Tuesday, May 10, 2022

රාජපක්ෂලා සහ තවත් අය සොරා කෑ ධනය ආපසු ගත හැකිද? ලියනගේ අමරකීර්ති

 


       




     දූෂිත දේශපාලකයන් තම මව්රටවලින් සොරා කෑ ධනය ආපසු ලබා ගැනීම දුෂ්කර රාජ්‍ය තාන්ත්‍රික සේම ජාත්‍යන්තර නීතිමය අරගලයකි. එහෙත් එය අමාරුවෙන් වුවත් කළ හැකි දෙයකි. සොරාගත් ධනයෙන් යම් කොටසක් හෝ ආපසු ගැනීමද කළ හැකි දෙයකි. අපට එය කිරීමට අවශ්‍ය නම් දූෂණයට සැබැවින්ම එරෙහි ආණ්ඩුවක් තිබිය යුතුය. ඒ ආණ්ඩුවට අවංකව සේවය කරන නිලධාරි තන්ත්‍රයක් සහ අධිකරණ පද්ධතියක් තිබිය යුතුය. එසේම, එවැනි කැපවීමක් ඇති ආණ්ඩුවක් සාපේක්ෂ වශයෙන් දීර්ඝ කාලයක් බලයේ සිටීමද අවශ්‍ය වේ. සොරා කෑ ධනය ආපසු ලබා ගැනීමේ නීතිමය ක්‍රියාවලිය තරමක් දීර්ඝ විය හැකි බැවිනි. මෙම කෙටි රචනය සොරුන් විසින් රටින් පිටට ගෙන යන ලද ධනය ආපසුගත් අවස්ථා කීපයක් ගැනය.

 මා කලින් ලියූ රචනයේදී මේ කරුණුවලට අදාළ පසුබිම විස්තර විය (https://amarakeerthi.blogspot.com/2022/05/blog-post.html). මූල්‍යදේශය නම් රහස් මුදල් සඟවන මූල්‍ය ආයතන පද්ධතියක් පවතින රටවලට ලෝකයේ නොයෙක් රටවලින් රහස් මුදල් පැමිණෙයි. ඒ සියල්ල හොර සල්ලිම නොවේ. ආයුධ වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම ආදිය ඔස්සේ උපයන කළු සල්ලි මූල්‍යදේශයට එයි. ඒ වගේම ඇතැම් රටවල ආණ්ඩු විසින් තම පෞද්ගලික ධනය රාජසන්තක කරතියි බියෙන් මූල්‍යදේශවල සල්ලි සඟවන ධනවත්තු වෙති. එමෙන්ම අපේ ඇතැම් දේශපාලකයන් වැනි දූෂිතයෝද ඒ මූල්‍යදේශයේ මුදල් සඟවති. 

  ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල ගණන් බලන හැටියට ලෝකයෙහි උපයනු ලබන සෑම ඩොලරයකින්ම ශත 2-5ත් අතර ප්‍රමාණයක් කවර ස්වරූපයකින් හෝ නීති විරෝධීය. මූල්‍යදේශය නම් මුදල් සඟවන රටවල් අවශ්‍ය වන්නේ ඒ නිසාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව වාර්ෂිකව බිහි වන නීති විරෝධී මුදල් ප්‍රමාණය ඩොලර් ටි්‍රලියන 2.6ක් තරම් විය හැකිය. ටි්‍රලියනයක් යනු බිලියන 1000කි. බිලියනයක් යනු මිලියන 1000කි. මේ විශාල නීති විරෝධී සල්ලි තොගයෙන් විශාල කොටසක් අප වැනි රටවල දූෂිත දේශපාලකයන් ඒ රටවලින් පිට කර සැඟවූ මුදල්ය. ඒ රටවල දූෂණ විරෝධී ව්‍යාපාර හෝ අලුතින් පත් වූ ආණ්ඩු හෝ ඒ හොරා කෑ ධනයෙන් යම් කොටසක් ආපසු ලබාගත් අවස්ථා තිබේ. 

                    හොරුන්ගේ සල්ලි ආපසු ජනතාවට?


★  සනි අබාචා සහ ඔහුගේ පවුල හොරා කා ස්විට්ලර්ලන්තයේ සඟවා තිබූ සල්ලිවලින් ඩොලර් මිලියන 800ක් නයිජීරියාවට ආපසු දුන්නේය. අබාචා යනු 1993-8 දක්වා නයිජීරියාව පාලනය කළ මිලිටරි පාලකයාය. 

   අබාචාගේ පුතා විසින් සොරාකන ලද මුදල්වලින් ඩොලර් මිලියන 227ක් තැන්පත් කර තිබුණු කුඩා යුරෝපීය රටක් වන ලික්ටන්ස්ටයින් රාජ්‍යය ආපසු නයිජීරියාවට දුන්නේ 2014 දීය. ඒ අබාචා බලයෙන් පහ වී දශක දෙකකට තරම් පසුය. ඒ අබාචා පවුලට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග නොගන්නා බවටද පොරොන්දු වූ පසුය. එහෙත් අවාසනාවකට, නයිජීරියාවේ ඒ වන සිටි ආණ්ඩුවද දූෂිත නිසා ඒ ඩොලර් මිලියන 227ට වූයේ කුමක්දැයි සොයාගත නොහැකි විය. ඒවා නැවතත් සොරකම් කෙරිණි! දූෂිතයන් සොරා කෑ ධනය ආපසු ලබා ගැනීමට දූෂිතයන් නොවන පිරිසක් සිටිය යුත්තේ ඒ නිසාය.

★ මාර්කෝස්ගේ පාලනය බිඳ වැටුණු පසු ස්විට්සර්ලන්තය එරටද මාර්කෝස් පවුලට අයත් ධනයෙන් ඩොලර් මිලියන 600ක් පිලිපීනයට ආපසු දුන්නේය. 1986 වසරේදී පරාජය වූ දැඩි දූෂිතයෙකු වූ මාර්කෝස්ගේ පුතා දැන් නැවතත් පිලිපීනයේ බලයට පැමිණ තිබේ. ඊට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ එරට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය යැයි කියවේ. එදා සිය පියාගේ පරාජයෙන් පසු මාර්කෝස් පවුල ජනාධිපති මන්දිරයේ සිට හෙලිකොප්ටරයකින් පලා යන විට 28 හැවිරිදි බොංබොං මාර්කෝස් දැන් නැවතත් පිලිපීනයේ බලය අල්ලාගෙන සිටියි. ඔහුගේ පියා ඩොලර් බිලියන 10ක් වත් සොරා කෑ බව 1986න් පසු ගණන් බැලිනි.

★ ඉක්වටෝරියල් ගිනියා නමින් හැඳින් වෙන මධ්‍යම අප්‍රිකානු රටද දූෂිත පාලකයන්ගේ රජ දහනක් විය. ඒ රට පාලනය කළ ඔබියැං පවුලද බලය අවභාවිතය, මානව හිමිකම් කඩ කිරීම සහ දූෂණය සම්බන්ධයෙන් කුප්‍රකට විය. ඒ පවුල තම රටින් සොරා කෑ ධනයෙන් පොප් ගායක මයිකල් ජැක්සන් භාවිත කළ භාණ්ඩ වැනි මිලාධික අනුස්මරණ භාණ්ඩ වෙන්දේසිවලින් මිලට ගත්තේය. ඒවා වෙනුවෙන් ඔබියැං පවුල් වියදම් කළ මුදල ඩොලර් මිලියන 70ක් තරම්ය. ඔහුගේ තවත් මුදල් ඇමරිකාවේ තිබිණි. ඔහුට විරුද්ධව නඩු මාලාවක් වැටිණි. එහෙත් ඒ නඩුවලට ගිනියාවේ ආණ්ඩුවෙන් ලැබුණ සහාය මඳ විය. එරට දූෂිත ආණ්ඩුවටම ඒ මුදල් ආපසු දිය නොහැකි බැවින් ඇමරිකාව කළේ ඒවා ගිනියාවේ සුබසාධන ආයතනයකට ඒවා පරිත්‍යාග කිරීමය. අඩු තරමින් එලෙසින්වත් යම් මුදලක් ආපසු එරටට ආවේය. මේ 2014 වර්ෂයේදීය.

★ 2007 වර්ෂයේදී ස්විට්සර්ලන්ත අධිකරණය එවකට කසකස්ථානයේ ජනාධිපති වූ නුර්සුල්තාන් නසාරබයෙව්ට අයත් ඩොලර් මිලියන 84ක් ගල් කළේය. පසුව ඒ මුදල එරට ළමයින්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පිළිබඳ වැඩසටහන් කරන සමාජ සේවා ආයතනයකට පරිත්‍යාග කළේය. මධ්‍යම ආසියාවේ තෙල් ඇති රටක් වන කසකස්ථානයේ ජාතික ධනයෙන්ද විශාල කොටසක් දූෂිත දේශපාලකයෝ සොරා කෑහ. තෙල් සම්පත් ආදිය නැති අපේ රටවල දේශපාලකයා සොරා කන්නේ අප කවුරුත් සාමූහිකව ගෙවිය යුතු ණය කන්දෙනි. 


  ඉහත කී වැනි සාර්ථකත්වයේ කතා කීපයක් තිබුණද, ඇමරිකාව, එංගලන්තය, ස්විට්සර්ලන්තය වැනි රටවල සඟවා ඇති දූෂිතයන්ගේ ධනය ආපසු ඒවා සැබැවින්ම අයිති රටවල ජනතාව වෙත ආපසු දීමේ කතාව එතරම් ප්‍රීතිමත් එකක් නොවේ. බොහෝ හොරුන්ගේ ධනය තවමත් ඒ රටවල තිබේ.  2006-12 කාලයේදී ලෝක බැංකු ගණන් බැලීම්වලට අනුව ලෝකයේ ධනවත්ම රටවල් කොල්ල කෑමට ලක් වූ රටවලට අයත් සොරා කෑ ධනයෙන් ආපසු ඒ රටවලට බාර දී ඇත්තේ ඩොලර් මිලියන 423.5කි. අඩුම ගණන් බැලීම් අනුව පවා මූල්‍යදේශවලට වසරකට සැඟවනු ලබන සුජාත නොවන ධනය ඩොලර් බිලියන 20කි. ආපසු සැබෑ හිමිකරුවන් වෙත යන ධනය කොතරම් අඩුදැයි ඉන් පෙනේ.  ඊට ප්‍රධාන හේතුවක් වන්නේ අපගේ රට වැනි සොරා කෑමට ලක්වූ රටවලින් අර හොරා කෑ සල්ලි ආපසු ගැනීමට දියත් වන දේශපාලන, නීතිමය, හා රාජ්‍ය තාන්ත්‍රික අරගලය ඉතා දුබල බැවිනි. බොහෝ විට ඒ රටවල අලුතින් පත් වන ආණ්ඩුද සෑදී ඇත්තේ අර වැනිම දූෂිතයන්ගෙනි. නැතිනම් පැරණි දූෂිතයන් සමග ඩීල් දාන රනිල්-මෛත්‍රී වැනි දේශපාලකයන්ගෙනි. සම්පූර්ණ පද්ධතියම වෙනස් විය යුතුය යනුවෙන් අප රට අද අරගල ඇතිවීමටද හේතුවක් එයය.

(මෙහි එන මූලික කරුණු  ඔලිවර් බූලෝගේ මනිලෑන්ඩ් කෘතිය ඇසුරිනි.)

  

  

  



1 comment:

  1. Informative article. Is there a possibility or a mechanism where the UNO intervenes in getting the embezzled money back? (I heard somebody telling )

    ReplyDelete