ඇල්බොරාදා අශෝක හඳගමගේ අලුත්ම සිනමා කෘතියයි. එය දෙසැම්බර් 29 වෙනිදා මහනුවර සිටි සෙන්ටර් සිනමා සංකීර්ණයේදී ප්‍රදර්ශනය වූයේ ප්‍රචාරක දර්ශනයක් ලෙසය. එම දර්ශනය හඳගමගේ චිත්‍රපටයේ මංගල දර්ශනයක් පමණක් නොව සිනමා ශාලා වැසුණු මළ ගිය නගරයක් බඳු මහ නුවර විවෘත වූ සිනමාශාලා තුනකින් සංකේතවත් කෙරෙන අලුත් සංස්කෘතික ගමනක ආරම්භයක්ද විය. ඇල්බොරාදා වැනි අපේ චිත්‍රපටද මහනුවර ප්‍රදර්ශනය විය යුතුය. නගර කේන්ද්‍රය යන අර්ථය ඇති සිටි සෙන්ටර් සැබැවින්ම නගර කේන්ද්‍රයක් වන්නේ විවිධ තේමාවලින් යුතු හොඳ සිනමා කෘති කිසිම සංස්කෘතික වාරණයකින් තොරව ඒ කේන්ද්‍රයෙහි ප්‍රදර්ශනය වන්නේ නම්ය.
ඇල්බොරාදා බොහෝ අංශවලින් අශෝක හඳගමගේ සිනමා අත්සන සහිත කෘතියකි. එහි සිනමාත්මක අංග ගැන ඒවා දන්නා විචාරකයන් කතා කරනු ඇත. එවැනි සිනමා විචාරකයෝ එදාද පැමිණ සිටියහ. සිනමා ප්‍රදර්ශනය අවසානයේ පැවති ඉතා කෙටි සාකච්ඡාවේදී ඇතිපොල මංගල හිමියෝ ඒ සිනමා කෘතිය රූගත කළ කැමරාවේ සයිස් එක ගැන පවා කීහ. හඳයාද “ම් ම් ගගා” ඒවාට හූමිටි තිබ්බේය. ඒවා නොදන්නා මට මේවා පවා ලියන්නට එදාම බය සිතිණි. එදා එහි පැමිණ නොමිලේ සිනමා කෘතිය බැලූ මට වඩා මේවා ගැන දන්න සිනමා විචාරකයෝ තවමත් නිහඬව සිටිති. අනෙක් මනුෂ්‍යයන්ට අපහාස උපහාස කරන්නට මනෝ විශ්ලේෂණයේ කෑලි භාවිත කරන විචාරකයන් 'හඳ-ගම' වටා පොඩි පොඩි බංකර් අටවාගෙන සිටින නිසා න්‍යායික මෝටාර්වලට බයෙන් බොහෝ දෙනෙකු නිහඬව සිටින බවද මට කනින් කොණින් ඇසිණි.
ඒ නිසා මේ සටහන ඒ කෘතිය ඇසුරින් මා සිත පහළ වූ කරුණු කිහිපයක් ගැනය. දේවදූතයන් පය තියන්නට වත් බය අඩවිවල මෝඩයන් පිනුම් ගසන්නේ යැයි කියමනක් තිබේ. විචාරක දේවදූතයන් තම බුද්ධිමය ස්වර්ණ මංජුසාවලට ගැඹුරු සිතිවිලි බිඳෙන් බිඳ පෙර පෙර එකතු කරන අතර මම පළමු පිනුම ගසමි.
පාපොච්චාරණයක ඉරණම
මෙය අර්ථ තල ගණනාවක කතාබහට ගත හැකි සිනමා කෘතියකි. ඊට මූලික වශයෙන් විෂය වන්නේ 1929 දී පමණ චිලියේ කොන්සුල්වරයා ලෙස පබ්ලෝ නෙරූදා ලංකාවේ ගත කළ සමයෙහි සිදු වූ දෙයකි. තරුණ, සෙල්ලක්කාර නිලධාරියෙකු ලෙස ආසියාවේ වසර කිහිපයක් ගත කළ ඔහු ලංකාවේ ගත කළ කෙටි කාලය තුළ නෙරූදා තමා වාසය කළ වැල්ලවත්තේ නිවසෙහි වැසිකිලිය පවිත්‍ර කිරීමට එන දුප්පත් දෙමළ (සක්කිලි) දෙමළ තරුණියක ලිංගික වශයෙන් හිංසනයට ලක් කිරීම සිනමා කෘතියට විෂය වේ. මේ ආන්දෝලනාත්මක සිද්ධිය සහ ඉන් පසු සිදු වූ දේවල් ගැන පුරාණෝක්ති මට්ටමේ කතා ගැන නොයෙක් දෙනා ලියා ඇත. මහාචාර්ය සරත් චන්ද්‍රජීවද සිංහල-ඉංග්‍රීසි දෙබසින්ම අගනා ලිපියක් ලිව්වේය. මේ සිනමා කෘතිය ලෝකය තුළත් විශාල ආන්දෝලනයක් ඇති කරන්නට ඉඩ තිබේ. ජනාධිපති බොරික්ගේ චිලී ජනරජය අපෙන් තේ ටිකක්වත් මිලට ගැනීම නවතා දමාවිදැයි මා දන්නේ නැත. (ඉසබෙල් අය්යන්දේගේ නවකතාවල සිලෝන් ටී ගැන සඳහන් අවස්ථා මට මතක ඇත.)
හඳගමගේ සිනමා කෘතියෙහි කේන්ද්‍රීය සිද්ධිය මෙයයි. සම්පූර්ණයෙන්ම පාහේ වැල්ලවත්තේ නෙරූදාගේ නිවසෙහිම රූගත කෙරෙන සිනමා කෘතියෙහි සිද්ධි සියල්ල වර්ධනය වන්නේ නෙරූදා සිය මතක පොතෙහි එක ඡේදයකින් ලියන අර ලිංගික හිංසනය කරාය. පසු කලෙක නොබෙල් ත්‍යාගලාභියෙකුද අමරණීය කීර්තියකින් යුතු කවියෙකුද වන නෙරූදා අදත් අප සලිත කරන ආදර කවි ලිව්වේය. විසි වෙනි සියවසේ ප්‍රකටම ආදර කවියා ඔහු විය හැකිය. ආදරය ශරීරයට දෙන ප්‍රබෝධයද හදවතට දෙන ශෝකයද දෙකම ඔහුගේ කවිවල කියවේ. ආදරය ගැන ශෝකී වූද මිහිරි වූද අමරණීය කවි කරා වර්ධනය වූ ජීවිතමය අතීත අමුද්‍රව්‍ය කොතරම් අප්‍රසන්නද අශිෂ්ටද විය හැකිද යන්න හසු කර ගැනීම හඳගමගේ අරමුණ වන්නට පුළුවන. මේ වූකලි ජනප්‍රිය මනෝ විශ්ලේෂකයන්ට ප්‍රිය වූ කටගැස්මකි. ශිෂ්ටාචාරය පිටුපස ඇති අශිෂ්ටත්වයේ කතාවද, කලාවෙන් උත්තෘෂ්ටකරණයට අවලස්සන ආශාවේ කතාවද, මනුෂ්‍ය සංස්කෘතිය යැයි ප්‍රකාශ වන දේ පිටුපස ඇති සත්ත්වය යථ යන්නද මේ යැයි දෑත් ඔසවා කියන්නට මෙය හොඳ අවස්ථාවකි. ඕනෑම මනුෂ්‍ය ජීවිතයක, විශේෂයෙන් බලය හා සම්බන්ධ මනුෂ්‍ය ජීවිතයක, මෙවැනි අවස්ථා තිබේ. එහෙත් නෙරූදා මෙන් අවංකව තම අශිෂ්ටකම් ගැන එක ඡේදයක් හෝ ලියන්නේ ටික දෙනෙකි. කොහොමටත් වාස්තවික සාක්ෂි අඩුකමේ දුප්පත්කම සදාතනික ප්‍රශ්නයක් වූ මනෝ විශ්ලේෂකයෝ මෙවැනි හෙළිදරව් කිරීම් වහා අල්ලා ගනිති.
මෙය හුදෙක් නෙරූදාගේ ස්ත්‍රී ලෝලය හෝ පිරිමින්ගේ පොදු අශිෂ්ටකම හෝ උත්කෘෂ්ට කලාව පහළ වන බිමෙහි ඇති අමුද්‍රව්‍යමය අශිෂ්ටත්වය ලෙස හෝ පමණක් දැකිය හැකිද? ඒ කාරණය ෆ්‍රොයිඩ්ගේ සිට ඔහුටත් වඩා අතිසරල මනෝවිශ්ලේෂකයන් දක්වා කතා කර ඇති නිසා ඒ ටිකෙහි කලාවෙන් නැවත නැවත කිව යුතු අමුත්තක් නැත.
ආසියානු ”ගුප්ත” ලෝකය
යටත් විජිත යුගයෙහිදී ආසියාව යුරෝපීය කතිකාවල නිරූපණය වූයේ අමුතු ගුප්ත ලෝකයක් ලෙසටය. ඒ යටත්විජිත ලෝකය වූ කලි තරුණ යුරෝපීය යටත් විජිත නිලධාරි පිරිමියාට නිලධාරිමය තරුණ වියෙහි වීරවික්‍රමාන්විත කටයුතුවලට වේදිකාවකි. යුරෝපීය තාර්කික නූතනත්වයෙන් පිට පැන අතාර්කික ගූඪත්වය සමග කාලයක් ගෙවන්නට අභ්‍යාස භූමියකි. එවැනි චරිත ගණනාවක් ගැන විස්තර නෙරූදාගේ මතක පොතෙහි එයි. නෙරූදා ලංකාවට එන්නට පෙර ඉන්දියාවේදී මුණ ගැසුණ ඇමරිකානු පිරිමියෙක් ආගම් ඔස්සේ ආසියාවට පැමිණ ආසියානු ආගම්වලින් කෑලි ටිකක් අල්ලාගෙන, ආසියානු ගැහැනුන් කීපදෙනෙකුම ලිංගික වශයෙන් දඩයම් කරගත්තෙකි. යටත් විජිත ලෝකය යනු සුදු පිරිමියාට නොයෙක් ආකාරයේ වික්‍රමවලට වේදිකාවකි. තමන්ටම කියා යටත් විජිතයක් නැති, තමනුත් යටත් විජිතයක්ම වූ චිලී රාජ්‍යය විසි වෙනි සියවසේ කොන්සුල්වරයෙකු ලංකාවට එවන්නේ ඇයි? ඒ ගැනද නෙරූදා සිය මතක පොතෙහි ප්‍රශ්න කරයි.
නාට්‍යමය අවසන් ලිංගික දර්ශනය වෙත හඳගමගේ ප්‍රධාන අවධානය යොමු වුවත් මගේ සිත ගියේ වෙනත් දෙයක් වෙතය. නෙරූදා ලංකාවට පැමිණි වහාම සාදයකට යන අතර යක්ෂ වෙස් මුහුණක් පිටෙහි එල්ලාගත් කොලුවෙකු දකියි. මෙය සැබෑ දර්ශනයක්ද ආසියානු ගුප්තභාවය පිළිබඳ නෙරූදාගේ මනසෙන්ම මතු වන්නක්ද විය හැකිය. ඒ කොලුවා ලුහු බැඳ යන ඔහුට ස්වදේශික ජන පිරිසකගේ සංගීතයක් ඇසේ. ඔහු සංගීතයද හඹා යයි. එදින රෑ සාදය බි්‍රතාන්‍ය ජාතිකයන් ඇතුළු යුරෝපීය ආසියානු ප්‍රභූ පිරිසක් සමගය. ඒ අමුතු දේශීය සංගීතයෙහි ස්වභාවය ගැන නෙරූදා ඔවුන්ට කියයි. එහෙත් ලංකාවේ කිසිම ජනකණ්ඩායමකට සංගීතය වැනි උසස් කලාවක් ඇතැයි යටත්විජිත නිලධාරීන්ට පෙනෙන්නේ නැත. ඔවුන්ට අනුව මේ වූකලි කලාවක් නැති දේශයකි. ලංකාව නමැති අශිෂ්ට දේශයට ශිෂ්ටත්වය දීම යටත්විජිතවාදියාගේ උරමත ඇති වගකීමය යන්න යටත්විජිත කතිකාවේ එක් තේමාවකි.
දේශීය ජනයාට කලාවක් ඇත, සංස්කෘතියක් ඇත යන විශ්වාසය දරන, යටත් විජිතවාදයටද විරුද්ධ නෙරූදාට ඒ සාදයේදී ලයනල් වෙන්ට් මුණ ගැසෙයි. ඔහුද කලාව සහ සංස්කෘතිය ගැන අධිපති බි්‍රතාන්‍ය අදහසට එකඟ නැත. නෙරූදා සහ වෙන්ට් අතර මිත්‍රත්වය ගැන නෙරූදාගේ මතක පොතෙහි බොහෝ විස්තර එයි. එහෙත් හඳගම ඒ මිත්‍රත්වය භාවිත කරන ආකාරය ප්‍රමාණවත් නැත. ලංකාවට නූතන කලා කතිකාව ගෙන ප්‍රධාන බුද්ධිමතෙකු වන වෙන්ට් චිත්‍රපටයෙහි එන්නේ ෆොටෝ අල්ලන කැමරාකාරයෙකු ලෙස පමණි. නෙරූදාගේ මේ ජීවිතය ගෙවූ අවධිය, ඒ ජීවිතයෙහි ස්වභාවය ආදිය ගැන ඉඟි සපයන මිත්‍ර සංවාදයක් වත් නැත. ඊට හේතුව සිනමාකරුවා වේදිකා නාට්‍යකරුවෙකු සේ නෙරූදාගේ වැල්ලවත්තේ නිවසටම සිමා වීමය. මේ අවධියෙහි සමාජ විද්‍යාවට වඩා ප්‍රධාන චරිතයෙහි මනෝ විද්‍යාව ගැන සිනමාකරුවාගේ අවධානය නිසාය.
නෙරූදා ලංකාවට පැමිණ ඇත්තේ බුරුමයේදී ඔහු හා විසූ ආදරවන්තියකගෙන් බේරෙන්නටය. ඇය නෙරූදා මත අධිකතර ස්වාමීත්වය පෑ ඊර්ෂ්‍යාකාර ආදරවන්තියක ලෙස මතකපොතෙහි එයි. හඳගම ඇයගේ චරිතය භාවිත කරන ආකාරය සිත්ගන්නාසුලුය. ඇය හා සම්බන්ධ වරදකාරී හැඟීමද තමාගේම ස්ත්‍රී ලෝලය නමැති යක්ෂයාද සමග සටන් වදින්නට නෙරූදා තැත් කරන බවක් පෙනී යයි. මේ අවස්ථාවෙහි නෙරූදාගේ විඥානයෙහි තිබිය හැකි සංකීර්ණතා අපට සරල අර්ථකථනයක යෙදීම දුෂ්කර කරන්නට හඳගම තැත් කරයි.
1.ඒ වන විටත් තරමක් ප්‍රකට ආදර කවියෙකු මේ සිනමාපටයේ අප දකින ප්‍රධාන ස්ත්‍රීන් තිදෙනාගෙන් කාටවත් ආදරය කරන බවක් නොපෙනේ.
2. නෙරූදාගේ නිවස අසල සිටින දැන් වයස්ගත වෙමින් සිටින කාන්තාවක් කරුණාවෙන් නෙරූදා ගැන සොයා බලයි. ඔහු වෙත ළං වෙන්නට තැත් කරයි. නෙරූදා ඇය දකින බවක් වත් අපට පෙනෙන්නේ නැත. මේ නිහඬ අසල්වැසි ස්ත්‍රිය සිනමා කෘතියෙහි මා බෙහෙවින් සිත්ගත් චරිතයකි.
3. නෙරූදාට යටත්විජිතවාදය ගැන යම් විචාරයක් ඇත. යටත් විජිත නිලධාරී තන්ත්‍රයෙහි සහවේදනයෙන් තොර ජීවිතය ගැන විචාරයක් ඇත. එහෙත් ඒ විචාරය ස්වදේශිකයන් වෙත වූ කාරුණ්‍යයක් බවට පෙරළෙන්නේ නැත. ඉන්දියාව වැනි රටවල ඇති නිදහස් සටන් ලංකාවේ නොතිබීම ගැන නෙරූදාගේ අප්‍රසාදය මතක පොතෙහි එයි. එය සිනමා කෘතියෙහි එක දෙබස් කණ්ඩයක් ලෙස පමණක් ප්‍රකාශ වේ.
4. නෙරූදා මානසික වශයෙන් ස්ථාවර ජීවිතයක් ගත නොකරන බවද නිතර මත් පැනින් වියවුල් වූ සිතින් වසන බවද පෙන්වයි. එමගින් සිහිබුද්ධියෙන් යුතු ආචාරධාර්මික තර්කනය අදාළ නැති වූ මානසික තත්ත්වයක නෙරූදා සිටින බව සිනමාකරු අපට පෙන්වයි.
5. ආසියාව යනු දෙවියන් පිළිබඳ නොයෙක් අදහස්වලින් පිරී ඇති තැනකි. ඒ දෙවියෝද යටත් විජිත සූරාකෑමද එකට පවතිති. නෙරූදාගේ වැල්ලවත්ත නවාතැනේ එහි කලින් විසූ අය තබා ගිය දේවතා ප්‍රතිමාවක් ඇත. ඇය සහ කසලශෝධක තරුණිය අතර සංඥාර්ථවේදී සම්බන්ධයක්ද සිනමා කෘතියේදී ගොඩනැගේ. නෙරූදාගේ ලිංගික ප්‍රහාරය සිද්ධ වන්නේ ඒ දෙවඟනගේ වාසභවනය වන කුටියේය. ඇය එහි වැඩමා ගන්නේද නෙරූදාමය.
ඉහත කී සෑම අංගයක් ගැනම බොහෝ අර්ථකථන තිබිය හැකිය. ඒ සියලු අංග ගැන අවධානයෙන් සිනමා කෘතිය නැවත නැරඹීමද අවශ්‍ය වේ.
නෙරූදා වැසිකිලි සෝදන තරුණිය ලිංගික හිංසනයට ලක් කරන ලද පසු ඇගේ වැසිකිලි බාල්දිය හිස තබාගෙන යන දර්ශනය මගේ ප්‍රියතම දසුනකි. ඒ තරුණිය වෙත ලිංගික ප්‍රහාරය එල්ල කිරීම යනු නෙරූදාගේ යටත්විජිත නිලධාරිමය ආත්මය තමා තුළම මරා දැමීම වැන්නකි. ඉන් පසු අශුද්ධත්වයට පත් වන ඔහු ලංකාවෙහි පවත්නා සමාජ ස්ථරායනව අනික් පස හරවයි. තානාපති නිලධාරියා කසල ශෝධකයා බවට පත් වෙයි. චිලියෙන් ආවත් යටත් විජිත ලංකාවේ තානාපති නිලධාරියා කරන්නේ අධිරාජ්‍යයක කුණු සේදීමක් නොවේද? මේ ප්‍රචණ්ඩ ලිංගික ප්‍රහාරයෙන් පසු නෙරූදාගේ විඥානය මත පතිත වන අසූචි පැල්ලම ඔහුගේ හිස මත ඇති අසූචි භාජනයෙන් සංකේතවත් වේද?
ස්වදේශිකයා වෙත සම්පූර්ණ මනුෂ්‍යයත්වය පිරි නොනමන ව්‍යූහයක් වන යටත් විජිත ව්‍යූහයක් තුළ පිරිමි ආශාවේ උපකරණ බවට පත්වන්නේ ස්වදේශිකයා පමණද? මෙම සිනමා කෘතියෙහි එන ස්ත්‍රීන්ගේ ජීවිතවලින් පෙනෙන හැටියට යටත් විජිත ව්‍යූහය කවර ස්ත්‍රියකට වුව උරම කර දී ඇත්තේ කවර නම් ජීවිතයක්ද? සිනමා කෘතියෙහි එන නෙරූදා අසල්වැසි ස්ත්‍රියගේ නිහඬ ශෝකයෙහි කතාව තුළ ඇත්තේ මේ කාරණයමද?
නෙරූදා වාසය කරන වැල්ලවත්තේ නිවස පිහිටා ඇත්තේ වැල්ලේමය. එනම් මුහුදත් රටත් අතරමැද කලාපයකයි. ස්වදේශිකයාගේ අභ්‍යන්තරයටත්, මුහුදෙන් සංකේතවත් කෙරෙන විදේශයටත් අයිති නැති හුදෙකලා, වියලි පටු තීරයක චිලී කොන්සුල්වරයා වාසය කරයි. ඔහු පූර්ණ යුරෝපීයෙකු නොවන නිසා යුරෝපීය යටත් විජිත ව්‍යූහයට සම්පූර්ණයෙන් අයිති නැත. එහෙත් ඔහුට අඩු තරමින් ක්‍රියෝල් සුදු හමක් වත් ඇත්තෙකු නිසා ඔහු දුඹුරු ස්වදේශික ලෝකයටත් අයිති නැත. එය පෙන්වන දර්ශන කිහිපයක්ද වේ. ඒ අතින් මේ නෙරූදා යනු අතරමං වූ මිනිසෙකි.
එක්තරා තනි සිද්ධියක මනෝ විද්‍යාව වෙනුවට ඊට වඩා පළල් කලාපයක විහිදුණ කැන්වසයක් මත නෙරූදාගේ මේ අදාළ කාලයෙහි ජීවිතය සිනමාවට නැගෙනු දකින්නට මම ආසා කරමි. හඳගම කරන්නේ එවැනි වැඩක් නොවේ.
ස්ත්‍රීන්ට හෝ මනුෂ්‍යයන්ට මේ මොහොතෙහි අප අතින් සිදුවන වරද අමරණීය නිර්මාණ කොපමණකින්වත් නි-වරදක් බවට පත් කර වන්දි ගෙවිය හැකිද? සිය ජීවිතයේ පසු කලෙක ලියූ මතක පොතෙහි නෙරූදා මේ දෙමළ තරුණියට කළ හිංසනය ගැන හෙළි කර ඇතත්, එය හිංසනයක් බව පිළිගන්නා බවක් වත්, ඒ ගැන තැවෙන බවක් වත් පෙන්වන්නේ නැත.
මේ සිනමා කෘතියෙහි නෙරූදාගෙන් සහ අනික් අයගෙන් අප දකින පිරිමියා නමැති සතා යටත්විජිතවාදයෙහි නිර්මිතයක්ද නැති නම් යටත්විජිතවාදය යනු ඒ පිරිමියාගේ ආශාවේ ප්‍රක්ශේපණයක්ද? නැතිනම් ඒ දෙකම එකට පවතීද? ජිජෙක්ලා වෙතින් ෆැනොන් හෝ සයිද් වෙත මාරු වී නම් සිනමාකරුවාට මීට වඩා පෘථුල තේමාවක් හසු වන්නට ඉඩ තිබිණිද?
නෙරූදාගේ සේවකයා ලෙස රත්නයියා නම් දෙමළ චරිතය යොදාගෙන තිබීම හඳගම කර ඇති නිර්මාණාත්මක වැඩකි. එය නෙරූදාගේ මතක පොතෙහි විස්තර වනවාට වඩා වෙනස් දෙයකි. තනිකඩව ඒ නිවසෙහි වසන රත්නය්යා මගින් යටත් විජිතයෙහි ජනයා අතර ඇති උස්-පහත් භේද පෙනේ. එසේම ඔහුගෙන් කසල ශෝධක ස්ත්‍රීන් වෙත ලිංගික හිංසනයක් එල්ල නොවන්නේද කුල පාරිශුද්ධත්වය පිළිබඳ ඔහු තුළ ඇති විශ්වාසය නිසා යැයි කිව හැකිය. ඒ කුල භේදයට විරුද්ධ නෙරූදා විසින් ස්ත්‍රියක ලිංගික අපයෝජනයට ලක් කෙරේ. ඒ අතින් මෙය යටත් විජිත හෝ යුරෝපීය ලිබරල්වාදයේ සීමාවද අඟවයි.
හුදෙකලාව
ලංකාවෙහි ගත කලේ ඉතා හුදෙකලා ජීවිතයක් බව නෙරූදා මතක පොතෙහි ලියයි. ඒ තනිකම නැති කර ගැනීමට ඔහු ස්ත්‍රී දඩයමට අමතර තවත් දේ කර ඇත. එකල යටත් විජිත නිලධාරින් යෙදුණ වීරවික්‍රමයක් වූ අලි දඩයමට ඔහුද සහභාගි වූ බවට සාක්ෂි මතක පොතෙහි තිබේ. එහෙත් ඒවාද හසු වන පළල් කැන්වසයක ගෙතුණු එපික් කතාවක් කියන්නට නම් හඳගම හඳගම නොවී ප්‍රසන්න විතානගේ විය යුතුය. මෙය හඳගමගේ සිනමා අත්සන සහිත කෘතියකියි මා කලින්ම කීවේ ඒ නිසාය.
මෙවැනි සිනමා කෘති තවත් වරක් දෙකක් නැරඹිය හැකි වන පරිදි මෙම කෘතිය හැකි ඉක්මනින් ලංකාවේ ප්‍රදර්ශනය වනු දැකීම මගේ ආසාවයි. මහනුවර සිටි සෙන්ටර් සිනමා ශාලාවක මෙහි මහජන දර්ශනය ඇරඹෙන පළමු දවසේම මමද යමි.
මැල්කම් මචාඩෝ සහ රිතිකා කොඩිතුවක්කු කොතරම් නම් ජාත්‍යන්තර මට්ටමේ රංගන ශිල්පීන්දැයි මම එදා දර්ශනයෙහිදී දැක්කෙමි. ගුප්ත ආසියාවේ ලස්සන දූපතක ගෙවන දවස්වල නෙරූදාගේ විඥානයෙහි තාර්කික-අතාර්කික අඩවිවල අඳුරු කලාප අපේ ශ්‍රවණේද්‍රියට හසු කරන සංගීතයක්ද සිනමා කෘතියෙහි විය. එය නැවත ඇසිය යුතුය.
හ්ම්....
ReplyDeleteWish to watch the movie .
ReplyDeleteඇත්තෙන්ම හඳගම යනු හඳගමය.සින්හල සිනමාව ගැන අද අපට ගැම්මක් දෙන්නන්ගේ ප්‍රමුඛයෙකි.නිකවැරටිය වැනි ප්‍රදේශවල අපට කවදත් ලැබෙන්නෙ හීල් වෙලාය.නමුත් විචාරයන් ඇගයීම් කියවා ආශාවෙන් බලා සිටිමු.ඔබේ කිය්වීමද අප තුල ආශාවන් වඩවයි.
ReplyDeleteමෙවන් චිත්‍රපට සන්වාදයකට විවුර්තව මෙවන් ප්‍රදේශවල පෙන්වා මියයන ජනමනස පිබිදවීමට යමක් කල හැකිදැයි උත්සාහ කර බලමුද?