Saturday, December 25, 2021

චිලියේ ළාබාලම ජනාධිපතිවරයා බොරික්: ආස්වාදය සහ අභියෝග - ලියනගේ අමරකීර්ති

 





තිස්පස් හැවිරිදි ගේබ්රියෙල් බොරික් චිලියේ ජනාධිපතිවරයා ලෙස වැඩ ආරම්භ කරන්නේ ලබන අවුරුද්දේ මාර්තු 11 වෙනිදාය.  සුපරුදු වේගවත් ආකර්ෂණීය කතා විලාසයෙන් යුතුව ඔහු තම ජයග්‍රහණයෙන් පසුව කළ පළමු කතාව සන්තියාගෝ නගර මධ්‍යයෙහි දැවැන්ත වේදිකාවක් මත දී පැවැත්වීය. කතාව අසන්නට දස දහස් ගණනක් නගරයට රැස්වී සිටි අතර මිලියන ගණනක් දෙනා රූපවාහිනියෙන් එය නැරඹූහ. බොරික් කතා කළ වේදිකාව පිහිටියේ 1970 වර්ෂයේ සැප්තැම්බර් 4 වෙනිදා සැල්වදෝර් අය්යන්දේ ප්‍රථම සමාජවාදී ජනාධිපතිවරයා ලෙස මෙවැනිම කතාවක් කළ ස්ථානයට නුදුරිනි. අය්යන්දේට සිය පාලනය කරගෙන යා නොහැකි විය. සීඅයිඒ සහායද ඇති කුමන්ත්‍රණයකින් ඔහුගේ පාලනය බිඳ වට්ටන ලදී. අය්යන්දේගේ ජීවිතයද නැති විය. හැත්තෑව දශකය වන විට පැවති සීතල යුද්ධ දේශපාලනය අවසන් වී ඇති බැවින් බොරික්ගේ දේශපාලන අනාගතය කෙසේ වේද යන්න අපට බලා සිටින්නට සිදුවනු ඇත.

  මිලියන 46.6ක් හෙවත් 55.8 %ක් ඡන්ද ලබා බොරික් ජනාධිපතිවරණය ජයගත්තේය. එහෙත් ඔහුගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන්නේ තනි පක්ෂයක් නොව සන්ධානයකි. 

  බොරික් ජනාධිපතිවරණය ජයගත් ආකාරය සිත්ගන්නා කතා පුවතකි. චිලියේ ජනාධිපතිවරණය වට දෙකකින් පැවත්වේ. බොරික් පළමු වටය ජයගත්තේ නැත. එය දිනුවේ දැඩි දක්ෂිණාංශිකයෙකු වන හොසේ අන්තෝනියෝ කාස්ට්ය. මෑත කාලීන අතීතයේදී ජනාධිපතිවරණයෙහි දෙවන වටය දිනා ඇත්තේද පළමු වටය දිනූ අපේක්ෂකයාමය. 



 මෙවර තත්ත්වය වෙනස් විය. එය සිදුවූයේ මෙසේය: පළමු වටයෙහි තමා ගැනම වූ අධිතක්සේරුව අත්හළ බොරික් දක්ෂිණාංශික නොවන මැද සහ වම අතර විසිරුණු ආර්ථික අදහස් දැරූ පළ පුරුදු ආර්ථික විද්‍යාඥයන්ගේ උපදෙස් ලබා ගත්තේය. තමාගේ කතිකාවෙහි වූ සීමාන්තික වාම ස්වරූපය අත් හැර ඊට මධ්‍යස්ථ ස්වරූපයක් දුන්නේය. රිකාඩෝ ලාගෝස් සහ මිචෙල් බැචලේ වැනි හිටපු ජනාධිපතිවරුන් තමන් වෙත දිනාගත්තේය. බොරික් මීට කලින් පැරණි වමට අයිති වූ ඒ ජනාධිපතිවරුන්ගේ දේශපාලන කටයුතු දැඩිව විවේචනය කළ කෙනෙකි. මේ පැරණි වම සහ නව වම අතර දීගය හරි යන බව පෙනිණි.

කවුරුත් විශ්වාස නොකළ පරිදි දෙසැම්බර් 19 වෙනිදා ජනාධිපතිවරණයෙන් බොරික් ජයගත්තේය.

                                       අභියෝග                    

දැනට තත්ත්වය නරක නැත. එහෙත් ඔහු අයත් සන්ධානයට චිලියේ කොංග්‍රස් සභාවේ බහුතරය නැත. ඒ නිසා ඔහු යෝජනා කර ඇති විශ්‍රාම වැටුප්, සෞඛ්‍යය සහ බදු සංශෝධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට ඉමහත් දේශපාලන ප්‍රඥාවක් අවශ්‍ය වන්නට පුළුවන. තමන් රට පාලනය කරන්නේ තමන්ට ඡන්දය අය වෙනුවෙන් පමණක් නොව සියලු චිලී ජාතිකයන්ගේ යහපත වෙනුවෙන් යැයි බොරික් සිය ආරම්භක කතාවේදී කීවේය. එහි යම් දේශපාලන ඉඟියක් ඇත. ඒ නම් ඔහුගේ සන්ධානය පාර්ලිමේන්තුව තුළදී තවත් පුළුල් කිරීමය. මධ්‍යස්ථ වාමවාදී ආර්ථික සැලැස්මකට සහාය දීමට කැමති ඇතැම් කොටස් ඔහු සමග එකතුවීමේ ලකුණු පෙනේ.

ව්‍යාපාරික ප්‍රජාව යම් නොසන්සුන්තාවක් පෙන්වන බව පෙනේ. කොවිඩ් 19 වසංගතය නිසා ආර්ථිකය අයහපත් වී ඇත. විචාරකයන් කියන හැටියට ප්‍රධාන ආර්ථික මර්මස්ථානවලට මේ අර්බුදය කළමනාකරණය කළ හැකි අය පත් කිරීමට බොරික්ට සිදු වේ. චිලී රාජ්‍යය ලතින් ඇමරිකාවේ වඩාත්ම සංවර්ධිත රට බවට පත් කරන්නට දායක වූ නිලධාරීහු තවම සිටිති. බොරික් ඒ අය වෙත ළං වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කලින් ඉන්දියාවේ චිලී තානාපතිවරයා වූ ඔර්හේ හයින් දැන් ඇමරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයෙකි. ඔහු කියන හැටියට චිලී රාජ්‍යය පසු ගිය දශකයක පමණ කාලයක පැවති අර්බුද වෙතින් ඉවතට ගෙන ඊ ළඟ පියවර වෙත ගෙනයාමට බොරික්ට හැකියාව ඇත. 

                                               ආර්ථික අසමානතාව

වරප්‍රසාදිත සුළුතරයක් චිලියේ සම්පත් භුක්ති විඳීමට එරෙහිව වගකීමෙන් සටන් කරන බව බොරික් අගනුවර මධ්‍යයෙහි කළ කතාවේදී කීවේය. චිලියේ ජාතික ධනයෙන් 25%ක් භුක්ති විඳින්නේ ජනගහණයෙන් 1%ක් වන සුළු තරයකි. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි දත්ත අනුවය. ඒ අංකවලින් කියවෙන දේ ජනජීවිතයේදී ප්‍රකාශ වන්නේ ඉතා නරක ආකාරයෙනි. මේ ආර්ථික අසමානතාව නැති කිරීම බොරික්ගේ එක් ප්‍රධාන පොරොන්දුවකි.

වෙළඳපොළ ධනවාදය චිලියෙහි මෑත කාලීන ආර්ථික වර්ධනයට දායක වුවද ඉතා දැඩි ආර්ථික අසමානතාවක් ඇති කළේය. නව ලිබරල්වාදය වළලා දමන බව බොරික් සිය මැතිවරණ ව්‍යාපාරයේදී කීයේ ඒ නිසාය. 

ආර්ථික අසමානතාව නැති කිරීම වූකලි ලංකාවේ ප්‍රගතිශීලි දේශපාලනයෙහි යෙදෙන අපගේද ප්‍රමුඛ සටන් පාඨයක් විය යුත්තකි. අප රට ඇති නැති පරතරය ඇස් පනා පිට දකින්නට ලැබීම වසංගතය නිසා සිදුවූ අනපේක්ෂිත වාසියකි.

එහෙත් දුප්පත් ජනයා වෙත රටෙහි ආර්ථික වාසි බෙදා හැරීම පහසු කටයුත්තක් නොවේ. ලෝක ධනේශ්වර පද්ධතිය සෑදී ඇත්තේ ඒ වෙනුවෙන් නොවේ. බොරික්ගේ ජයග්‍රහණයෙන් පසුව චිලී මුදල් ඒකකය වන පෙසෝව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 10%කින් පහළ බැස්සේය. කොටස් වෙළඳපොළ පහළ ගියේය. පාරිසරික විනාශ නවත්වන පතල් ව්‍යාපෘති නතර කිරීම, ධනවතුන්ට පැන වෙන බදු වැඩි කිරීම නිසා ආයෝජකයෝ කළබල වී සිටිති. ලෝකයේ හැටි එහෙමය. මේ අර්බුද කළමනාකරණය කිරීමට මැතිවරණ ජය ගැනීමට එහා ගිය දේශපාලන ප්‍රඥාවක් තිබිය යුතුය. සියලු ප්‍රගතිශීලීන්ගේ දේශපාලන අධිෂ්ඨානය තිබේ නම් ඒවා ජයගත නොහැකි අභියෝග නොවේ. තිස්පස් හැවිරිදි ජනාධිපතිවරයාට බෙහෙවින් පරිණත දේශපාලනඥයෙකු බවට වහා පත්වන්නට සිදු වනු ඇත. 

බොරික්ට ජයග්‍රහණය අත්පත් කරදුන් චිලී ජනතාව විසින් පරාජය කරන ලද්දේ ඒකාධිපති පිනෝචේට වන්දනා මාන කළ දක්ෂිණාංශිකයෙකි. දැඩි පාලනයක් ගැන කතා කළ කෙනෙකි. එසේම 2019-2020 කාලය යනු චිලියේ දූෂණය රජ කළ කාලයකි. බොරික් දූෂිත දේශපාලකයන්ට එරෙහි දැඩිතර සටන් පාඨ තම මැතිවරණ ව්‍යාපාරයට එක් කළේය. චිලියේ ජනයා අතර ආර්ථික අසමානතාව සහ දූෂණය අතර සම්බන්ධයක් ඇති බව ඔහු තර්ක කළේය. මෙය ලංකාවේ අපටද පණිවිඩයකි.

තවමත් ලංකාවේ නැති අංගයක්ද චිලී ජනාධිපතිවරණයෙන් පෙනිණි. ඒ මෙයයි: බොරික් අවුරුදු තිස් පහක තරුණයෙකු වූයේ පමණක් නොව ඔහුගේ දේශපාලන ව්‍යාපාරයෙහි ශක්තිය වූයේද තාරුණ්‍යයයි. තරුණ තරුණියෝ ක්‍රියාශීලී ලෙස මැතිවරණ ව්‍යාපාරයට සහභාගි වූහ. පරම්පරා දෙකක් යා කරන පාලම බවට පත් වන්නට බොරික් සමත් විය.

ගතානුගතික දක්ෂිණාංශික බිලියන පතියෙකු වූ හිටපු ජනාධිපති සෙබස්ටියන් පිනේරාගේ යුගය අවසන්ව හිටටපු ශිෂ්‍ය නායක ගේබ්රියෙල් බොරික් අලුත් අවුරුද්දේදී නව ජනාධිපතිවරයා ලෙස වැඩ අරඹයි. මෙය ලොව පුරා ප්‍රගතිශීලීන්ට යම් ආස්වාදයක් දෙන සිද්ධියක් වන බවට ලකුණු දැනටමත් පළ වී තිබේ.

එහෙත් චිලී ටුඩේ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ බොරික් වැන් ඩර් ස්පෙක් කියන හැටි පරාජිත දක්ෂිණාංශික අපේක්ෂක කාස්ට්ගේ දක්ෂිණාංශික දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ ඇති බලය නිසා බොරික්ගේ සමාජවාදී ප්‍රතිසංස්කරණ බෙහෙවින් මධ්‍යස්ථ වීමට ඉඩ තිබේ. 




  


No comments:

Post a Comment