Tuesday, October 12, 2021

හරිම වැදගත් පොතක්: නියත විවරණය - ලියනගේ අමරකීර්ති

 



   වර්තමාන කියවීමේ සංස්කෘතිය ගැන පඬීහු චෝදනා කරති. පොත් කර්මාන්තය හුදෙක් මුදල් ඉපයීමක් බවද කියති. ඇත්ත. කිසි කමකට නැති පොත්ද පළවෙන බව ඇත්ත. එහෙත් වැදගත්ද පළ වෙන බව අමතක නොකළ යුතුය. මෑතකදී මළ වූ එවන් වැදගත් පොතක් පාඨකයන්ගේ නිසි අවධානයට තවමත් ලක් වී නැති බව පෙනේ. ඒ පොත නියත විවරණය නම් වෙයි. 

   නවකතාවක නමක් සිහි කරන මේ කෘතිය නවකතාවක් නොවේ. එහි උපශීර්ෂය වැදගත් වන්නේ ඒ නිසාය: මානව අයිතිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ කතන්දරය. විජයානන්ද ජයවීර ලියූ මේ කෘතිය රාවය ප්‍රකාශනයකි.

  මෙහි එන්නේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය බිහිවීමේ කතන්දරයයි. මේ කතන්දරය අප කවුරුත් කියවිය යුතුය.

  අපේ රටේ කලෙක සිට ප්‍රජාතන්ත්‍රවාදී රටක පැවැතිය යුතු ඇතැම් සංකල්ප දූෂණය වී තිබේ.

මානව හිමිකම් යනු බටහිර කුමන්ත්‍රණයකියි ඇතැම්හු සිතති. තනි මනුෂ්‍යයෙකු ලෙස කෙනෙකුට තිබිය යුතු මිනිස් අයිතිවාසිකම් බටහිර කුමන්ත්‍රණය යැයි හඳුන්වනු ලැබීමට හේතු කිහිපයකි. එකක් නම් ලෝක අධිරාජ්‍යවාදීන් තමන් අකමැති හා තමන්ගේ දෘෂ්ටිවාදයන්ට හා බලයට තර්ජනයක් වන රටවලට එරෙහිව භාවිත කරන උපකරණයක් බවට මානව හිමිකම් භාවිත කිරීමයි. මේ කාරණයේදී ඇමරිකාවේ හැසිරීම ඛේදජනක බව දෙවන ලෝක යුද්ධයෙන් පසුව නොයෙක් වර හෙළි විය. එහෙත් මෙය බටහිරට පමණක් සීමා වූ දෙයක් නොවේ. එය අධිරාජ්‍යවාදයයි. සෝවියට් දේශයද මෙය කළේය. චීනයද කළේය. මතුවටත් කරනු ඇත. අපේ ඇතැම් දේශපාලකයන් බටහිරට බැණ බැණ චීනය සමග විශාල ආර්ථික දේශපාලන සම්බන්ධතාවලට එළඹෙන්නේ චීනය මානව හිමිකම් ආදිය ගැන ප්‍රශ්න නොකරන බැවිනි. චීනයේ මානව හිමිකම් වාර්තාවත් හොඳ නැති නිසා ඔවුන්ට ඒ අනික් අයගේ දේවල් ගැන ප්‍රශ්න කිරීම අමාරුය. කවදා හෝ ඔවුන්ට වාසිදායක වෙලාවට ඔවුන්ද මානව හිමිකම් ගැන අසනු ඇත. එවිට අපේ දේශපාලකයන්ට එය චීන හෝ කහපාට උන්ගේ කුමන්ත්‍රණයකියි කියන්නට පුළුවන.

   මානව හිමිකම් යනු බටහිර කුමන්ත්‍රණයකියි කියන බොහෝ රටවල මානව හිමිකම් වාර්තාව හොඳ නැත. සීමාන්තික බලය ඇති ආයතනවලින් ඒක පුද්ගල මිනිසාගේ අයිතීන් ආරක්ෂා කිරීම අවශ්‍ය වෙයි. ඒ නිසා නිර්මාණය කළේ කවුරුන් වුවත් මානව හිමිකම් යනු අප විසින් සංකල්පමය වශයෙන් ආරක්ෂා කර ගෙන ආයතනික වශයෙන් ක්‍රියාවේ යෙදවිය යුතුය.

  විජයානන්ද ජයවීරගේ කෘතිය වැදගත් වෙන්නේ ඒ නිසා නොවේ. මේ කෘතිය අපේ රටේ බලවතුන් නිතර මතුරන බොරුවක් බොරු කරයි. නැති නම් ඔවුන්ගේ බොරු කීම අමාරු කරයි.

එනම්  මානව හිමිකම් යනු හුදෙක් බටහිර නිර්මිතයක්ය යන්න මේ කෘතියෙන් සංකීර්ණ කෙරේ. දෙවන ලෝක යුද්ධයේදී සිදු වූ අතිවිශාල ජීවිත විනාශයෙන් පසු එවැන්නක් නැවති සිදු නොවන තැනට ක්‍රියා කිරීම ලෝකයේ කාගේත් වගකීමක් විය. වගකීම් සහගත මිනිසුන් ක්‍රියා කළ යුත්තේ එසේය. 

   “මානව හිමිකම්” සංකල්පගත කොට උත්තර සංස්කෘතික ආචාරධර්ම පද්ධතියක් සේ ලෝකයා විසින් ආරක්ෂා කරගතයුතු බවට සම්මත කර ගත් සැටි මේ පොතේ එයි. ඒවායේ සැකසුම හුදෙක් බටහිර විසින් කරන ලද්දක් නොවේ. මේ කාර්යට විවිධ රටවල අය සහභාගි වූහ. ඒ අය අතර ආසියානු අප්‍රිකානු ආදී බටහිර නොවන විද්වත්හු සිටියහ. අනික ඒ සමුළුව තුළ පිරිමින්ගේ ආධිපත්‍යයක්ද නොවිණ. ඇමරිකාවෙන් හා ඉන්දියාවෙන් සහභාගි වූවෝ කාන්තාවෝය. හිටපු ජනාධිපතිවරයෙකුගේ බිරිඳ වූ එලිනෝර් රූස්වෙල්ට් ඇමරිකාවෙන් ආවාය. ඇය ජනාධිපති බිරිඳක වුවත් නිදහස්කාමී ලේඛිකාවක ලෙස කීර්තියක් දිනා සිටියාය. සමාජ-සංස්කෘතික ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දු වන අය අදත් ඇගේ රචනා කියවති. ඉන්දියාවෙන් සහභාගි වූ හන්ස මේතා මහත්මිය මේ සමුළුවට පෙරත් ඉන්දියාවේ සිට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කළ කෙනෙකි.

   කෙටියෙන් කිවහොත් මෙසේය: මානව හිමිකම් යනු බටහිර කුමන්ත්‍රණයක් නොවේ. ඒවා අධිරාජ්‍යවාදීන් විසින් කෙසේ භාවිත කෙරෙන ආකාරය ගැන නිරන්තර විචාරයකින් ඒවා ආරක්ෂා කිරීම ලෝක පුරවැසියන්ගේ වගකීමයි. ඒවා අත්හැර දමන ලද ලෝකයක් යනු ඒකාධිපතියන්ටම අයිති වූ ලෝකයයි.

  


No comments:

Post a Comment