Saturday, June 18, 2022

මේ ‘කන්ද උඩ වීරයා’ සිය ජීවිත කුසලානය ඔසවා පෙන්වන්නේ කාටද? - ලියනගේ අමරකීර්ති

   


          


   කැන්ඩි මෑන් ( The Kandy Man) යන යෙදුම ‘නුවර මිනිසා’ යනුවෙන්ද ’කන්දෙ මිනිහා’ යනුවෙන්ද අවශ්‍ය නම් පරිවර්තනය කළ හැකිය. අවශ්‍ය නම් එය ‘මම උඩරට මිනිහෙක්මි’ යනුවෙන් සිංහලට ගන්නටද පුළුවන. ඒ තුන්වෙනි යෙදුමට අවසර ලැබෙන්නේ මේ කැන්ඩි මෑන් යනු ස්වයං චරිතාපාදනයක නම වන බැවිනි. ආචාර්ය සරත් අමුණුගම කොටස් කිහිපයකින් පළ කරන්නට අදහස් කරන සිය ස්වයං චරිතාපදානයේ මුල් කොටස කැන්ඩි මෑන් යනුවෙන් පළ විය. කොරෝනා අස්සේ පළ වූ එය වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වූයේ නැත. පළ වූ කාලයේම එය කිය වූ මා වෙනත් රචනාවලදී එහි එන කරුණු වෙත ඉඟි කළද ඒ ගැන යමක් ලියන්නට ලැබුණේ නැත.

   දැන් මේ රචනය ලියන්නේ ඒ පොතට හොඳම සාධාරණය ඉටු කළ හැකි පසුබිමක නොවේ. ඊට හේතු කිහිපයකි. ඒ පොතේ පිටු පන්සිය ගණනම එක් තනි මිනිසෙකුගේ ජීවිත ගමනේ ජය සැමරීමකි. ඒ මිනිසා ලංකාවේ ඉහළම ගණයේ උගතෙක්ද, ඉහළම ගණයේ පරිපාලන නිලධාරියෙක්ද, බලවත් දේශපාලකයෙක්ද විය. එහෙත් විසි වෙනි සියවසේ ඔය ක්ෂේත්‍ර තුනෙහිම ඉහළටම ගිය කෙනෙකුට තමාගේ ජයග්‍රහණ උත්කර්ෂයෙන් සැලකිය හැකි ලංකාවක් ඉතිරිව තිබේද? අද අප හමුවේ ඇත්තේ හෙට අනිද්දා ඊ ළඟ ආහාර වේල වෙනුවෙන් වීදි සටන්වලට බසින ජනතාවක් වසන රටකි. මේ පොතෙහි එන සරත් නමැති චරිතය තම උගත්කම, ප්‍රබුද්ධත්වය, සාර්ථකත්වය, කලාකාමිත්වය, අඛණ්ඩව ඉහළ යාම, විජීගීෂාව ප්‍රීතියෙන් සිහි කරන්නේ එවැනි රටකය. රට සමස්තයක් සේ කඩා වැටීමත්, සරත් නමැත්තා සාර්ථක, ධනවත් පුද්ගලයෙකු වීමත් එක අතකින් මේ පොතට පසුබිම් වන කාලය ලංකාව ගමන් කළ වැරදි ආර්ථික දේශපාලන මාවතම සංකේතවත් කරයි. සරත් නමැත්තා සිය සාර්ථකත්වය සමරන්නේ අමු සොහොනක් බවට ඇද වැටෙමින් පවත්නා රටකය. එක අතකින් මේ වූකලි මේ පොත කියවිය යුත්තේ කෙසේදැයි අපට හරියටම කියා දෙන ඓතිහාසික උත්ප්‍රාසයකි.

   ආචාර්ය අමුණුගම සිය පොත ලියන්නට පටන්ගන්නේ සිය අසූ වෙනි උපන්දිනය දාය. එනම් 2019 වසරේය. මේ පොතට හසුවන්නේ 1939 සිට 1977 දක්වා ඔහුගේ ජීවිතයයි. ඊට ඔහුගේ ළමා කාලය, ත්‍රිත්ත්ව විද්‍යාලයේ අධ්‍යාපනය, පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතය, පරිපාලන සේවය එක් වී ගත කළ මුල් අවුරුදුවල ජීවිතය ආදිය හසු වේ. 

අමුණුගම කවිකම් සහිත මිනිසෙකි. ඒ නිසා ඔහුගේ ගද්‍ය රචනය මනරම්ය. සාහිත්‍ය කෘති, වෙනත් කලා කෘති, තවත් අයගේ චරිතාපාදන ආදිය වෙත ඉඟි සපයමින් ලියන ඔහුගේ බුද්ධිමය පෝෂණ කලාපය ඉතා පුළුල්ය. එවැනි ප්‍රබුද්ධ ජීවන වපසරියකින්ද රචනා කෞශල්‍යයකින්ද යුතු දේශපාලනඥයෝ අප රට බහුල නොවෙති. දේශපාලනයෙහි සිටින නිල උගතුන් වන ජී.එල්. පීරිස් වැනි අය තමන් ඇද වැටුණු ඉතා කුඩා නීති විෂය ක්ෂේත්‍රයෙහි සහතික දිනා තිබුණද ප්‍රබුද්ධ වූද සාකල්‍යවත් වූද විඥානයක් ඇත්තෝ නොවෙති. ඔවුහු නිල සහතික සහිත ඒකමානීය මනුෂ්‍යයෝ වෙති. කැන්ඩි මෑන් වැනිම පොතක් ලිවීමේ සියලු කුසලතා සහිත අනික් ප්‍රබුද්ධයා වූ ලක්ෂ්මන් කදිරගාමර් සිය ස්වයං චරිතාපදානය ලියන්නට තරම් ජීවත් වූයේ නැත. එවැනි ප්‍රබුද්ධත්වය අත්පත් කරගන්නට ඉඩ නැති පන්තියක ඉපිද, එවැනිම පසුබිමක හැදුණු වැඩුණු ප්‍රභාකරන් විසින් කදිරගාමර් මරා දැමිණි. අජිතා කදිරගාමර් සිය පියාගේ ජීවිතය අළලා ලියූ The Cake that was Baked Home  ප්‍රයෝජනවත් තොරතුරුවලින් සැදුණේ වුවද කදිරගාමර්ගේ ප්‍රබුද්ධ විඥානයෙහි පෝෂණ කලාපය සැබැවින්ම අනාවරණය කරන්නේ නැත. ආචාර්ය අමුණුගමගේ කෘතිය විසි වෙනි සියවසේ උඩ රට ලංකාවේ යමක්කමක් ඇති පවුලක ඉපිද, ත්‍රිත්ත්ව විද්‍යාලය වැනි ප්‍රභූ පාසල්වලට ප්‍රවේශවීමේ වරප්‍රසාද ලැබුණු දරුවෙකුගේ ජීවිතය කෙබඳු විය හැකිද යන්න ගැන බොහෝ අන්තර්දෘෂ්ටි සපයයි. ‘අන්තර්දෘෂ්ටි සපයන’ බව මා කියන්නේ සවිඥානකවමය. අමුණුගම සිය පොතෙහි ලියන වැකි ඇසුරින් ඇඟවෙන දේවල් විචාරාත්මක පාඨකයාට වටහා ගත හැකිය. 




    උදාහරණයක් මෙසේය: විශාල ඉඩම් හිමියන්ද වූද, යටත් විජිත ආණ්ඩුවේ ඉහළ නිලතල දැරුවා වූද පවුල් පසුබිමක ඉපිදි හැදෙන වැඩෙන කෙනෙකුට ප්‍රභූ පාසල්වලට ප්‍රවේශ වීම වැනි සමාජ අවස්ථා දෙන ලද දේවල්ය. ඒවා පවුල් පසුබිමින්ම ලැබුණු කෙනෙකුට ඒවා පෙනෙන්නේ හුස්ම ගන්නා වාතය මෙන් ස්වභාවික හැටියටය. ඒ වරප්‍රසාද වූකලි මෙරට දහස් ගණන් ජනයාට නොලැබෙන වරප්‍රසාදයන්ය යන කාරණය රචකයාට නොපෙනී යන්නට පුළුවන. මේ පොතෙහි එන සරත් නම් වීර චරිතය නිරූපණය වන්නේ හුදෙක් තම දක්ෂකමද, පසු කලෙක, පෞරුෂය සහ කඩවසම්කමද නිසා ජීවිතය ජයගත් කෙනෙකු හැටියටය. මේ පොත විචාරාත්මකව කියවන පාඨකයාට ලැබෙන අන්තර්දෘෂ්ටිය වෙන දෙයකි. සරත් නම් වීර චරිතය ගොඩනගන්නට ධනය සහ බලය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට ඔහුට අවස්ථාව ලබා දෙන ඉතිහාසය කොතරම් දායක වීද යන කාරණයයි. 

                                       තම පරම්පරාවේම අනික් අය?

   මේ පොතේ අග කොටසේදී 1971 කැරැල්ල ආශ්‍රිත සිදුවීම් ගැනද සඳහන් වේ. අමුණුගම කියන ආකාරයට 71 කැරැල්ල ආරම්භ වූ ඒ වසරේ අප්‍රේල් 5 වෙනිදා ආසන්න දවස්වල එවක ආණ්ඩුවේ බලවත්ම කොටස් මේ කැරැල්ල වෙත ප්‍රතිචාර දැක්වූ ආකාරය කෙසේදැයි ඇසින් දුටු අය අතරින් තවමත් ජීවත් වන්නේ ඔහු පමණි. අමුණුගමගේ අධ්‍යාපනික පසුබිම, පවුල් පසුබිම සේම පෞද්ගලික දක්ෂකම් ආදිය නිසා ඔහු ඉතා තරුණ වයසේදීම පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළටම ගියේය. ඒ නිසා 1971 වන විට ආණ්ඩුවේ ඉහළම බලවතුන්ගේ අභ්‍යන්තරික වළල්ල වෙත ප්‍රවේශවීමේ අවස්ථාව ඇත්තෙක් වූයේය. 71 කැරලිකරුවන් ‘කැරලිකරුවන්’ බවට පත් වූයේ හුදෙක් විජේවීර විසින් පතුරුවන ලද විවිධ කුමන්ත්‍රණ න්‍යායයන් නිසාද, නැතිනම් සැබෑ සමාජමය ප්‍රශ්න සමුදායක් නිසාද යන්න ගැන මේ පොතෙන් සැපයෙන පිළිතුරු ප්‍රමාණවත් නැත. ඒ කැරැල්ල වැනි තීරණාත්මක අවස්ථාවල සරත් නම් වීරයා රාජ්‍ය බල ව්‍යූහයෙහි ඉහළම කේන්ද්‍රයෙහි සිටි බව ලස්සනට කියවේ. පහත එන්නේ ඒ ඓතිහාසික අප්‍රේල් 5 වෙනිදාට පෙර දා හවස රොස්මීඩ්හි අගමැතිනියගේ නිවසේ වූ හමුවක් ගැන විස්තරයකි: 

“අප්‍රේල් 4 වෙනිදා හවස ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ මම අගමැතිනිය වාසය කළ රොස්මීඩ් පෙදෙස වෙත කැඳවනු ලද්දෙමු. එදින රටෙහි සියලු ප්‍රදේශවල සිදු වූ සියලු හිංසන ක්‍රියාවටලට සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා රැගෙන එන මෙන් අපෙන් ඉල්ලා සිටිනු ලැබිණි. අප යන විට හමුදාපති සේපාල ආටිගල, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, අග්‍රාමාත්‍ය ලේකම් ධර්මසිරි පීරිස් සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ලක්ෂ්මන් ජයකොඩි යන සියලු දෙනා අගමැතිනිය උඩුමහලේ වූ සිය කාමරයේ සිට පහළට බසින තෙක් සිටියේ එදින රැයේ ආරම්භ වීමට නියමිත ජවිපෙ ක්‍රියා පිළිබඳ බුද්ධි අංශ තොරතුරු ඇයට දැන්වීමටය. ඇය එනතුරු ඉහළ ආරක්ෂක නිලධාරීහු උදා වී ඇති බරපතළ තත්ත්වය සාකච්ඡා කළහ. සැලකිය යුතු කාලයකට පසු අගමැතිනිය පහළට බැස්සේ ස්නානයෙන් පසුවය. හදිසිය නිසා ඇය සිය හිස කෙස් ගැටයක් සේ ගොතා බැඳ නොතිබුණු නිසා ළිහිල්ව එල්ලෙමින් තිබුණු බව මට තවමත් මතකය. තොරතුරු පිළිබඳ සාරාංශයක් ඇයට ඉදිරිපත් කළ සේපාල පොලිස්පති රුද්‍රා රාජසිංහම් පොලිස් ස්ථානයට පහර දෙනු ලැබ ඇති මොණරාගල කරා හෙලිකොප්ටරයෙන් ගිය බවත් දැන් ආපසු එමින් සිටින බවත් කීවේය. ඔහු අලුත්ම තොරතුරු රැගෙන තව ටික වෙලාවකින් කොළඹට එන්නේය. ඉතා සන්සුන්ව සිට අගමැතිනිය කීවේ රුද්‍රා ආපසු එනතෙක් සිටීම උචිත බවය. විනාඩි කිහිපයකට පසු ඒ ආලින්දයේ බිත්තියකට සවි කර තිබූ දුරකථනය නාද වන්නට විය. ඒ රුද්‍රාය...”

   මේ විස්තරය තව දිගට ලියවී තිබේ. එදින රාත්‍රියේ පොලිස් ස්ථානවලට පහර දෙන බවත්, අගමැතිනිය ඝාතනය කිරීමට පිරිසක් රොස්මීඩ් පෙදෙස වෙත එන බවත් හමුදාපතිට තොරතුරු ලැබී තිබිණි. කතුවරයා ආචාර්ය උපාධියක්ද සහිත සමාජ විද්‍යාඥයෙකු වුවත් 71 කැරැල්ල ගැන විවරණාත්මක යමක් එහෙමට ලියන්නේ නැත. කුල පීඩනය කැරැල්ලට ප්‍රධාන හේතුවක් වූ බව පමණක් ලියයි. ඒ වන වයස තිස් දෙකක වුවද බලවත් නිලධාරියෙකු වූ අමුණුගම තමන්ට වඩා අවුරුදු කිහිපයකින් බාල තරුණ පිරිසක් කැරලිකරුවන් වූයේ මන්ද යන්න ගැන ආත්මපරීක්ෂාත්මක ආවර්ජනයක යෙදෙන්නේ නැත. ගැඹුරු ස්වයං චරිතාපදානයක ඒ මානය තිබිය යුතුය. මේ පොතේ ආවර්ජනාත්මක මානය සරත් නම් වීරයාගේ වීරවික්‍රම පිළිබඳ විස්තරවලින් වැසී ගියාක් වැනිය. 

                                                පේරාදෙණි ශිෂ්‍ය ජීවිතය




  මේ පොතෙහි මගේ වඩාත් සිත්ගන්නා කොටස තුන් වෙනි පරිච්ඡේදයයි. එහි විස්තර වන්නේ අමුණුගමගේ සරසවි ජීවිතයයි. ඔහු පේරාදෙණියට පිවිසෙන්නේ 1957 වර්ෂයේදීය. ඒ වූකලි පේරාදෙණියෙහි ස්වර්ණමය දශකයක් බවට සැකයක් නැත. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවේ බුද්ධිමය, ශාස්ත්‍රීය කතිකාවේ කේන්ද්‍රීය කාර්යභාරයක් කරමින් සිටියේය. එවකට තරුණ මෙන්ම උද්යෝගී ආචාර්ය මණ්ඩලයක් සෑම අධ්‍යයන අංශයකම පාහේ සිටියේය. අමුණුගමට නවාතැන් ලැබෙන්නේ ලංකා විශ්වවිද්‍යාල ව්‍යාපාරයේ සභාපති මෙන්ම, ලංකා විශ්වවිද්‍යාලයේ පියා යැයි සැලකිය යුතු පොන්නම්බලම් අරුණාචලම් නමින් නම් කොට ඇති නේවාසිකාගාරයේය. 

  1950 දශකයේදී පේරාදෙණිය පමණක් නොව විශ්වවිද්‍යාලය නිසා මහනුවර නගරයද සජීවීව පැවති බව අමුණුගම විස්තර කරයි. මහනුවර නගරයේ සිනමා ශාලාවල, රංග ශාලාවල නිතර සරසවි ශිෂ්‍යශිෂ්‍යාවෝ ගැවසුණහ. විශ්වවිද්‍යාලය තුළද 56 ප්‍රබෝධයෙන් ඇති වූ ජාතිකවාදී දෝංකාරය පැවතිණි. බොහෝ ආචාර්යවරුද කෝට්වලින් රෙද්ද බැනියමට මාරු වී සිටියහ. මේ වූකලි මහාචාර්ය සරච්චන්ද්‍ර විශ්වවිද්‍යාලයේ පමණක් නොව රටේම ප්‍රකටම සිටි කාලයකි. සටහන් ලියාගන්නට නොදී, සාකච්ඡා කේන්ද්‍රීයව ඉගැන්වූ සරච්චන්ද්‍ර ගැන අමුණුගම ලියන්නේ ප්‍රමෝදයෙනි. 

  අමුණුගමගේ සරසවි සගයෝ බොහෝ දෙනෙක් ලංකාවේ ප්‍රසිද්ධ චරිත බවට පත් වූහ. ඒ අතරින් බොහෝ දෙනෙක් සරසවි එන්නට පෙරම වරප්‍රසාදිත පවුල් පසුබිම්වලට අයත් වූවෝය. මේ රචනය ලියන විට ලංකාව ආර්ථික අර්බුදයකය. ඇතැම් සිසුන් මුදල් හදල් නැති නිසා විශ්වවිද්‍යාලය අත්හැර දමන්නට යෙදී ඇති බව වාර්තා විය. ආපනශාලාවල ආහාර මිල ඉහළ ගොස් බැවින් ඇතැම් ශිෂ්‍යාවන් උදේ දහයට එකොළහට විතර පැමිණ උදේට සහ දවල්ට එක වේලක් පමණක් කන බව ආපනශාලා සේවකයෙක් මා හා කීය. තම්බපු බිත්තරයක් රුපියල් පනහක් වන නිසා එළවළු දෙකක බත් පත පමණක ගන්නා ශිෂ්‍යශිෂ්‍යාවන් බහුල බවද ඔහු කීය. ඉතා හොඳ ආහාර ලැබිය යුතු වයසක අද බොහෝ පේරාදෙණි සිසුන් ජීවිතය ගෙවන්නේ එසේය. එවන් පසුබිමක අමුණුගම සිය පොතෙහි විස්තර කරන පේරාදෙණි නේවාසිකාගාර ජීවිතය යනු මේ රටේ තිබුණේ යැයි සිතිය නොහැකි තරම් වන සිහිනමය සබන් බුබුලකි. ඒ සබන් බුබුල පුපුරා යෑමේ ඉතිහාස කතාව මේ පොතේ නම් කියවෙන්නේ නැත.

  මහාචාර්ය රැල්ෆ් පීරිස්, ස්ටැන්ලි තම්බය්යා, ගණනාථ ඔබේසේකර වැනි අයගෙන් සැදි පේරාදෙණියෙහි සමාජ විද්‍යා අධ්‍යාපනයෙහි ස්වර්ණමය යුගය ගැන අමුණුගම කරන විස්තරත්, එවැනි අයගේ පොතපතත් ගැන සිතන විට ශෝකය මුසු හැඟීමක් ඇතිවීම නොවැළැක්විය හැකිය. එවැනි විෂය ක්ෂේත්‍රයක් ක්‍රමයෙන් වියැකී ගියේ මක්නිසාද යන්න ගැන අමුණුගම කිසිවක් නොකියතත්, ඒ ගැන අපට කල්පනා කළ හැකිය.

                                              සරච්චන්ද්‍රගේ ජපානය

  මේ පොතෙහි ආචාර්ය අමුණුගම කරන ඇතැම් නිරීක්ෂණ අන්තර්දෘෂ්ටිමය වශයෙන් ඉතා ගැඹුරුය. එක් තැනක් මෙසේය: සරච්චන්ද්‍ර සහ ජපානය අතර සම්බන්ධය ලංකාවේ සංස්කෘතික ඉතිහාසය තුළ නිතර රොමෑන්තිකකරණය කෙරෙන දෙයකි. ඕනෑම පුද්ගලයෙකුගේ මැදිවියෙහි අර්බුදකාරී අවස්ථාවක් එන්නට පුළුවන. තවදුරටත් තරුණ නොවන, මහලුද නොවන ඒ අවස්ථාවේදී තම ජීවිතය නැවත සැලසුම් කරගැනීමේ අවසන් අවස්ථාව මේ යැයි සිතෙන්නට පුළුවන. ඒ අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට දරන ප්‍රයත්න බොහෝ වියවුල්වලට සේම බොහෝ සාර්ථක ඉදිරිපිමිවලටද තුඩු දෙන්නට පුළුවන. අමුණුගම කරන නිරීක්ෂණයක් මෙසේය: ‘සරච්චන්ද්‍රගේ මැදිවියෙහි අර්බුදය හෙවක් මිඩ්ලයිෆ් ක්‍රයිසිස් (Midlife Crisis) එක සමග ජපානය එකට බැඳී තිබේ. ජපානය වෙත ගිය ගමනක් අතරතුරු සරච්චන්ද්‍ර ජපන් තරුණියක සමග සම්බන්ධයක් ඇති කර ගත්තේය. ඔහුගේ නවකතා දෙකක නොරිකො බවට පරිවර්තනය වන්නේ ඒ තරුණියයි. සරච්චන්ද්‍රගේ සෞන්දර්ය සංවේදීතාවට හරියටම හරියන සමාජ පසුබිමක් ලැබුණේ ජපානයේදීය. ඔහුගේ සමයෙහි තරමක් ගොරහැඩි වූ සිංහල සංස්කෘතියෙහි එවන් සියුම් සංවේදීතාවලට පසුබිමක් තිබුණේ නැත. ඔහු ලොල්කම් පෑවේ ජපන් සමාජයෙහි වූ රොමෑන්තිකත්වයේ සුවඳක් රැඳි විනීතාචාරවත් ස්වභාවයටය. එහෙත් නූතන ජපානයේ පවා මේ මුදුමොළොක් ජීවිතය වූ කලී සරච්චන්ද්‍ර නම් සෞන්දර්යවාදියාගේ සිහින ලෝකයෙහි වූවක් මිස සැබැවින්ම පැවති දෙයක් නොවන්නට පුළුවන.’ සිය පොතෙහි 163 පිටුවෙහි අමුණුගම කරන මේ නිරීක්ෂණය සියුම් අන්තර්දෘෂ්ටියෙන් යුතු වූවකි. සම්පූර්ණ පොතෙහිම එවැනි අවස්ථා ඇත්තේ සුළු ගණනකි. 

   සරච්චන්ද්‍රගේ මැදිවියේ අර්බුදයේදී මුණ ගැසුණු තරුණිය කේන්ද්‍රකරගෙන ජපානය අතිරොමෑන්තිකකරණය වීම පසුකාලීන සරච්චන්ද්‍ර අනුගාමිකයන් අතින් තවත් අතිසරල රොමෑන්තිකකරණයක් බවට පත් විය. 

  ලංකාවේ දේශපාලන බල කේන්ද්‍ර වැඩ කරන ආකාරය ගැන එහි අභ්‍යන්තරිකයෙකු විසින් අඳින ලද චිත්‍රයක් දකිනු කැමති අයට අමුණුගමගේ පොත ඉතා ප්‍රයෝජනවත්ය. ඒ සම්පූර්ණ චිත්‍රය එහි ඇඳී ඇති නිසා නොවේ. අපට ඒ චිත්‍රය ඇඳගැනීමට අවශ්‍ය වර්ණ, රේඛා ආදිය සහිත පාට පෙට්ටියක් සේ අපට ඒ පොත භාවිත කළ හැකි බැවිනි. 

   ආචාර්ය අමුණුගම “උගත්”, “ප්‍රබුද්ධ”, “සර්වභෞමික”( Cosmopolitan) “විදග්ධ”, “සංස්කෘතිකවත්” යනාදී විශේෂණවලින් හැඳින්විය හැකි චරිතයක් සේ තම චරිතය මෙම පොතෙහි නිරූපණය කරයි. එහෙත් අප මේ පොත කියවන  සන්දර්භය විසින් ඇති කරනු ලබන උත්ප්‍රාසයෙන් ගැලවී ගත නොහැකිය. පසුගිය කාලයේ මේ රටේ පතුරුවන ලද අතිශය ජාතිවාදී, අතාර්කික, අශිෂ්ට දෘෂ්ටිවාද ගණනාවක ප්‍රචාරක යාන්ත්‍රණය වන දෙරණ රූපවාහිනිය අමුණුගමගේ දියණියට අයත්වීමේ උත්ප්‍රාසය එකකි. අද රටේ වඩාත් අශිෂ්ට දේශපාලන ධාරාවක් නියෝජනය කරන, අසංස්කෘතික දේශපාලකයෙකු වන දිලුම් අමුණුගම යනු සරත් අමුණුගමගේ අනුප්‍රාප්තිකයා වීම තවෙකකි. ආචාර්ය අමුණුගමගේ ජීවිත කතාවෙන් නිරූපණය කරන යම් සමාජමය ප්‍රබුද්ධත්වයක් මේ රටේ බොහෝ දෙනාට උරුම කර දිය හැකි බුද්ධිමය, සමාජමය පරිසරයක් ඇති කළ හැක්කේ ඔහුගේ දියණියගේ රූපවාහිනියෙනුත්, ඔහුගේ ඥාති පුත්‍රයාගේ දේශපාලනයෙනුත් නියෝජනය වන දේශපාලන-ආර්ථික බලතන්ත්‍රයත්, ඒ හා බැඳුණු දෘෂ්ටිවාදත් පරාජය කිරීමෙනි. 




2 comments:

  1. සරත් අමුණුගම ලියූ මනමේ සිහිවී වැනි නමකින් යුතු බොහෝ විට මේ ආකාරයේ චරිතාපදාන කොටසක් විය හැකි පොතක් මා සතුව තියෙනවා. එය කියවීමට උනන්දුවක් මේ ලිපිය නිසා ඇති වුණා

    ReplyDelete
  2. ගුනදාස අමරසේකෙරගේ "ගමනක අවසානය" නවකතාවේ අමුනුගමගේ දේශපාලන පාවාදීම ගැන සෙවනැල්ලක් දකින්න ලැබෙනවා.

    ReplyDelete