Tuesday, December 21, 2021

අපේ හෘදයසාක්ෂියේ පවතින කහට පැල්ලමකට එල්ල වන සිනාවක එළියක් - ලියනගේ අමරකීර්ති

 

   උදේ පාන්දර මේ සටහන මම ලියන්නෙ තේ කෝප්පයක් බොමින්. මම කෝපි ලෝලියෙක් වුණාට උදේ ආරම්භ වෙන්නෙ තේ කෝප්පෙන්. කෝපිවලට අපි “කහට” වගේ වචනයක් සම්බන්ධ කරල නෑ. කෝපි විශාල වතු විදියට වගා කිරීම නතර වුණත් අපේ හැම පළාතකම හැම ගෙදරකම වගේ වවාගන්න දෙයක් බවට පත් වුණා. ඒ නිසා වෙන්න ඇති කහට වගේ වචනයක් ගෑවිලා නැත්තෙ.




තේවලට කහට කියන එකේ මොකක්දෝ ආදරයක් තියෙනවා වගේම මොකක්දෝ කහටකුත් තියෙනවා. හිතේ කහටක්. වරදකාරී හැඟීමක් වගේ දෙයක්. ඒක ස්වභාවිකම අපි තුළ නැති වුණත් තේ කහට ප්‍රදර්ශනයේ ඡායාරූප නම් ඒ වරදකාරී හැඟීමේ කහට අප තුළ ඇති කරනවා. විවිධ පළාත්වල පැවැත්වුණ ඒ ප්‍රදර්ශනයේ ඡායාරූප දැන් පොතක් විදියට පළ කරලා තියෙනවා.

මේ වැඩේ හරි නියම වැඩක්. වතුකරයේ තරුණ දරුවන්ට ඡායාරූප කලාව පිළිබඳ වැඩමුළු තියලා ෆොටෝ ගන්න හැටි එයාලට කියල දීලා. තමන්ගෙ ජීවිතේ විවිධ අවස්ථා ෆොටෝ අරන් තියෙන්නෙ එයාලමයි. ඒ නිසා ඒවා කොළඹින් යන අයිතිවාසිකම් පර්යේෂකයන්ගේ හෝ එන්ජීඕ ක්‍රියාකාරිකයන්ගේ හෝ එක ඡායාරූපයෙන් නිර්ධන පන්තිය බේරාගන්නට තැත් කරන වාමාංශිකයන්ගේ හෝ දූරස්ත වූද ආංශික වූද නිරීක්ෂණ නෙමෙයි. මේ ක්‍රමවේදමය ප්‍රවේශය නිසා සාධනීය ලක්ෂණ කීපයක් එනවා.

එකක් තමයි ඡායාරූපවල ජීවිත රොමෑන්තික සෞන්දර්යකරණයකට ලක් නොකිරීම.

දෙවැන්න තමයි ඡායාරූපවල ඉන්න මනුෂ්‍යයන් හුදු වින්දිතයන් පමණක් බවට පත් නොකිරීම.

තුන්වැන්න දෙවැන්න නිසා ඇති වන්නෙ. ඒ තමයි තමන්ට උරුම වූ ජීවිතය තුළ වුවත් මනරම් සිනාවක් නගා ජීවත් වන මනුෂ්‍ය ප්‍රාණය.



කඳුකරයේ සීතල තුළ අනාරක්ෂිත ලෙස ජීවත්වීම නිසාත්, හොඳ සෞඛ්‍යමය පැවතුම් නුහුරු නිසාත් බෙහෙවින් කර්ශව ගිය, කාලගුණයේ ප්‍රහාරයෙන් අසරණ වූ ශරීර මේ කම්කරුවන්ට උරුම වෙනවා ඔවුන්ගේ ජීවිතවල අග හරියෙදි. ඒත් ඒ ශරීර තුළින් විනිවිද මතුවන දීප්තිමත් ඇස්, පියකරු සිනාව වැඩවසම් තාලයේ තේ කර්මාන්තයටත්, අකාරුණික කාලගුණයටවත් මනුෂ්‍ය ප්‍රාණය බොඳ කර දමන්නට බැරි බව කියනවා.

හතර වැන්නත් ඒකටම සම්බන්ධයි. ඒ තමයි ශතවර්ෂ ගණනක් ගත වෙලත් මේ වතු කර ජනයාගේ ජීවිතය අනුවේදනීය ලෙස හසු වීම.

ඒ නිසාම අර මනරම් සිනා අපේ හදවත කීරි ගස්සන තරම් බරයි.




පස්වැනි කාරණයක් තියෙනවා. ඒක මෙහෙමයි: මනුෂ්‍ය සංස්කෘතිය ගැන ලංකාවේ බොහෝ කතාවලදි වැවයි දාගැබයි, පන්සලයි කෝවිලයි, පල්ලියයි කේන්ද්‍රකරගත්තු කතාබහක්. ඒ ඒ ජනකණ්ඩායමේ ඉහළ මාලයේ මිනිස්සු තමයි සංස්කෘතියේ ධාරකයො විදියට අපිට පේන්නෙ.

රේමන්ඩ් විලියම්ස් අර කල්චර් ඉස් ඕඩිනරි හෙවත් සංස්කෘතිය යනු සාමාන්‍ය දෙයක් කියල 1950 ගණන්වලදි කියපු කියුම දේ අපිට තවමත් තේරිලා නෑ.

පුංචි ලයින් කාමරයක වර්ග අඩි කීපෙක ජිවිතයක් තුළ වුවත් සංස්කෘතිය පවතින බව මේ ඡායාරූපවලට ලස්සනට හසු වෙනවා. 

ලයින් කාමරේ මුල්ලක ලිපගල් තුනක් උඩ කෑම හැදෙන තැන ත්‍රිපිටකයක්, බයිබලයක්, කුරානයක් නොතිබෙන්න පුළුවන්. ඒත් එතන සංස්කෘතියක් තියෙනවා.


ඡායාරූප ගැන වචනයෙන් ලියන එක ලේසි නෑ. 

මේ තරම් බලසම්පන්න ඡායාරූප එකතුවක් මං කාලෙකින් දැකල නෑ. 

මේ එකතුව පළ කළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කරල තියෙන්නෙ ඓතිහාසික වැඩක්.







2 comments:

  1. ඒ දරුවන්ගේ ඇහැ ඉතා තියුනුයි, ඉහලයි, නැවුම්. කෝණය, වර්ණ යොදාගැනීම, ෆ්‍රේමින් පවා ඉහළ මට්ටමක තියෙනවා.

    ReplyDelete
  2. ජීවිතය විනිවිද දකින නිර්මාණ .අපූරුයි .

    ReplyDelete