ජනාධිපති ජෝ බයිඩන් කළ වැදගත් වැඩක් තමයි කෝවිඩ්-19 එන්නත හා සම්බන්ධ පේටන්ට් බලපත්‍ර ඉවත් කළ යුතුයි කියන එක. ලෝකයේ ඉතාම බලවත් වෙළඳ අධිරාජ්‍යයක් තමයි ඖෂධ නිෂ්පාදනය හා වෙළඳාම. ඒවා යොදා මනුෂ්‍යයන්ට ප්‍රතිකාර කිරීමේ වෛද්‍ය විද්‍යාවත් තියෙන්නෙ වෙළඳ අධිරාජ්‍යයක් ඇතුළෙ තමයි. බෙහෙත් වර්ග හා සෞඛ්‍යය හා සම්බන්ධ නිෂ්පාදන ඇසුරින් ගොඩ නැගී ඇති විශාල වෙළඳ අධිරාජ්‍ය දෙවෙනි වෙන්නෙ ආයුධ සහ යුද උපකරණ ආශ්‍රිත වෙළඳ අධිරාජ්‍යයට විතරයි. ඇමරිකාව මේ දෙකේම ලොක්කො.
ඒ අතර තමයි බයිඩන් කිව්වෙ ලෝකය පුරා පැතිරුණු වසංගතයක් වන කෝවිඩ් 19 වෛරසයට මුහුණදීමට නිපද වූ සියලු එන්නත්වල පේටන්ට් බලපත්‍ර අත්හරින්න ඕනෙ කියලා. එතකොට හැම රටටම පුළුවන් ඒ එන්නතේ ෆෝමියුලාව අරගෙන එන්නත නිපදවන්න.
ඒ විතරක් නෙමේ ඇමරිකාවේ නිෂ්පාදනය කෙරෙන එන්නත් චීනයේ නිෂ්පාදනය කෙරෙන එන්නත්වලට ලාබෙට ලංකාව වගේ රටවලට ගන්නත් පුළුවන්. ඒකට හේතුව ඇමරිකානු එන්නත්වල මිලට උපරිම සීමාවක් පනවා තියෙන නිසා. ඒ අතින් චීනය එන්නත භාවිත කරන්නෙ මේ අවස්ථාවෙන් උපරිම වෙළඳ-දේශපාලන වාසි ගන්න. කොහොම වුණත් මේ පේටන්ට් ප්‍රශ්නෙදි චීනෙත් එකඟ වුණා.
බයිඩන් එන්නතේ පේටන්ට් බලපත්‍ර පවා අත්හරින්න කියන එක ඊට කලින් හිටපු ඩොනලඩ් ට්‍රම්ප්ගේ “මුලින්ම ඇමරිකාව” කියන ප්‍රතිපත්තියට වඩා සම්පූර්ණයෙන් වෙනස් අදහසක්. ඇත්තටම ලෝක වෙළඳ සංවිධානය තමයි කිව්වෙ එන්නත් නිපදවන සමාගම්වලට පේටන්ට් අයිතිය අත හරින්න යෝජනා කරන බව. බයිඩන් කිව්වා තමන් ඊට සහාය දෙනවා කියලා. ඒ යෝජනාවට එකඟ නොවන සමාගම්ලවලට එරෙහිව නීතිමය පියවර ගන්නත් බයිඩන් පරිපාලනය කතාබහක යෙදුණා. මේ සාකච්ඡා මුලින්ම ඇති වුණේ මැයි මාසෙ.
එහෙ මේ අදහස මතුවුණේ මෙහෙ දේශපාලකයො සහ ඔවුන්ගෙ ගජමිතුරො එන්නත් සහ අනිකුත් දේවල් ආනයනයෙන් ලාබ උපයන කාලෙ.
ලෝක පරිමාණ වසංගත වෙනුවෙන් එන්නත කවුරු හැදුවත් ඒවාගෙන් උපරිම ලාබ ලැබිය හැකි පේටන්ට් අයිතිවාසිකම් අත්හැරීම හෝ ඒ පේටන්ට් නීති වෙනස් කිරීම හෝ කතිකාව ලෝකයේ අනික් රටවල් ගත්තෙ නෑ. ජිනීවාවල ගිය කවුරුත් මේවා ගැන කතා කළ බවක් දැක්කෙ නෑ. අපේ කට්ටිය මෙහෙ කරන දේවල හැටියට එහෙ ගිහින් එන්නත ආශ්‍රිත දැනුම කවුරු සමගත් බෙදා ගැනීම මානව හිමිකමක් යැයි කියන්න බෑ.
කොරෝනා එන්නත් පිළිබඳ පේටන් අයිතිය මොඩර්නා, ෆයිසර් සහ ජොන්සන් සහ ජොන්සන් වැනි සමාගම්වලින් ඉවතට ගෙන ඒ එන්නත් ෆෝමියුලා සහ එන්නත් සාදන තාක්ෂණය පොදු මිනිස් දැනුමක් බවට පත් කරන්න කියන යෝජනාව ලෝක වෙළඳ සංවිධානය හමුවේ ඉදිරිපත් කරන්න මුල් වුණේ ඉන්දියා සහ දකුණු අප්‍රිකාව. හැබැයි ඔය අස්සෙ ඇමරිකාවට වෙන හිසරදයක් තිබුණා. ඒ තමයි ඇෆ්ඝනිස්ථානය. ඒ නිසා අර පේටන්ට් බලපත්‍ර ප්‍රශ්නෙ ටිකක් යට ගියා.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව ගෙනා යෝජනාවට ඒ කාලෙම සහාය දෙන්න ඉදිරියට ආවෙ නවසීලන්තය සහ ජපානය. රුසියාව සහ චීනෙත් මේ කාරණයට එකඟවීම තරමක් පුදුමය ඇති කරපු සිද්ධියක්. යුරෝපයේ ධනවත් රටවල් මාස කීපයකට කලින් වැඩේට එකතු වුණේ නෑ. දැන් තත්ත්වය කොහොමද කියල මම දන්නෙ නෑ. දැන් කොහොමත් මේ එන්නත් පේටන්ට් පිළිබඳ කතාව යට ගිහින් වගේ.
මේවා ඇත්තටම වැදගත් දේශපාලන අරගල. වෛද්‍ය විද්‍යා ජයග්‍රහණ කියන්නෙ සමාගම්වල ජයග්‍රහණයක් නෙමේ පොදු මානව ශිෂ්ටාචාරයේ ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණ කොහේ සිද්ධ වුණත් ඒවා කාටත් අයිතියි. අපිත් ධම්මික පැණිය, හාස්කම් මුට්ටි ආදිය පස්සෙ නොයා ඒ වගේ වැදගත් මානව අරගලවලටයි දායක විය යුත්තෙ. එවැනි සංවාදවලට දායක වෙන්න පුළුවන් අය තමයි අපි බලවත් රටවල තානාපතිල විදියට එහෙම ස්ථානගත කරල තියන්න ඕනෙ. දේශපාලන හෙංචය්යො නෙමේ.
ඇමරිකාව ධනවාදී රටක් වුණත් මේ එන්නත පිළිබඳ පේටන්ට් අයිතිය අත හරින්න කියලත්, එන්නත හදන විදිය තව අයට කියල දෙන්න කියලත් බලපෑම් කිරීමේ නීතිමය බලය ජෝ බයිඩන්ට්ට තියෙනවා. ඩිෆෙන්ස් ප්‍රඩක්ෂන් ඇක්ට් කියල පනතක් තියෙනවා ඒ වැඩේට. ඒක ඇමරිකාවෙ ජාතික ආරක්ෂාව පිළිබඳ පනතක්. වංසගතය ඒ රටේ ජීවත්වන ජනයාගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වන නිසා ජනාධිපතිට පුළුවන් ඒ පනත බලගන්වන්න.
හැබැයි ඖෂධ සමාගම් කියන්නෙ ආණ්ඩුවලටත් වඩා බලවත් අධිරාජ්‍යයන්. ඒකයි මේ වගේ අදහස් පොදු මිනිස් අරගල විය යුත්තෙ.
කොවිඩ් එන්නත විතරක් නෙමෙයි. කොවිඩ් රෝගය ආශ්‍රිත සියලු නිෂ්පාදනවල පේටන්ට් අයිතියෙන් නිදහස් කරන්න කියල ඇමරිකාවෙ ප්‍රගතිශීලි ජනයා කියන්න පටන්ගත්තා. ඒක ලෝක පරිමාව අපිත් අතට ගතයුතුව තිබූ සටනක්.
කොවිඩ් විතරක් නෙමේ. ඔය වගේ වසංගත තව එයි. ඒවාට මුහුණදීම සඳහා මනුෂ්‍ය දැනුම මගින් ඇති කරන සියලු නිෂ්පාදන පොදු මනුෂ්‍යයන්ට අයිතියි. ඒ දැනුමේ වාසිය ලැබිය යුත්තෙ එන්නත් සමාගම්වලට, එන්නත් ගෙන්වන දේශපාලන හෙංචය්යන්නට, ආසිරිලාට, නවලෝකලාට නෙමෙයි.
මේ සටන ලෝකයේ බලවත්ම රටවල් කැමැත්තෙන්ම පටන් අරන් තිබුණත් අපි ඒක අතට ගත්තෙ නෑ. හැබැයි තවමත් පරක්කු නෑ.
මේක මම සූම් සංවාදවලදි එහෙම කියපු කාරණයක්. ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ට ආරාධනා කරනවා තව ටිකක් කරුණු හොයා බලන්න.
No comments:
Post a Comment