒ සිහිනමය සමාධිය

ගිලී කිමිදෙන්න ඉඩහැර ඈට

ඉඳහිට බිඳෙන

මූකලන් කුරුලු ස්වරයක...


තනිකර දැමිය යුතුය ඈ

ඒ සැඳෑ රන්වනෙහි..


කැලෑ තණ මල් නෙළා

දරුවන් තැනූ තැනූ කිරුළෙහි

සිර නොකළ යුතුය ඈ

අදවත්...!

    මේ කවිය එන්නෙ ගුණසේකරගෙ නුරා පිරුණු සිලුවටයක කියන පොතේ. ගිය අවුරුද්දෙ පළවුණු අවධානයට ලක් විය යුතු පොතක්. මේ කවි මේ රචනයට තෝරගත්තෙ අපි කතාකරමින් ඉන්න තේමාව වෙතට ස්ත්‍රියගේ පාර්ශ්වයෙන් ප්‍රවේශ වන නිසා. විවාහය නම් ආයතනය ඇතුළෙ ස්ත්‍රියකට ඈගේම මොහොතක් ලැබෙන්නේ කොයි වෙලාවෙද කියන එක අපි එපමණ හිතන්නෙ නෑ. ඒ නිසා ඇය ඒ තනිව සිටිනා මොහොතෙදි තමයි සැමියා දකින්නෙ ඇය මුලින්ම හමු වූ දවසෙදි ඇය දුටු පරිදි. ඇගේ කෙහෙරැලි අවුල් කරන සුළඟ,  ඈ සිටින සිහිනමය සමාධිය, ඇය අසන්නාක් මෙන් පෙනෙන මූකලන් කුරුලු ස්වරය ළගන්නා චිත්තරූප මතු කරනවා. ගෙදර නමැති අභ්‍යන්තරයෙහි නිරෝගීභාවය පිණිස බැහැරින් එන සුළඟ අවශ්‍යයයි. මේ සැමියා ඒ සුළඟට ඉඩ දෙන්න තීරණය කරනවා. ඇය මේ ගතකරමින් ඉන්න ඇගේම මොහොත තුළ තමා සහ දරුවන් නොසිටින්න පවා ඉඩ තියෙනවා. 

  ගුණසේකර ප්‍රබන්ධ රචකයෙක් වගේ මෙවැනි අවස්ථා මවන්න සමත් කවියෙක්. ඒත් බොහෝ විට ඔහු ඒ අදාළ අත්දැකීම එය ඉක්මවන තේමාත්මකයක් කරා තල්ලු කරන්න යන්නේ නෑ. ඒවා රසිකයාට මතු කරගන්න ඉඩ හරිනවා. 

  වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ලගේ මට දුරද මල් පිපෙන හදවත නම් අලුත් පොත ඔහුගෙ කවිය ඉදිරිපිම්මක් සලකුණු කරන බව මම කලින් රචනයක කිව්වා. ගෘහස්ත ප්‍රේමයේ සහ ජීවිතයේ සීමා ගැන රමණීය කවියක් ඒ පොතේ තියෙනවා. 

විවාහක ඔබ

ඔබ මැසූ කොට්ට උරයක්

ලස්සනද? අහන එක


ඉඳහිට චොකලට් පෙත්තක්

බර කර අත්ලේ තියන එක


වැහි දවසට රතැඟිලි තුඩින්

ජනෙල් වීදුරුවල

වැහි බිඳු පිහින එක

.............

............

ඔය වැනි පොඩි පොඩි

දෑ අතරය

කතාබහ ගෙවී ගියෙ

අපත’ර


දවසක් කොනිත්තා ඔබ

වම් උරහිස

පෙන්වී ය මට

වැස්සට පසු

නුදුරු දිය කඩිත්තක්

කඳුවැටි දෙකක්

පිළිබිඹු කරන හැටි

එකිනෙකට

බාධා නොවන විදියට


  නිවුන්හැල්ල එවැනි දෘශ්‍යමය චිත්තරූපවලට අර්ථ සාධනය පවරා පැත්තකට වෙනවා. ඒ දිය කඩිත්තේ ඒ කඳු දෙක එකිනෙක වෙලී පිළිබිඹු නොවීම ගැන රසික අපගේ හිතේ අමුතු වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාව ඒ දෙන්නා තුළත් ඇති. ඒ වේදනාවේ උපත කොතැනද? ඒ වේදනාව අනිවාර්ය යථාර්ථයක් කරන ව්‍යූහය කුමක්ද? ඒ ව්‍යූහය පෙන්වන්න තමයි කවියා ඉතා සෘජු මාතෘකාවක් කවියට දෙන්නෙ. ඒත් මේ කවියෙ මම අකමැතිම තැන කවියෙ නම. 

   

  මේ රචනයේ තේමාව සමග ගැලපී යන තව කවියක් මම තෝරගන්නෙ උපෙකලා අතුකෝරළගේ සංක්‍රාන්තියක සැණකෙළි පොතෙන්. අනික් කවි වගේම මෙයත් මම විවිධ පන්ති කාමර දේශනවල භාවිත කරනවා. 

රෑ නින්ද නැති මාගමුන්

කිසිත් කිසිවක් නිනව්වක් නැති

තැනක් දිනයක් නිශ්චයක් නැති

අදට වැඩි හොඳ හෙටක සිහිනෙකි

මාගමුන් වේ රෑ නින්ද නැති


හිතක් පපුවක් ළඟකවත් නැති

හිස් මිනිස් හිස් අතර දිවි නැති

අනවරත දහවලෙන් මිරිකෙති

මාගමුන් වේ රෑ නින්ද නැති


දහස් එළි මැද තිර මගක් නැති

තරුවලට හිත අයා සැනසෙති

ඉර හඳක් ඉල්ලා සටන් නැති

මාගමුන් වේ රෑ නින්ද නැති


මිරිකලා හිත දුක් මුදාලති

රළු බැඳුම් කැන සිනා පාදති

ඇත නෑර දිවි ගෙවා හතිලති

මාගමුන් වේ රෑ නින්ද නැති


සැලෙති පිබිදෙති හඬති හිනැහෙති

මහබෙරක් දිවි බර නැතත් නිති

හීතලම හිත උණුහුමත් ඇති

මාගමුන් වේ රෑ නින්ද නැති


මග බලා හිඳ අවලාද නැති

එක මිටට දිවි සිහින පබඳිති

ළයෙන් ළය සැනසෙනු පතා වෙති

මාගමුන් වේ රෑ නින්ද නැති


  මෙය හඬ නගා කියවා විඳිය හැකි කවියක්. නමුත් මේ කවියෙ තියෙන එක සීමාවක් තමයි විවාහය නමැති ආයතනය ඇතුළෙ ස්ත්‍රිය සිටින පරිත්‍යාගශීලි ආකාරය ගැන පුවත් අපට කිව්වට ඒ ආයතනය පුපුරවන දැක්මක් හෙවත් එක්තරා “නෝරා මොහොතක්” කවියෙ කොතැනකින් වත් මතු නොවීම. ඒ මාගමුන් සියල්ල දරාගෙන නොනිදා ඉන්නවා. ඒ බව කිවිඳිය අපට කියනවා. ඒත් ඒ මාගමුන් එක රැයක්වත් හොඳින් නිදාගත්තොත් මේ ආදර උණුසමේ ආයතනයට මොකද වෙන්නෙ කියා කවිකාරිය අපට කියන්නෙ නෑ. මේ මාගමුන් එච්චර දුර හීනෙන්වත් යන්නෙ නෑ. "මෙන්න මෙහෙම තමයි නියම හොඳ ගෑනු" කියන සමාජයක මේ කවියෙ තේමාත්මකය තව මුවහත් වෙන්න ඕනෙ කියලා මට හිතෙනවා. අපි එහෙම ස්ත්‍රීන් උත්කර්ෂයට නංවා, සංස්කෘතිකකරණය කර, බෝසත්කරණය කරන හැටි සුනන්දා රණසිංහගෙ මේ කවියෙන් පේනවා.

කවියක් වූ අම්මා

ගිනියම් කිහිරඟුරු අතර

උණුසුම් වී රත් පෑයෙන

තැළුම් පෙළුම් ඉවසාගෙන

බෝසත් ගුණ දරා හදින

මඩ බොර දිය ගිලි ගිලී

නිවාගෙන ගැහෙන සියොලඟ

මුවහත් වී

සවිමත් වී

අවියක් නොව

කවියක් වූයේ කෙලසද

අම්මේ නුඹ

   අම්මාට මෙතරම් පීඩාවක් ඇති ව්‍යුහයක් තුළ අවියක් වූ අම්මා කෙනෙකුට බෝසත් වෙන්න බැරිද? අප මහ බෝසතාණන් ව්‍යුහවලට අභියෝග කළ කෙනෙක් නෙමේද? ටිම්රාන් කීර්ති වගේ අයගෙන් ප්‍රකාශ වෙන්න අන්න ඒ විඥානය. ඔහුගෙ කවිවල එන අම්මලා බෝසත් වෙන්නෙ ඉන්න ව්‍යුහවලට කීකරු වීමෙන් නෙමේ.

  මේ තේමාවට අදාළ තව කවි තියෙනවා. ඒත් දැන් රචනය දිග වැඩියි. අනික ටයිප් කරල මගේ ඇඟිලිත් රිදෙනවා. මෙව්ව මගෙ සීමිත අදහස්. සාහිත්‍ය කලා ගැන අසීමිත සත්‍යයක් තියෙන්නෙ කවුරු ළඟද?

    මේ රචනයේ මූලික ප්‍රවාදය හොඳින්ම තේරුම් ගන්න නම් කලින් රචනයත් කියවන්න වෙනවා. ඒකට සමාවෙන්න.

 

   

 

 


   


1 comment: