Sunday, June 12, 2022

නාට්‍ය පාඨමාලාවක් ගැන කෙටි රචනයක්, සැබෑ අධ්‍යාපනයට උත්තේජනයක් - ලියනගේ අමරකීර්ති

 


                                                   (
අපර්ණා)

සෑම වසරකම මම නූතන නාට්‍ය කලාව ගැන පාඨමාලාවක කොටසක් උගන්වමි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේය. මා නාට්‍ය කලාව ආශ්‍රිත පාඨමාලා හදාරා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේදී සහ ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයේදීය. 

සෑම වසරකම මගේ නාට්‍ය දේශන සඳහා සූදානම් වන විට විස්කොන්සින් විශ්වවිද්‍යාලයේ මගේ පැරණි ගුරුවරුන් තම තම පාඨමාලාවලට එකතු කොට ඇති අලුත් දේවල් මොනවාදැයි සොයා බලමි. අන්තර් ජාලය සහ ඊමේලය නමැති විස්මකර්ම මනුෂ්‍ය නිර්මාණය නිසා පරණ ගුරුවරුන් සමග සන්නිවේදනය පහසුය.

ඉන්දියානු සම්භවයක් ඇති මහාචාර්ය අපර්ණා ධර්වඩ්කර් යනු මගේ ගුරුවරියකි. ඇගේ සැමියා වූ මහාචාර්ය විනේ ධර්වඩ්කර්ද මගේ ගුරවරයෙකි. ඒ දෙදෙනාම විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙහි මා උගන්නා කාලයටත් වඩා ප්‍රකට මහාචාර්යවරු වෙති. 

මා ආචාර්ය උපාධි ශිෂ්‍යයෙකු ලෙස උගන්නා කාලයෙහි උපන් අපේ පුතා සහිත් වෙනුවෙන් බේබි ෂවර් එක පැවතියේ ධර්වඩ්කර් යුවළගේ නිවසේය. ඇමරිකානු විශ්වවිද්‍යාලවල ගුරු-ශිෂ්‍ය සම්බන්ධතා එවැනිය. ඒ විශ්වවිද්‍යාලයෙන් පිට වී අවුරුදු 18කට පසුවද අදත් අපි මිතුරෝ වෙමු. 



                                           (University of Wisconsin)


මෙවර මගේ පන්තියට සූදානම් වන අතර අපර්ණා උගන්වන පාඨමාලාවේ විෂය නිර්දේශය මා වෙත එව්වේ එම විශ්වවිද්‍යාලයෙහි ආචාර්ය උපාධිය හදාරන මගේ ශිෂ්‍ය-මිතුරියක වන සමිතා සේනානායකය.

ඒ විෂය නිර්දේශයට අයත් අලුත් නාට්‍ය පිටපත් සොයාගෙන කියවමින් මගේ දේශන සඳහා සූදානම් වන විට මට මේ රචනය ලියා තබන්නට සිතිණි.

නූතන ඇමරිකානු නාට්‍ය කලාව ගැන අවබෝධයක් ලබනු කැමති කාටත් ඉන් ප්‍රයෝජනයක් වෙතියි මට සිතේ.

  ශත වර්ෂ දෙකක් පමණ බෙහෙවින් පොහොසත් ප්‍රාසාංගික කලාවක් ඇමරිකාවේ තිබුණද සැබැවින්ම ඇමරිකානු නාට්‍ය කලාවක් ඇති වන්නේ 1916 දී පමණ යැයි සැලකේ. ඊට පෙර සිදුවූයේ එංගලන්තය, ජර්මනිය, හෝ අයර්ලන්තය වෙතින් ආ නාට්‍ය කණ්ඩායම් ඇමරිකාවේ නාට්‍ය දර්ශන පැවැත්වීමය. නැතිනම් ශේක්ශ්පියර් වැනි අයගේ නාට්‍ය ඇමරිකාවේ නැවත නිෂ්පාදනය විය. ඉයුජීන් ඕනීල් වැනි අයගේ ප්‍රධානත්වයෙන් විසි වෙනි සියවසේ දෙවෙන දශකයේ පමණ ඇමරිකානු නාට්‍ය කලාවක් බිහි විය. එය ශත වර්ෂයක් ඇතුළත ඉතා දියුණු නාට්‍ය කලාවක් බවට වැඩිණි. අපරණාගේ පාඨමාලාව පොහොසත් නාට්‍ය කලාව ගැන අගනා හැඳින්වීමකි.


ඇගේ පාඨමාලාව උදෙසා නිර්දේශිත කෘති පහත දැක්වේ. ඒවා අත්‍යවශ්‍ය කියවීම්ය. ඒ නාට්‍ය පිටපත් සියල්ල මිලට ගැනීම උදෙසා විශ්වවිද්‍යාල පොත් සාප්පුවේ ඇතැයිද විෂය නිර්දේශයේම සඳහන් වේ. මිලට ගත නොහැකි අය වෙනුවෙන් ඒ සෑම පොතක්ම පුස්තකාලයේ තිබේ. බොහෝ දෙනෙකුට ඒවා අවශ්‍ය බැවින් ඒවා බැහැර දෙනු ලබන්නේ පැය තුනකට පමණි. 

ප්‍රථම උපාධි සිසුන් වෙනුවෙන්ම වෙන් වූ පුස්තකාලය සෑම අධ්‍යයන වාරයකම රාත්‍රි 9 දක්වා විවෘතව පවතී. මා උගන්නා සමයෙහි විභාග සමයට එය මුළු රාත්‍රියේම විවෘතව තිබිණි. 


"1914 සිට ඇමරිකානු නාට්‍ය කලාව" පාඨමාලාවේ අත්‍යවශ්‍ය කෘති මාලාව

Eugene O’ Neill, Long Day’s Journey into Night (1940; pub. 1956)

Lillian Hellman, The Little Foxes (1939)

Arthur Miller, A View from the Bridge (1956)

Lorraine Hansberry, A Raisin in the Sun (1959)

Luis Valdez, Zoot Suit (1979)

David Mamet, Glengarry Glen Ross (1983)

August Wilson, Ma Rainey’s Black Bottom (1985)

Edward Albee, Three Tall Women (1993)

Tony Kushner, Angels in America: Millennium Approaches (1993)

 David Henry Hwang, Golden Child (1996)

Susan-Lori Parks, Topdog/Underdog (2001)


               මෙම කෘතිවලට අමතරව ශිෂ්‍යයන්ගේ නිබන්ධන සහ වාචික ඉදිරිපත් කිරීම සඳහා මූලාශ්‍ර සේ ගත යුතු නාට්‍ය මාලාවක්ද විෂය නිර්දේශයෙහි දැක්වේ. ඊටත් අමතරව, ඒ ඒ සතියේ කියවන නාට්‍ය හා සම්බන්ධ ශාස්ත්‍රීය ලේඛන හෙවත් ඒ ඒ නාට්‍යය ගැන ලියැවුණු ශාස්ත්‍රීය රචනා එකතුවක්ද පාඨමාලාවේ කියවීම්වලට ඇතුළත් වේ. පහත දැක්වෙන්නේ ඒ යෝජිත නාට්‍ය මාලාවයි. 

Clifford Odets, Waiting for Lefty (1935)

Tennessee Williams, A Streetcar Named Desire (1947) The Glass Menagerie (1944)  Cat on a Hot Tin Roof (1955)

Amiri Baraka, Dutchman (1964)  Black Mass (1966)

Hanay Geiogamah, Body Indian (1972)

Sam Shepard, Fool for Love (1983)  True West (1980)

Wendy Wasserstein, The Heidi Chronicles (1988)

Eve Ensler, The Vagina Monologues (1996)

Moises Kaufman, The Laramie Project (2000)

 Tracy Letts, August, Osage County (2007)

Bruce Norris, Clybourne Park (2010)

 Ayad Akhtar, Junk (2016)


  ඇමරිකානු විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි ශිෂ්‍යයෝ මෙන්ම පශ්චාත් උපාධි ශිෂ්‍යයෝද පූර්ණ කාලීනව එකට අධ්‍යයන  කටයුතුවල යෙදෙති. පශ්චාත් ශිෂ්‍යශිෂ්‍යාවන් තම එම්ඒ හෝ පීඑච්ඩී උපාධි නිබන්ධන ලියන්නට පෙර මෙවන් පාඨමාලා ගණනාවක් උගත යුතුය. ආචාර්ය උපාධිය හදාරන අයට අඩු තරමින් වසර හතරක් තරම් කාලයක් එලෙස පාඨමාලා හදාරන්නට සිදුවේ. ප්‍රථම උපාධි සිසුන් හා පශ්චාත් උපාධි සිසුන් මෙම නාට්‍ය පාඨමාලාව සමත්වීම උදෙසා සම්පූර්ණ කළ යුතු දේ වෙනස්ය.

  මෙම පාඨමාලාවේ ප්‍රථම උපාධි සිසුන්ට සහ පශ්චාත් උපාධි සිසුන්ට පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීම සඳහා සැපිරීමට සිදුවන කොන්දේසි මෙම වගුවෙන් දැක්වේ. වෙනස සලකා බලන්න.

  පශ්චාත් ශිෂ්‍යශිෂ්‍යාවන් වෙතින් පාඨමාලාව වෙත වැඩි කැපවීමක් අපේක්ෂා කෙරේ.

ලංකාවේ විශ්වවිද්‍යාලවල පූර්ණ කාලීන පශ්චාත් උපාධි ශිෂ්‍යයන් සිටින්නේ ඉතා කලාතුරකිනි. නැත්තටම නැති තරම්ය. සති අන්තයට පැවැත්වෙන දේශනවලට අවාරෙට සහභාගි වී ලකුණු ලබාගෙන අදාළ විෂය ගැන සැබෑ ගැඹුරු අවබෝධයක් ලබාගත නොහැකිය. 

ප්‍රථම උපාධි ශිෂ්‍යයන්     -         පශ්චාත් උපාධි ශිෂ්‍යයන්

  නිබන්ධන අංක 1. -- 15%   -              නිබන්ධන අංක 1. 20%

  නිබන්ධන  අංක 2 -- 20%   -               නිබන්ධන අංක 2--25%

වාචික ඉදිරිපත් කිරීම- 10%  -           සාකච්ඡාවට නායකත්වය දීම - 20%

මධ්‍යවාර විභාගය- 20%                     වාරාවසාන විභාගය- 25%

සහභාගිත්වය  -10%                            සහභාගිත්වය  -10%

  තම තම විෂය පිළිබඳ සැබෑ අවබෝධයක් ලබා දෙන පශ්චාත් උපාධි අධ්‍යාපනයක් සඳහා පූර්ණ කාලීන පශ්චාත් උපාධි අධ්‍යාපනයක් සහිත විශ්වවිද්‍යාල කරා ගොස් අධ්‍යයන කටයුතුවල යෙදීම උචිතය. 

මේ රචනය ලියූයේ ‘කඩුවට’ බය නොවී ඉංග්‍රීසි කියවන අය අතර ඇමරිකානු නාට්‍ය කලාව ගැන යම් අවබෝධයක් ඇති කරන අදහසද ඇතිවය. මට සාමාන්‍යයෙන් හමුවන ශිෂ්‍යශිෂ්‍යාවන් අතිබහුතරයට මෙවන් පාඨමාලාවක නිර්දේශිත කෘති කියවන්නට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම නැත.  ඔවුන්ට අයිති විය යුතු භාෂා කුසලතා මේ සමාජය ඔවුන්ගෙන් සොරාගෙන තිබේ. වෙහෙස මහන්සියෙන් අත්‍යවශ්‍ය භාෂා කුසලතා අත්පත් කරගැනීමේ ධෛර්යයද ඔවුන් බොහෝ දෙනෙකුගෙන් සොරා ගෙන තිබීම වඩාත් ඛේදජනක කාරණයයි.


ඊඩිපස්, දෝන කතරිනා, සුබ සහ යස, මෙය තුවක්කුවක් නොවේ, සිහින හොරු අරන් වැනි යනාදී දිග නාට්‍යයද ධනංජය කරුණාරත්න, සුදත් අබේසිරිවර්ධන යනාදීන්ගේ කෙටි නාට්‍යයද මගේ පාඨමාලාවට ඇතුළත් වේ. සතියකට එක නාට්‍යයක් කියවාගෙන එන්නැයි නියම කළ විට මැසිවිලි කියන මගේ ශිෂ්‍යශිෂ්‍යාවන් මේ රචනය දිරි ගැන්වීමක් වේවායිද මම පතමි. අපගේ ශිෂ්‍යශිෂ්‍යාවන් බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය නාට්‍ය පිටපත් මිලට ගන්නට තරම් අතමිට නැත. ඇතැම් නාට්‍ය පිටපත් පුස්තකාලයේද නැත. දැන් ඇති වී තිබෙන කඩදාසි මිල ඉහළ යාම නිසා අදාළ නාට්‍ය පිටපත් ෆොටෝ කොපි කරගන්නැයි කියන්නටද මට සිත් දෙන්නේ නැත. ඒ නිසා අපේ කාලයෙන් විශාල කොටසක් ගත වන්නේ අපේම සෙල්ෆෝනවලින් අදාළ පිටපත් ස්කෑන් කරන්නටය!

සැබෑ මානව ශාස්ත්‍ර අධ්‍යාපනය යනු ශාලාවකට සිසුන් පුරවා කටට එන්නක් කියා, විභාග පවත්වා සහතිකයක් නිකුත් කිරීම නොවේ.


   


3 comments:

  1. Tennessee Williams, A Streetcar Named Desire (1947)

    ඒ පොත සිංහලෙන් ඇත.
    ආශාවේ වීදිරිය - චම්ප බුද්ධිපාල (පරිවර්තක)

    ReplyDelete
  2. මෙම ලිපිය කියවන විට වැඩිහිටියෙක් ලෙස මගේ සිතට ලාංකික වි වි ශිෂ්‍ය ප්‍රජාව මුහුණ පාන අවාසනාවන්ත පරිසරය ගැන ඉතාම කණගාටුයි. ඇත්ත වශයෙන්ම දේශපාලන නායකත්වයන් සමාජයේ ඔබ වැනි වූ උගත් ආචාර්ය මහාචාර්ය වරුන් ගේ උදව් උපකාරයෙන් සමාජයට මහඟු සෙවයක් කළහැකි සහ සාමකාමී වි වි අධ‍යාපන පරිසරයක් බිහි නොකිරීම ගැන කණගාටු සිතේ. ඔබ පවසා ඇති පරිදි ඇමෙරිකාවේ පමණක් නොව බටහිර දියුණු රටවල ඇති එවැනි වි වි පරිසරයන් සහ විවිධ සාහිත්‍ය කලා විෂයන් සමග රටේ සමාජ ජීවිතය වෙනස් කළ හැකි මට්ටම ඉතා ඉහලය.
    රට තුළ පවතින සියළුම වි වි වල පශ්චාත් උපාධි අවස්තා සළසා දිය හැකිය. විශේෂයෙන්ම සාහිත්‍ය කලාව, සමාජ විද්යාව, ආර්තික දේශපාලන විද්‍යාව, කළමණාකරණය ආදිය රටේ බිහිවූ කෘෂිකාර්ම, වයිද්‍ය විද්යා, ඉන්ජ්නේරු විද්යා, විද්‍යා උපාධිධාරීන් උනන්දු කරවා ඒ වෙත යොමු කරන්නේ නම් සමාජයට එය විශාල ධනාත්මක සේවයක් සළසනු ඇත. කලා විෂයයන් උගත් උපාධිදාරීන් පවා විවිධ විෂයයන් විවිධ භාෂාවන් ඉගෙනීම යොමු වන්නේ නම් කෙතරම් මෙහෙයක් රටට සිදුවිය හැකිද. ඉන්දියාව සහ වෙනත් බොහෝ තුන්වන ලෝකයේ රටවල පවා එම අවස්තා සමාජයට දායක කරමින් ඇති ලෝකයක අප පසුවන අව්ධියේ ලංකාව මීට වඩා ඉහළ තත්වයට එසවීමට මෙවැනි දේ බොහෝ සෙයින් උදව් විය හැකිය. ඔබට හැකිනම් අනෙකුත් ආචාර්ය මහාචාර්ය වරුන් මේ දෙසට යොමු කරන්නට එය විශාල සේවයක් ගෙන දෙන ක්‍රියාවක් විය හැක. ඔබගේ සටහන් කියවා වෙනත් දිශාවකට කරුණු ලිවීම ගැන කණගාටුයි. නමුත් මෙවැනි සංකලප රටට වැදගත් වේ යැයි සිතේ.

    ReplyDelete