දීගල්ල රේවත මධ්‍ය මහා විද්‍යාලයෙහි සිට අපේ නිවසට කිලෝමීටර් දෙකක් පමණ ඇත. ඒ එන පාරේ වැවක් තිබේ. එය වැලිපිල්ලෑවේ වැවයි. අප පාසැල ඇරී එන අතරම හෝ පාසැල් ඇරී ආපසු ඒ වැවට ගොස් පිහිනීම සිරිතකි. මුලින් මුලින් නොගැඹුරු කෙළවරින් එහි බසින්නට පටන්ගත් මම අනික් කොල්ලන් සමග ටික ටික පීනන්නට පුරුදු වීමි. ඒ වැව කුඩා වැවකි. එහෙත් ගිලී මියෙන්නට හොඳටම ප්‍රමාණවත් වතුරක් එහි තිබිණි. හොඳින් පීන්නට පුරුදු වූ පසු වැවේ කොන්ක්‍රීට් වාන අසල පිහිනීම ආකර්ෂණීය වික්‍රමයකි. එහිලා ඉදිරිපත් වන්නේ පාසලේ හතර අට වසරවලින් උඩ කොල්ලන්ය. මා මේ කියන දවස්වල මා සිටියේ හයේ පන්තියේ විතරය. එහෙත් අපි වැවේ අර නොගැඹුරු කෙළවර සිට වාන පිහිටි ගැඹුරු ප්‍රදේශය කරා ප්‍රවේශ වීමට අවශ්‍ය පිහිනීම් කුසලතා ඉක්මනින් ලබා ගතිමු. ළමා වියේදීම වතුරට බය ඇරුණු විට පිහිනීම ඉගෙනීම ලෙහෙසිය.
කොන්ක්‍රීට් වාන ඇති තැන පිහිනීමට වැඩි වික්‍රමයක් තිබේ. ඒ වූකලි කොන්ක්‍රීට් බැම්මේ සිට පිණුමක් ගසා වැවට පැනීමය. සමහරු ඉදිරිපසට කරණමද සමහර පිටු පසට කරණමද ගසති. මට යාන්තම් ඉදිරිපස කරණම ගසන්නට හැකියාව ලැබුණද පිටුපසට ගසන කරණම කවදාවත් ඉගෙනගන්නට ලැබුණේ නැත. එහෙත් ඊට වැඩි දෙයක් ඉගෙනගන්නට මට ඉඩ ලැබිණි.
හරියටම ඔය කාලයේදී අපේ ගමේ ලේඛකයෙකු ලියූ පොතක් කියවන්නට ලැබිණි. පොත පස්වැනියත් පුතෙක් නම් වේ. ලේඛකයා තිලක් චන්ද්‍රසේකරය. මෙම යෞවන නවකතාවේ විස්තර වන්නේ අපේ ගමයි. ඒ ලේඛකයාගේ නිවස පිහිටියේ දීගල්ල රේවත මහා විද්‍යාලය ආසන්නයේය. මේ දීගල්ල පිහිටියේ කුලියාපිටියේය.
පස්වෙනියත් පුතෙක් නවකතාවේ අප අර වැවේ කරන වික්‍රම එලෙසින්ම පාහේ විස්තර වේ. අප කරන මේ වැඩට සමාන දේවල් අපේ ගමේ, අපේ වැවම පසුබිම් කරගෙන චන්ද්‍රසේකර මහතා ලියා තිබීම මගේ කුතූහලය දැල්වූ සිද්ධියක් විය. එතැන් සිට මා පාසැල් යන අතරත් එන අතරත් ඒ මහතාගේ මහගෙදර දෙස බලාගෙන යන්නට පටන් ගත්තෙමි. ඒ වන විට පිහිනීම හෙවත් වැවේ නැටීමට අමතරව කියවීම මගේ සිත ආකර්ෂණය කර තිබිණි. එය අම්මාගෙන්ද දිරි ලැබෙන විනෝද ක්‍රියාවකි. වැවේ පිහින පිහිනා සිටින විට අම්මා පැමිණ කෝටු පහර දී මා ගෙදර ඇදගෙන තිබුණු අවස්ථාද තිබිණි. එහෙත් නවකතාවක නිරූපිත වැවක දියකෙළි කරන කොල්ලන් ගැන ලියවුණු නවකතාවක් කියවීම ගැන අම්මා කිසිවක් කීවේ නැත. සැබැවින්ම ඇය ඒ ගැන සතුටු වූවාය. මම පොතෙන් පොතට ඇදී ගියෙමි.
අපේ ගමෙහි ජීවිතය පොතක ලියවිය හැකි බව ඒ ගැටවර වයසේදීම මට අවබෝධ විය. පසු කලෙක මා ලියූ අටවක පුත්තු, කුරුලු හදවත, රතු ඉරි අඳින අත නවකතාවල මා අපේ ගමේ ඒ පරිසරය භාවිත කර ඇත. පස්වෙනියත් පුතෙක් නවකතාවෙහි ආවාටත් වඩා හොඳින් මා එය කර ඇතැයි සිතන්නට කැමැත්තෙමි. ඒ වැවට වඩා විශාල වැවක් කුලියාපිටිය-හෙට්ටිපොල පාරේ කරගහ ගෙදර හන්දියේ තිබේ. ඒ හන්දියේ මගේ අත්තා (මවගේ මාමා) කෙනෙකුගේ ලොරි බොඩි වැඩපොළක් හෙවත් බොඩි මඩුවක් තිබිණි. මා ගැටවර වියට ආ විට ජලක්‍රීඩාවෙහි ප්‍රවීණ වී සිටි බැවින් කරගහ ගෙදර වැවෙහිද පිහිනීම පටන්ගත්තෙමි. ඒ වැව ආශ්‍රය කරගෙන වීරියවන්තයෝ නමින් ළමා නවකතාවක්ද පසු කලෙක ලිවීමි. ඒ කාලයේ මට බයිසිකල් රේස් පිස්සුවක් තිබිණි. ඒ අත්තාගේ ගරාජය ඉදිරියෙන් නිතර බයිසිකල් රේස් යනු දැකීම නිසා විය යුතුය. මමද අත්තාගේ බයිසිකලයක් පෝක් අතෙහි කප් ගලවා ලී කෑලි දෙකක් ගසාගෙන රේස් පදින්නට පුරුදු වුණෙමි. තමාගේ බයිසිකලයට මා කළ විකාරය ගැන අත්තා කවදාවත් මට දොස් කීවේ නැත. පසු කලෙක මා විශ්වවිද්‍යාලයට තේරුණු පුවත අසන්නට ඔහු ජීවත් වූයේ නැත. ඔහු අකාලයේ මිය ගියේය.
කුලියාපිටිය ප්‍රදේශයෙන් ලේඛක ලේඛිකාවන් කිහිප දෙනෙක්ම බිහි වූහ. මහාචාර්ය සෝමරත්න බාලසූරිය අපේ අල්ලපු ගමේය. ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ, කරුණාතිලක හඳුන්පතිරණ යන අය අහළපහළය. දැනටත් ඒ ගම් පළාතෙන් නිතර නිතර කවි කිවිඳියෝ බිහිවෙති.
එහෙත් මා පිහිනීමට අමතරව කියවීමට ඇබ්බැහි වී සිටින විට අපේ අම්මාගේ පුංචි අම්මා කෙනෙකු වූ සුමනා දසනායක මහත්මිය සමග විවාහ වී ලේඛකයෙක් ගමට පැමිණියේය. ඔහු අබේසීල රත්නායකය. ඔහු එන විට ලොරියක් පුරවා ඔහුගේ පෞද්ගලික පුස්තකාලය රැගෙන ආවේය. ඔහු එකල ළමා පොත් ගණනාවක් ලියූ ලේඛකයෙකි. ඉතා කරුණාවන්ත කෙනෙකු වූ අබේසීල අත්තා ඔහුගේ පුස්තකාලයේ වූ ඕනෑම පොතක් මට කියවන්නට දුන්නේය. අපේ ගමේ වැව කුඩා වැවකි. අබේසීල අත්තාගේ පුස්තකාලය නිසා විවර වූ ප්‍රබන්ධ කථා ලෝකය පාරිකල්පනික සාගරයක් සේ විය. මගේ කය වැවෙහි නටන අතර මනස ප්‍රබන්ධ ලෝකයෙහි නැටුවේය.
එකල ඉතා යහපත් ආර්ථික තත්ත්වයකට සිටි මගේ පියාගේ ව්‍යාපාරය ක්‍රමයෙන් ඇද වැටිණි. පවුලක ආර්ථිකයද සහ ඒ නිසාම පවුලද අර්බුදයට යන සැටි දකිමින් ජීවිතය පිළිබඳ මෙනෙහි කිරීමට යෞවන වියේදීම යොමු වූ මට සැබෑ ලොවට වඩා ප්‍රබන්ධ ලෝකය ආස්වාදජනක විය. අබේසීල රත්නායක මහතාගේ පෞද්ගලික පුස්තකාලෙයෙහි වූ බොහෝ පොත් කියවූ මට සැබෑ ජීවිතය ගත කිරීමෙන් පමණක් කෙලෙසකවත් නොලැබිය හැකි අත්දැකීම් ලැබිණි. ඒවා සෘජු අත්දැකීම් නොවේ. පාරිකල්පනික අත්දැකීම්ය. එහෙත් මනුෂ්‍ය ජීවිතයේ විවිධාකාර සංකීර්ණතා වෙත පාරිකල්පනිකව එළඹීමේ හැකියාව ඒ නිසා මට ලැබිණි.
එහෙත් මගේ ජීවිතයෙහි කිසිම නිශ්චිත සිද්ධියක් මගේ කිසිම පොතක හමු නොවේ. 1983 වසරේ පමණ සිට අප කුරුණෑගල වැල්ලව පදිංචියට ගිය නිසා ඒ ගම් පළාතද මගේ නවකතාවලට පිවිස තිබේ. විශේෂයෙන් දැදුරු ඔය ආශ්‍රිත මතකයා මා මගේ කතාවලට එක් කර තිබේ. ඒ ගම් පළාත බොහෝ අංශවලින් කුලියාපිටියට වඩා ලස්සනය. දැදුරු ඔය සහ ඇතා ගල, ආඳාගල, පේද්දව කන්ද ආදී කඳුද, නොයෙක් වැව්ද, දැදුරු ඔයද ලස්සන වෙල් යායවල්ද විටින් විට මගේ කතාවලට පිවිසී තිබේ. ඒ සැබෑ භූගෝලීය පසුබිම තුළ තබා මා ගොතා ඇති කතාවල ඉතා ක්ෂුද්‍ර වූ සත්‍ය තොරතුරක් තිබිය හැකිය. එහෙත් එහෙත් මගේ නවකතාවක එන කිසිම සම්පූර්ණ සිද්ධියක් සැබෑ ජීවිතය තුළ එලෙසින්ම සිදු නොවිණි. ඒ අතින් මම බෙහෙවින් පරිකල්පනීය ලේඛකයෙක් වෙමි. බෙහෙවින් අධිතාත්ත්වික සිද්ධි සහිත කතා මා නිතර නොලියන නිසා මා පරිකල්පනීය ලේඛකයෙකු සේ පෙනෙන්නේ නැත. ඊට මම කැමැත්තෙමි. ඇත්ත වගේ ඈතට පෙනෙන පාරිකල්පනිකත්වයට මම කැමැත්තෙමි.
ජීවිතය යනු පුදුමාකාර දෙයකි. 1998 වර්ෂයේදී මම ඇමරිකාවේ විස්කොන්සින් විශ්වවිද්‍යාලය වෙත පශ්චාත් උපාධි අධ්‍යයනය පිණිස ගියෙමි. ඒ සුන්දර විශ්වවිද්‍යාලය විශාල විලක ඉවුරේය. අනික් පසින් තවත් විල් දෙකකි. වැවේ පැන පිහිනුම් උගත් මම ඒ විශාල මෙන්ඩෝටා විලෙහිද පිහිනුවෙමි. ඒ විශ්වවිද්‍යාලයට ඇතුළු වී ශිෂ්‍යශිෂ්‍යයාවන් මුණු ගැසුණු පළමු දවසේම මට මයිකල් සැම්බොන් මුණ ගැසිණි. කැනඩාවෙන් පැමිණ සිටි ඔහු අද මහාචාර්යවරයෙකි. ඔහු ගොල්ෆ් ක්‍රීඩාවට ආසා කළේය. ඉතා නීරස ක්‍රීඩාවක් සේ මා සිතා සිටි මට ගොල්ෆ් වූකලි ඉතාම රසවත් ක්‍රීඩාවක් බව පෙන්වා දුන්නේ ඔහුය. විස්කොන්සින් විශ්වවිද්‍යාලය තුළත් ඒ අසලත් ගොල්ෆ් ක්‍රීඩා පිටි තිබිණි. මම ඔහු සමග ඔහු ක්‍රීඩා කරන සැටි බලන්නට ගියෙමි. එමෙන්ම මිනිගොල්ෆ් යනුවෙන් කාටත් ක්‍රීඩා කළ හැකි ආකාරයට වෙනස් කොට සැකසූ ක්‍රීඩා ස්ථානද වේ. මා මයිකල් සමග ගිය මේ ගමන් ගැන බොහෝ කාලයක් ආවර්ජනය කළෙමි. ලංකාවේදී ඒ ක්‍රීඩාවේ යෙදීම මිල අධික වැඩකි. ගොල්ෆ් නමැති භාවනාත්මක ක්‍රීඩාව සාහිත්යික රූපකයක් බවට පෙරළිය හැකි බව මට පෙනිණි. අහම්බකාරක නවකතාවේ කේන්ද්‍රීය රූපකය ලෙස ගොල්ෆ් ක්‍රීඩාව පවතියි. ඒ නවකතාව බොහෝ රසිකයන් ආදරය කරන නවකතාවක් බවට පත් විය.
ගිම්හාන කාලයට ඒ විශ්වවිද්‍යාලය අයිනේ පිහිටි මෙන්ඩෝටා විලෙහි පිහිනන අතරද විශ්වවිද්‍යාල ආපන ශාලාවෙන්ම ගත් බියර් පානය කරමින් විල ඉවුරේ හිරු රැස් නාන අතරද අපේ ගමේ වැවේ පිහිනන්නට උගත් සැටි මම මයිකල්ට විස්තර කළෙමි. මෙන්ඩෝටා විලේ බටහිර ඉවුරින් හිරු බැස යයි. ඇමරිකාවට හිරු බසින විට ලංකාවට හිරු නැගෙන බව සිහිව මට ඒ ජීවිතය සිහි විය.
එහෙත් මගේ ජීවිතයේ කිසිම සැබෑ තොරතුරක් අහම්බකාරක නවකතාවට හසු වී නැත. සිදු වූයේ මයිකල් සහ මා අතර මිත්‍රත්වය නිසා ඇති වූ ගොල්ෆ් අවබෝධය රූපකයක් බවට හැරීම පමණි. එහෙත් කුරුණෑගල නගරයෙහි දෙමළ ජාතිකයන්ගේ කඩසාප්පුවලට 1983 කළු ජූලියේදී සිදු වූ දේ මා ඒ නවකතාවෙහි ලියා ඇත්තේ සත්‍ය තොරතුරු ඇසුරිනි. චරිත හෝ සිද්ධි සත්‍ය නොවේ. ඒ සිද්ධි සහ චරිත පිහිටුවන පසුබිමෙහි තොරතුරු ඇත්තය. එකල කුරුණෑගල දෙමළ ජාතිකයන්ගේ කඩ විසි හතරක් පමණ තිබිණි. කළු ජූලියෙන් පසුව දැන් තිබෙන්නේ හතරක් පමණක් බව ඒ නවකතාව ලියන කාලයේදී මම සොයා ගතිමි.
දවසක් මගේ බිරිඳගේ මහගෙදර ගොස් සිටින විටෙක ඒ නිවස අසල පාරේ කොල්ලෙක් බයිසිකලයක සීනුව නාද කරගෙන ගියේය. භද්‍ර යෞවන වියෙහි සිටි අපේ ඥාති දියණියක් මෙසේ කීවාය. “ඔය කොල්ලා යන්නෙ බෙල්ලෙක ගහගෙනමයි. පිස්සු.” ඒ නිවස තරමක විශාල පරණ නිවසකි. එහි එක ජනේලයකින් පාර පෙනේ. ඒ නිවසේ දියණියෝ පස්දෙනෙක් සිටියහ. මගේ බිරිඳ බාලම දියණියයි. අර කොල්ලාගේ සීනු නාදයට අර කෙල්ල දැක්වූ ප්‍රතිචාරය මගේ සිතේ තිබිණි.
ප්‍රබන්ධ කථාවකට අදහසක් ආ විට ඒවා ලියා තබන පොතක් මා සතුව ඇත. ඊට දැන් තවත් පොතක් අමුණා විශාල කර තිබේ. අර සීනුව හා සම්බන්ධ සිතිවිල්ලද මා අර පොතේ සටහන් කර තිබිණි. පසු කලෙක “අර මිහිරි සීනු නාදය” නම් කෙටිකතාව බිහිවූයේ ඒ සිතිවිල්ලෙනි. එහි එන්නේ 1987-9 කාලයේදී කැරලිකාර තරුණයෙකු මගේ බිරිඳගේ නිවස වැනි නිවසක දියණියක හා ඇති කර ගත් ප්‍රේමය පිළිබඳ කතාවයි.
1983 වසරේදී අප කුරුණෑගල, වැල්ලව පදිංචියට ගොස් ජීවත් වූයේ කුඩා නිවසකය. යමක් කමක් තිබුණු පවුලක් ලෙස ජීවත් වූ අප ආර්ථික වශයෙන් බෙහෙවින් ඇදවැටී තිබිණි. ඒ ගමේ ගුරුපාර දිගේ වයලීනයක් එල්ලාගෙන යන පාසැල් දැරියක් නිතර දැකිය හැකි විය. ඒ පිටිසර ගමේ වයලීනයක් එල්ලාගෙන යන දැරියකට සිටියේ ඇය පමණි. මට වඩා වසර කිහිපයකින් වැඩි මහලු ඇය මේ අමුතු භාණ්ඩය රැගෙන යනු දැකීම අමුතු දර්ශනයක් විය. එය මගේ සිතේ කා වැදී තිබිණි. වසර විසි ගණනකට පසු වයලීනය රැගෙන යන කෙල්ල පිළිබඳ චිත්තරූපය ආඛ්‍යානයක් බවට වර්ධනය විය. ඒ කුරුලු හදවත නවකතාවේදීය. එහෙත් නවකතාවේ එන ඒ කෙල්ලත් සැබෑ ජීවිතය වයලීනය රැගෙන ගිය කෙල්ලත් අතර කිසිම සමානතාවක් නැත. එහෙත් ඒ පිටිසර ගමෙහිදී වයලීනයක් අතට ගත් කෙල්ලක ජීවිතය වෙතින් අපේක්ෂා කරන්නට ඇත්තේ මොනවාදැයි මම පසු කලෙක මෙනෙහි කළෙමි. පිටිසර ගම්වල පාරවල් දිගේ පාසල් යන දරුවන් දකින මට අදත් සිතෙන්නේ ඔවුන් තමන් හසුව සිටින යථාර්ථයට එරෙහිව කැරලිගසන්නන් ලෙසය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය යනු ඥානය ලබා ගැනීමේ මාර්ගයක් පමණක් නොවේ.
කුරුලු හදවත පළ වී එය බෙහෙවින් කතාබහට ලක් වුණු අවස්ථාවෙහි මට අහම්බෙන් අර වයලීනය රැගෙන ගිය කෙල්ල හමු විය. ඇය එවිට මැදිවියට ආසන්න මවකි. පාසල් යන කාලයේ අප ඈ ඇමතුවේ මල්ලවාරච්චි අක්කා යනුවෙනි. ඇය සංගීත ක්ෂේත්‍රයෙහි ඉදිරියට ගියේ නැත. මට නැවත හමුවන විට ඇගේ දරුවන් පවා මා ඇය මුලින්ම දකින විට ඇයට වඩා වයසින් වැඩිය.
මගේ නවකතාවෙහි එක් චරිතයක් ගැන ආරම්භ සිතිවිල්ල සැපයූයේ ඇය යැයි මම ඇයට කීවෙමි. ඇය බෙහෙවින් සතුටු වූවාය. එහෙත් ඒ නවකතාව කියවන ඇයට හමුවන චරිතය ඇයට වඩා බෙහෙවින් වෙනස් බව ඇය දකින්නට ඇත.
මෑතකදී මම ජයතිලක කම්මැල්ලවීරගේ සුළු තනි තිත නම් පොත කියවීමි. එය ඔහුගේ ජීවිතය පිළිබඳ මතක පොතකි. අපගේ සාහිත්‍ය ලෝකයකට එක්වී ඇති අලුත්ම චරිතාපදානමය මතක පොත එයයි. එහි එන හැටියට ඔහුගේ නවකතා සහ කෙටිකතා බොහොමයකට ඔහුගේ සැබෑ ජීවිතයෙහි තතු විෂය වී තිබේ. සැබෑ ජීවිතයේ සිද්ධි එලෙසින්ම පාහේ ප්‍රබන්ධ කථාවට පිවිස ඇත. මගේ නවකතා හා කෙටිකතාවල එවැනි සිද්ධි සොයා ගැනීම ඉතා දුෂ්කරය. සැබෑ සිද්ධිය මගේ පරිකල්පනය අවුලන්නට ඉඩ තිබේ. එපමණි.
එහෙත් මගේ කතා බොහොමයක් සැබෑ සිද්ධි යැයි විශ්වාස කරන අය සිටිති. එසේම මම ඇතැම් කතාවක සැබෑ පුද්ගලයන්ගේ නම් ගම්ද භාවිත කරමි. ඒ සඳහා මගේ සමීප මිතුරන් කීපදෙනෙකුගෙන් අවසර ගෙන තිබේ. “කවියෙකු සොයා“නමින් මගේ කතාවක් තිබේ. එහි අතුල සමරකෝන් නම් චරිතයක් ඇත. ඔහු මගේද මිතුරෙකු වන අතුල සමරකෝන්ය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි. එහෙත් මගේ කතාවෙහි අතුල කරන කිසිවක් ඔහු කවදාකවත් කර නැත. ඒ නිසා කතාවේ අතුල සහ සැබෑ ජීවිතයේ අතුල යනු එකෙක් නොවේ. එහෙත් ඇතැම්හු මේ මායාවට රැවටෙති. ඒ ප්‍රබන්ධ ක්‍රීඩාවෙන් මමද සතුටක් ලබමි. ප්‍රබන්ධ ලිවීමත්, කියවීමත් ආස්වාදනීය කාරණයක් බවට පත් කරන එක දෙයක් ලෙස සෙල්ලම් කිරීමට ඇති මනුෂ්‍ය ආශාවද නම් කළ හැකිය. එහෙත් සෙල්ලම් උද්යෝගයෙන් ඇරඹෙන ප්‍රබන්ධය, හුදු සෙල්ලමෙන්ම පමණක් විවර නොවන ලෝකයක් අප හමුවේ විවර කරයි.
මගේ ලේඛක ජීවිතයෙහි හැරවුම් ලක්ෂයක් වැනි පොත මහාපුරුෂයෙකුට බිරිඳක්ව යන පොතයි. එය ලියෝ ටොල්ස්ටෝයිගේ ජීවිතය පිළිබඳ බි්‍රතාන්‍ය ලේඛිකාවක වන සින්තියා ඇස්ක්විත් ලියූ චරිතාපදානයකි. එහිදී වැඩි අවධානය යොමු වන්නේ ඔහුගේ විවාහ ජීවිතය වෙතයි. 1996 දී පළ වූ මේ පොත තවමත් ජනප්‍රියය. ඒ පොත සාහිත්‍ය ලෝකයේ කේන්ද්‍රය කරා මා රැගෙන ගියේය. අදත් මම පරිවර්තන ක්‍රියාවලියේද දිගටම යෙදී සිටිමි.
කුලියාපිටිය, වැලිපිල්ලෑව වැවේ කරණම් ගසමින් සිටි කාලයක හදිසියේ මෙන් ඇදී ගිය සාහිත්‍ය ලෝකය දැන් මගේ ලෝකයයි. ඒ ලෝකයෙහි ස්ථාවර ස්ථානයක් දැනටත් මට හිමි වී ඇතත්, තවත් බොහෝ කෘති පළ වීමට තිබේ.
(2021 වසරේදී සති අග අරුණ පුවත්පතේ පළ වූ ලිපියකි)
මේ ලිපිය කියවා කලින් කමෙන්ට් කළා මතකයි. එක හේතුවක් මෙහි කියවෙන තිලක් චන්ද්‍රසේකර ලේඛකයා ලියූ නවකතාවක් ගැන තොරතුරු මා දැන් දිගු කලක සිට සොයන බැවිණි. ඒ නවකතාවට පසුබිම වී තිබුණේ එතෙර විශ්වවිද්‍යාලයකි.
ReplyDelete