Thursday, October 14, 2021

වර්ණයෙන් නැළවිලි ගීයක්- හෙවත් සිත්තම් කලාව වෙත කවුළුවක් - ලියනගේ අමරකීර්ති

 


විශ්වවිද්‍යාලයක සෞන්දර්ය කලා ආදිය ගැන උගන්වන අපි අපේ ක්ෂේත්‍රයෙ පළ වෙන හොඳ පොතපත ගැන ආරංචි බෙදාගන්න එක හොඳයි.

මේ සටහන එවැනි ආරංචියක් ගැන කියන්නයි. අපේ සාහිත්‍ය කලා අධ්‍යයනය වාග් කේන්ද්‍රීය හෝ සාහිත්‍ය කේන්ද්‍රීයතාවෙන් තරමක් හෝ ඈත් කරන්න පේරාදෙණියේ සිංහල අංශයේ අපි යම් තැතක් ගන්නවා. ඒ නිසා දෘශ්‍ය කලා ආදිය ගැන යම් හෝ අවබෝධයක් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දෙන්න තැත් කරනවා. එහෙයින්ම දෘශ්‍ය කලා ආදිය ගැන ලියවෙන පොතපතත් කියවන අවස්ථාව ඇති කරන්න යම් උත්සාහයක් ගන්නවා. 

අපේ විශ්වවිද්‍යාලයේ හිටපු කීර්තිමත් පුස්තකාලායාධි ඉයන් ගුණතිලක වැනි අයත් දෘශ්‍ය කලා ආදිය ගැන හොඳ දැනුමක් ඇතිව සිටි අය. ඔහු නිසා අපේ පුස්තකාලෙ මේ වගේ විෂයක් ගැන අධ්‍යයනයට යම් පසුබිමක් තියෙනවා.

ඒත් අද අපට තියෙන ලොකුම ප්‍රශ්නෙ දෘශ්‍ය කලා ආදිය ගැන සිංහලෙන් ලියවෙන පොත පත අඩුවීම. 

දෘශ්‍ය කලා විෂයයන්ට අපේ තරුණ ශිෂ්‍යශිෂ්‍යාවන් ආසා කරන බව පෙන්වන උත්ප්‍රාසාත්මක සිද්ධියක්ද තියෙනවා: අපේ විශ්වවිද්‍යාලයේ වැඩියෙන්ම කොළ කපා හානි කර තිබෙන්නේ දෘශ්‍ය කලා පොත්වලට. වෙළඳ පොළේ රුපියල් විසිතිස් දාහකටවත් ගන්න බැරි පොත්වල චිත්‍ර කපාගෙන ගිය අවස්ථා තියෙනවා.

මේවා කපපු අය අධ්‍යාපනයේ නිදහස පිළිබඳ පෙළපාළිවලත් ඉන්න ඇති.

 

ජොඑල් එල්. ස්වර්ඩ්ලෝ නැමති වි්ද්වතා නැෂනල් ජියෝග්‍රැෆි සඟරාවට ලියූ පිටු තිහක ලිපියක් සිංහලට පරිවර්තනය කොට වින්සන්ට් වැන් ගෝ: වර්ණයෙන් නැළවිලි ගීයක් නමින් පොතක් පළ වී තිබෙනවා.

මේ පොත ගැන ආරංචිය මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ මේවා ගැන උනන්දු අය වෙනුවෙන් ලියා තබන්නයි මේ සටහන.

මේ පොත පරිවර්තනය කර තිබෙන්නේ අනෝමා ජයසිංහ.

මේ පොත සංස්කරණය කොට හැඳන්වීමක්ද ලියා පළ කරන්නට මූලිකත්වය ගෙන තිබෙන්නේ මහාචාර්ය සරත් චන්ද්‍රජීව. මේ විෂය ගැන උනන්දු නමුත් වැඩිමනත් දැනුමක් නැති අපි වගේ අයට කියවීමට දේවල් සැපයීමේ කාර්යට මහාචාර්ය චන්ද්‍රජීවත් බොහෙවින් දායක වී තිබෙනවා.

 

මේ පොත සිත්තම් කියවීමට අවබෝධයක් ලබාදෙන මියුසියම් කැටලොග් එකක්ද, සිත්තරාගේ ජීවිතය පිළිබඳ ජීවන චරිත විස්තරයක්ද, සිත්තම් කලාව ගැන හැඳින්වීමක්ද ආදී ස්වරූප කීපයක් ගන්නවා. ඒවගේ ලක්ෂණ කීපයක් එකතුවක්. ඉතා පැහැදිලිව මුද්‍රණය කළ වැන්ගෝ සිත්තම් දුසිමක් විතර පොතේ තියෙනවා.

 පොතේ ඇතැම් තැන්වල සිංහල බස තව ටිකක් මට සිලිටි විය යුතුව තිබුණා කියා කෙනෙකුට කියන්න පුළුවන්.

නමුත් සාහිත්‍ය ලෝකයේ සිට දෘශ්‍ය කලා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න උපකාර වන තැන් මේ පොතේ තියෙනවා:

 

"ශේක්ෂ්පියර් කොපමණ සුන්දරද? ඔහු මෙන් ගුප්ත වන්නේ කවුද? උණ රෝගයෙන් හා හැඟීම්වලින් උත්සන්න වී කෙනෙකු ගැහෙන විලාසයෙන් චිත්‍ර ශිල්පියෙකුගේ ලෙලෙන බුරුසුවක් හා ශේක්ෂ්පියර්ගේ භාෂාව හා විලාසය නිසැකයෙන්ම සන්සන්දනය කළ හැකිය. එහෙත් දැක්මට හා ජීවත්වීමට කෙනෙකු ඉගෙන ගත යුතු වූවාක් මෙන්ම කියවීමටද ඉගෙනගත යුතුය."

 


කලාව සහ ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කිරීම කියන්නෙ ජීවිත කාලයක් තෝරාගත් විෂය වෙනුවෙන් ගත කිරීමක්. එවැනි ජීවිත අවසානය ඕනෑම ස්වරූපයක් ගන්න පුළුවන්. දුප්පත් වෙන්නත්, පෝසත් වෙන්නත්, ඔය දෙක අතර මැද තැනක් වෙන්නත් පුළුවන්. ප්‍රසිද්ධ වෙන්නත් නොවෙන්නත් පුළුවන්. වැන් ගෝ සිත්තම් කලාව වෙනුවෙන් දිවි කැප කරන්නෙ මේව දැනගෙන. ජීවිතේ අවසාන කාලෙදි තම ආර්ථික අපහසුතා ආදිය ගැන තමන් ජීවත් වෙන සමාජෙට ආඩපාලි කියන අපේ ඇතැම් අය වගේ නෙමෙයි වැන් ගෝ සහ ඔහුගේ යුගයෙ ප්‍රධාන කලාකාරයො.


මේ පොතෙන් වැකි කීපයක්:

"වර්ෂ 1880  මාර්තු  මාසයේ ඔහුගේ 27 වෙනි උපන් දිනයට දින කිහිපයකට පෙර ඔහු ප්‍රංශ දේශ සීමාවේ පිහිටි නරගයක් වූ වැලෙන්සියෙන් සිට කුරියේ දක්වා සැතපුම් 30ක් පමණ පයින් ගියේය. ඔහුගේ අරමුණ යුරෝපයේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පියෙකු වූ ජූල් බ්‍රෙට්න්ගේ චිත්‍රාගාරය නැරඹීමය. බ්‍රෙට්න්ට පෙන්වීමට ඔහු අත තිබුණේ පෑනෙන් සහ අඟුරුවලින් අඳින ලද චිත්‍ර කීපයක් පමණයි."


අවුරුදු 37 දී වෙඩි තබාගෙන මිය ගිය වැන් ගෝ චිත්‍ර ශිල්පියෙකු ලෙස ගත කළ අවුරුදු දහය තුළ කළ නිර්මාණ අමරණීයයි.

ඔහු මිය ගියේ ආර්ථික අමාරුකම් ඇති කෙනෙක් හැටියට. හැබැයි කලාව වෙනුවෙන් ජීවත් වුණ කෙනෙක් ළඟ මිය යනවිට තිබුණු මුදල් ගණන අනුව ඔහු දුප්පත්ද පෝසත්ද කියන එක ඔවුන් තේරුම්ගන්න හොඳ මිම්මක් නෙමෙයි. මොකද ඔවුනේ ලෝකය ඒ මිමිවලට උඩිනුයි තියෙන්නෙ.

ඒත් 1990 දී ඔහුගේ චිත්‍රයක් ඩොලර් මිලියන 82.5කට විකිණුණ බව මේ පොතේ තියෙනවා.


වැන් ගෝ චිත්‍ර නරඹන්නට පාඨකයාට කියා දෙන අතරම සිත්තරාගේ ජීවන තතුත්, කලා ඉතිහාසයේ සහ සිත්තම් වෙළඳාපොළෙහි තතුත් කියන අතරෙ මේ පුස්තිකාව යුරෝපා සංස්කෘතිය ඉතිහාසයේ හරස්කඩකුත් අල්ලා ගන්නවා.






හොඳ භාෂා සංස්කරණයෙන් යුතුව මෙවැනි පොත් පළ කොට අපි වගේ පරිවාර ක්ෂේත්‍රවල අයත් කියවන්න මෙවැනි පොත් පළ කරන එක හොඳයි.

අර සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ප්‍රකාශන ව්‍යාපෘතිය මේ වගේ දුර්ලභ විෂයවලට වැඩියෙන් අවධානය යොමු කරන්න වටිනවා.

මේ පොත පළ කොට තිබෙන්නේ : ශ්‍රී ලංකා සමකාලීන කලා හා කලා ශිල්ප සංගමය විසින්.

  ප්‍රකාශිත වර්ෂය: 2018


No comments:

Post a Comment