Monday, August 29, 2022

මූලධර්මවාදියාට සාහිත්යිකත්වය වටහා ගත හැකිද? මරා දැමුණු තවත් ලේඛකයෙකු ගැන රචනයක් - ලියනගේ අමරකීර්ති

  




තමා ද සැටනික් වර්සස් නවකතාවෙන් කියවා ඇත්තේ පිටු දෙකක් පමණක් බව සල්මාන් රුෂ්ඩිට පිහියෙන් ඇණ මරාදමන්නට තැත් කළ විසි හතර හැවිරිදි හඩි මතාර් පිළිගත්තේය. ඒ ඔහු බන්ධනාගාරයේ සිට ලබාදුන් වීඩියෝ සාකච්ඡාවකදීය. “මිනිහ මැරුණෙ නෑ කියල ආරංචි වුණට මට පුදුම හිතුණා”යිද ඔහු කීවේය.

ඒ නවකතාව මුල සිට අගට කියවා නැති බව ඔහු නැවතත් කීය. 

ලෙබනන් ජාතික දෙමාපියන්ට දාව ඇමරිකාවේදී උපන් මතාර් හොඳින් උගනිමින් සිටියේය. අවුරුදු විස්සේදී සිය දෙමාපියන් සමග ලෙබනනයේ කළ සංචාරයකින් පසු ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව ඔහුගේ මව කීවාය.

තමන් රුෂ්ඩිට අකමැති බවත්, අයතොල්ලා කොමෙයිනිට ගරු කරන බවත් මතාර් කියා සිටියේය.  

රුෂ්ඩිගේ පොතට විරුද්ධව ඔහු මරා දමන්නට ඉදිරිපත් වූ බොහෝ දෙනෙක් පොත කියවා ඇති අය නොවෙති. එම ලේඛකයාට මරණ දණ්ඩනය පැනවූ කොමෙයිනි ඉන් පිටු දෙකක් පමණවත් කියවා නොතිබිණි. 





                               සාහිත්යිකත්වය

සාහිත්‍ය කෘති නිසා කුපිතව ලේඛක ලේඛිකාවන් මරා දමන්නට තැත් කරන අන්තවාදීන් ඒ පොත් සම්පූර්ණයෙන් කියවූයේ වුවත් ඉන් වෙනසක් සිදුවේද? අර්ථවත් කෙටි ලිපියකදී මේ ප්‍රශ්නය අසන්නේ ඇරිසෝනා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජොනතන් බේට්ය. ඔහුගේ ලිපිය පළ වූදාම ලංකාවේ පළ වූ මගේ ලිපියකින්ද මම මේ ප්‍රශ්නය ඇසුවෙමි. ඒ ලිපිය පළ වූයේ අගෝස්තු 28 වෙනිදා සති අග අරුණ පුවත්පතේය. අප දෙදෙනාම අසන ප්‍රශ්නය මෙයයි:

දැඩි ආගමික මතවාද තුළ සිර වී ලෝකය සහ ජීවිතය දෙස බලන එක් තනි ආධානග්‍රාහී හෙවත් තම මතයෙහි එල්බගත් කෙනෙකුට සංකීර්ණ සාහිත්‍ය කෘතියක් තේරුම්ගත හැකිද? ද සැටනික් වර්සස් නවකතාව ලියැවී තිබෙන්නේ හුදු තාත්ත්වික යථාර්ථවාදී ශෛලියකින් නොවේ. එහි නොයෙක් දේවදූතයන්, යක්ෂයන් වැනි අධිස්වාභාවික චරිතයෝ වෙති. ප්‍රබන්ධමය වශයෙන් ක්‍රීඩාශීලී වූ, සෙල්ලම්කාරකමින් යුතු සිහිනමය දර්ශන තිබේ. සමහර අවස්ථා මායා යථාර්ථවාදී වේ. ඒ කිසිවක් වාච්‍යාර්ථයෙන් ගත නොහැකිය. ආගමික අන්තවාදියා වචනය අවබෝධ කරන්නේ දැඩිතර වාච්‍යාර්ථවත් ප්‍රවේශයකිනි. සාහිත්යික අර්ථයකින් නොවේ. සාහිත්යික අර්ථය වාච්‍යාර්ථය ඉක්මවා රූපකමය තලයකට එසවේ. ආගමික අන්තවාදියා හෝ ගතානුගතික දැඩිමතධාරියා එසේ නොවේ. එය රුෂ්ඩි පිහියෙන් ඇන්න මතාර්සේ සිට පොල් ගෙඩිය කෙළින් කරන සෙව්වන්දි සිට නාගලොවෙන් නාග ඍාජයෙකු කැඳවූ කැළණියේ ලොකු සාදු දක්වා අදාළය. ඔවුන්ට නාගලොව සහ නාග රාජයා යනු රූපකාර්ථවත් නොව වාච්‍යාර්ථවත් දේය. නයා බෝතලේකට දමා පෙන්වන්නේ ඒ නිසාය. ඒ අය එක තනි මිනිසෙකුට පිහි පහර එල්ල නොකළහ. එහෙත් රටක් අහේනියට හෙළන නායකයෙකු පත් කරන්නට දායක වූහ. බොහෝ දෙනෙක් පෝළිම්වල මිය ගියහ.

කෙටි කලකින් බොහෝ දෙනෙකුගේ හාස්‍යයට ලක් වූ එවැනි මිත්‍යා මතවලට වඩා ආගමික මූලධර්මවාදය භයානකය. ආගමික මූලධර්මවාදියා තම ආගමේ එන තෝරාගත් ඉගැන්වීම් සදානොවෙනස් සත්‍යය සේ ගෙන ඒවා අකුරට පිළිපදින්නටත්, සෙසු ලෝකය ඒ මූලධර්මයට අනුව කපා කොටා සකසන්නටත් තැත් කරයි. මහාචාර්ය බේට් ප්‍රකට විද්වතෙකු වන මහාචාර්ය ටෙරී ඊගල්ටන්ගේ වැකියක් උපුටා දක්වයි: 

“මූලධර්මවාදය යනු භාෂාව පිළිබඳ වරද්දාගත් න්‍යායකි.” ඔහු එසේ කියන්නේ මූලධර්මවාදියා යම් පඨිතයක එන වචන වාච්‍යාර්ථයෙන් ගත යුතු යැයි සිතන බැවිනි. නොඑසේ නම් මූලධර්මවාදියා යම් පඨිතයක් සලකන්නේ එය එහි කර්තෘගේ නොසැලෙන විශ්වාසයක හෝ ඇදහිල්ලක ප්‍රකාශනයක් සේය. අදාළ පඨිතය ආගමික හෝ ලෞකික විය හැකිය. ඒ නිසා මූලධර්මවාදය යනු රූපකය, සංකේතය, උත්ප්‍රාසය, උපමා කතාව, කලම්ඹනය (හෙවත් ඇවිස්සීම), සංදිග්ධතාව (අර්ථය අනිශ්චිතතාව) ආදී සාහිත්යික ප්‍රයෝග කෙරෙහි අන්ධ වූවකි. මෙය හුදෙක් ආගමික මූලධර්මවාදියාට පමණක් නොව දේශපාලන මූලධර්මවාදියාටද අදාළය.



                                            Hugo Bettauer 


                             හියුගෝ බෙටාවර්

   මෙම කාරණයට නිදර්ශනයක් ලෙස මහාචාර්ය ජොනතන් බේට් මරා දැමුණු තවත් නවකතාකරුවෙකු ගැන සිය රචනයෙහි විස්තර කරයි. ඒ ලේඛකයා සහ කෘතිය ගැන මා මුල් වරට දැනගත්තේ එම රචනයෙනි.


  1922 දී හියුගෝ බෙටාවර් නම් ලේඛකයා සිටි විතවුට් ජූව්ස් හෙවත් යුදෙව්වන්ගෙන් තොර නගරය නමින් නවකතාවක් ලිව්වේය. පිටපත් මිලියන බාගෙයක් පමණ අලෙවි වූ එය ජාත්‍යයන්තර වශයෙන් ප්‍රකට නවකතාක් වූයේය. 1924 වර්ෂයේදී ඉන් නිහඬ සිනමා කෘතියක්ද නිර්මාණය විය. ඉන් වැඩිකල් නොයා ඔහුගේ කාර්යාලයට කඩා වැදුණු නට්සිවාදී තරුණයෙක් ලේඛකයාට වෙඩි තැබුවේය. දෙසතියක් ජීවිතය හා මරණය අතර සටනක යෙදුණු එම නවකතාකරු මියගියේය.


එකල වියානා නගරයේ පෝසතුන් සහ දුප්පතුන් අතර විශාල පරතරයක් විය. ඉනර් සිටි හෙවත් ඇතුළු නුවර අතිවිශාල ධනවතුන් වාසය කළ අතර එහි බැංකු, සංස්කෘතික ආයතන, ඔපෙරා රංගශාලා, නාට්‍ය ශාලා ආදී ඉහළ පාන්තිකයන්ගේ කේන්ද්‍ර පැවතිණි. යුදෙව් ජනයා වැඩි වශයෙන් වාසය කළේ මෙම වරප්‍රසාදිත කොටසෙහිය.ඇතුළු නුවරින් පිට වැඩ කරන ජනයා ජීවත් වූ ප්‍රදේශවල වූයේ දැඩි දුගීභාවයකි. ඒ නිසා අර ධනවතුන් කෙරෙහි දැඩි කෝපයක්ද පැවතියේය. 

 මෙකල ජනප්‍රිය ජාතිකවාදී නගරාධිපති වියානා නගරාධිපති කාල් ලුයෙගර් මේ දුප්පතුන්ගේ කෝපයෙන් වාසිගන්නට සිතා නගරයේ පන්ති පතරයෙහි වරද යුදෙව් ජනතාව මත පටවන කතා පවත්වන්නට පටන්ගත්තේය. මේ පළමු ලෝක යුද්ධය ආසන්නයේය. එනම් 1915-19 කාලයටත් පෙරය. ඔහුගේ කතා නිසා ඇවිලුණු යුදෙව් විරෝධය කෙතරම්ද යත් ජර්මනියේ බර්ලින් නගරයටත් වඩා දැඩි යුදෙව් විරෝධයක් වියානා නගරයේ වූ බව පසු කලෙක හෙළි විය. කාල් ලුයෙගර් විසින් සපයන ලද දේශපාලන ආදර්ශය ඇසුරින් නව දෘෂ්ටිවාදයක් ගොඩනැගීමට වියානා නගරයේ දුප්පතුන්ගේ කොටසෙහි කුඩා කුලී නිවසක වාසය කළ දුප්පත් චිත්‍ර ශිල්පියෙක් සිතාගත්තේය. ඒ වූකලි ඇඩොල්ෆ් හිට්ලර්ය.

ඉන් පසු සිදු වූ දේ අපි කවුරුත් දනිමු.


අපේ රටේ වඳ කොත්තුව, වඳ යට ඇඳුම, සහ පැලෝපීය නාලය ආදිය දේශපාලන බලය ගැනීමේ මාතෘකා වූ සැටි සිහි කරන්න. විමල් වීරවංශලා, රතන සාදුලා, චන්න ජයසුමනලා සමාන වන්නේ කාටද යන්නත් ඒ අතර සිහි කරන්න.


මරා දැමුණු නවකතාකරු හියුගෝ බෙටාවර් උපතින් යුදෙව්වෙකු වුවද පසු කලෙක ක්‍රිස්තියානි ආගම වැළඳගත්තේය. එහෙත් ඔහු සිය සංස්කෘතික මුල් අත්නොහළේය. පුවත්පත් කලාවේදියෙකු වූ ඔහු නවකතා බොහෝ ගණනක් ලිව්වේය. ද සිටි විතවුට් ජූව්ස් යනු ප්‍රහසනාත්මක නවකතාවකි. යුදෙව් ජනයාගෙන් වියානා නගරය සුද්ද කර දමා ගොඩනගන පාරිශුද්ධ වියානාවක් ගැන ප්‍රහසනාත්මක සිද්ධිවලින් පිරී ඇත.

වියානා නගරය යුදෙව්වන්ගෙන් තොර කරන ලද පසු එහි ආර්ථික කඩා වැටී විනාශ වන සැටිද නවකතාවේ එයි. මේ 1922 වර්ෂයේදී බව සිහි කරන්න. දෙවෙනි ලෝක යුද්ධය ඇතිවීමට අවුරුදු 17කට පමණ පෙරය. මේ නවකතාව පාදක කර ගත් නිහඬ සිනමා කෘතිය 1924 දී බිහි වූ විට එය දෙවෙනි ලෝක යුද්ධයේදී සිදු වීමට නියමිත යුදෙව් සංහාරය පෙරදකින්නක් සේ විය.

ඒ වන විට වියනාවේ නට්සි ව්‍යාපාරය නැග තිබුණේය. 1925 මාර්තු මාසයේදී විසි හැවිරිදි ඔටෝ රොත්ස්ටොක් නම් නට්සිවාදී තරුණයා නවකතාවේ කර්තෘ බෙටාවර් මරා දමන්නට තීරණය කළේය. එහෙත් මිනීමරුවාගේ නීතිඥයාද ඕස්ටි්‍රයානු නට්සි පක්ෂයේ කලක් නායකයාද වූයේය. මිනීමැරුම කරන ලද්දේ මානසික රෝගයක් නිසා යැයි තර්ක කළ ඔහු ඝාතකයා බේරාගත්තේය. ඔහුට ලැබුණ දඬුවම මානසික රෝහලක මාස 18ක් ගෙවීම පමණි. 

එහෙත් උත්ප්‍රාසාත්මක කාරණය මෙයයි: ද සිටි විතවුට් ජූව්ස් නවකතාව ඇසුරින් කළ සිනමා කෘතියේ තිරනාටක රචනයට දායක වූ යුදෙව් ජාතික කාන්තාවක වූ අයිඩා ජෙන්බාක් නට්සි ඝාතක කඳවුරකදී මරා දැමිණි.

  අද ලංකාවේ සනත් නිශාන්තලා නිදහසේ සිටින අතර වසන්ත මුදලිගේලා හිරේ යන තත්ත්වය කෙනෙකුට සිහි වුවහොත් පුදුමයක් නොවේ. 


1 comment:

  1. Thank you so much for enlightening us about Hugo Bettauer the novelist. I can imagine how people of your caliber are moved by the sorry state of affairs of this country.Time for all artists to be unite .

    ReplyDelete