Tuesday, October 12, 2021

ඇටමැස්සා සහ ඇන්ටිගනී- නාට්‍ය නරඹන්නට නැති සොවින් පරණ ලිපියක්- ලියනගේ අමරකීර්ති

 







(2012 වසරේදී ජනරළ පුවත්පතට ලියූ තව සැරයක් තීරු ලිපියෙනි.)


  ඇන්ටිගනී නාට්‍ය 1990 දශකයේදී මුලින්ම නිෂ්පාදනය වූයේ සෝමලතා සුබසිංහ අතිනි. එය සම්භාව්‍ය ශෝකාන්ත නාට්‍යයක ස්වරූපය ගත් හොඳ නිෂ්පාදනයක් විය. ඇය එකල නිතර නාට්‍ය නිෂ්පාදනය කර පිට පිට සම්මාන ලබමින් උන්නාය. ඒ නිසා ඒ නාට්‍යය සාර්ථකව රඟ දැක්වෙන විට අප වැනි නාට්‍ය රසික කොල්ලන් අතර මෙවැනි කියමනක් ඇති විය:

“මේ පාරත් සම්මාන ටික ඇන්ටි-ගනීද?” මේ සරදම් වැකිය මුලින් කියූ තැනැත්තා එකල නාට්‍ය කළ නමුත් දැන් පෙනෙන්නට නැත.

“ඇන්ටි” යනු සෝමලතා මැඩම්ය. කෘති අමතක කර සම්මාන ගැන හිතන්නට පටන් ගත් විට ඇති වන්නේ එවැනි විහිළු පමණය. ඒ හැරුණු විට ඒ විශිෂ්ට නාටකය කළ සමාජමය කාර්ය ගැන අප කතා කළෙමුද?


  සෝමලතා සුබසිංහගෙන්ද නාට්‍ය කලාව උගත්ප්‍රියංකර රත්නායකගේ අද වගේ දවසක ඇන්ටිගනී දෙවරක් නැරඹූ මම ඒ ගැන යමක් ලියන්නට හිතමින් උන්නද එහි මා කැමතිම අංග වූ රංග වින්‍යාසය හා රංගනය විචාරයේ ගද්‍ය භාෂාවට පරිවර්තනය කිරීම ඉතා අමාරු විය. අනික ලියන්නට ඉඳගන්නා සෑම විටම රංගය පිළිබඳ තතු මට අමතක වී තිබිණ. සිනමාව ගැන ලිවීමේදී නම් අදාළ කෘතිය ඩීවීඩී තැටිය යළි යළි නරඹන්නට පුළුවන. නාට්‍යයේදී අදාළ රංගයේ මොහොත පසු වී ගිය විට එය යළි සිහියට කැඳවීම ලෙහෙසි නැත. රංගමය ප්‍රාසාංගිකත්වය කේන්ද්‍ර කරගත් අද වගේ දවසක ඇන්ටිගනී වැනි නාට්‍යයේදී එහි වූ දෘශ්‍යමය සංඥා යළි කැඳවීම කොහොමත් අමාරුය. 

ඒ නිසා සියලු කලාවන් අතින් නිර්මාණය “නැතිව” විචාරය කරන කලාව නාට්‍යය කලාවයි. සිනමාව නැවත නැවත නැරඹිය හැකිය; නවකතාවක් නැවත කියවිය හැකිය. නාට්‍යයක්ද නැවත නැරඹිය හැකිය. එය දර්ශනයෙන් දර්ශනයට වෙනස් වේ. නාට්‍ය කලාවේ කලාත්මක මොහොත ඒ නිසා අල්ලා අවසන් කළ නොහැකි එකකි. නාට්‍ය කලාවේ විශිෂ්ටත්වයද එයයි. 

    ග්‍රීක නාට්‍ය කලාව ගැන අපගේ අවබෝධය වර්ධනය කරන්නට ඉමහත් දායකත්වයක් සැපයූ අප කිවිඳු ආරියවංශ රණවීරයන් විසින් පරිවර්තිත මෙම නාට්‍යය බල කාමය, හිතුවක්කාරය, නිසා ක්‍රමයෙන් ඒකාධිපති වියරුවක් දක්වා ඇද වැටෙන පාලකයෙකු රජ කරන රටක මිනිස් ආචාරධර්ම උදෙසා නොබියව ඉදිරියට එන ඇන්ටිගනී නම් එක් තරුණියක පිළිබඳවය. මේ තරුණිය නිසා රාජ්‍යයක හෘද සාක්ෂිය ඇහැරෙන්නට පටන් ගනී. ඇන්ටිගනීට සදාතනික නින්දට වැටෙන්නට සිදු වුවද රාජ්‍යයක් ඇහැරේ. ඇන්ටිගනී කරන මේ ප්‍රශ්න කිරීම නියෝජනය කරන්නේ ශිෂ්ටත්වයේ කටහඬයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සඳහා මේ සොක්‍රටික ප්‍රශ්න කිරීම අවශ්‍ය වේ. වරක් සොක්‍රටීස් මෙසේ කීවේය:


මම ප්‍රජාතන්ත්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප්‍රජාතන්ත්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර පණ ගන්වා ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ.

- සොක්‍රටීස්. ප්ලේටෝගේ ඇපොලොජි.


සොක්‍රටීස්ගේ ඇටමැස්සා සංකල්පය දැන් ඉතා ප්‍රකටය. ඇටමැස්සා නමින් සුගතපාලද සිල්වා විසින් පරිවර්තිත එතල් ලිලියන් වොයිනිච් විසින් ලියන ලද නවකතාවට ඒ නම එන්නේද සොක්‍රටීස්ගේ සංකල්පයෙනි. සොක්‍රටීස් දකින හැටියට ප්‍රජාතන්ත්‍රවාදය විශාල අස්සයෙකි. ඒ අශ්වයා උතුම්ය. එහෙත් ඌ වහාම අලසකමට ඇද වැටේ. ඌ මළ කඳක් නිසල වන්නටද පුළුවන. කොතරම් උතුම් වුවත් අලස අසකුගෙන් පලක් වෙද? මේ අශ්වයාට හපා කා ඇහැරවා ක්‍රියාකාරී කරවීම ඇටමැස්සාගේ කාර්යයි. අශ්වයාට අශ්වභාවය ලැබෙන්නේ ඒ ක්‍රියාකාරීවීමෙනි.

අද වගේ දවසක ඇන්ටිගනී නාට්‍යයේ ඇන්ටිගනී නම් තරුණිය පමණක් නොව එහි අධ්‍යක්ෂක ප්‍රියංකර රත්නායකද මිනිස් ශිෂ්ටාචාරයට වැදගත් වන්නා වූ ඇටමැසි කාර්ය කරන්නෝ වෙති. 

මේ නාට්‍යයේ පරිවර්තක වූ විශිෂ්ට කවියා කලෙක ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ද වූ බව සිහියට එන විට අද වගේ දවසක ඇති වන්නේ දරුණු කාන්සාවකි.


(මෙම තීරු ලිපිය 2012 දී ලියන විට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි තැනැත්තා අද ජනාධිපතිය. අද ඒ ලේකම් තනතුර දරන කෙනා කවුදැයි කවුරුත් දනිති.)


No comments:

Post a Comment