Friday, September 2, 2022

ප්‍රබල කෙටි නාට්‍ය මාලාවක අර්ථ කලාප- ලියනගේ අමරකීර්ති

 

   




 

නාට්‍ය රසිකයන්ට මුලින්ම කියන්න ඕනෙ දෙයක් තමයි. කෙටි නාට්‍ය බලන හුරුව ඇති කරගන්න කියන එක. තේමාත්මක වශයෙන් ගැඹුරු, කල් පවත්නා ගුණයෙන් යුතු ස්වතන්ත්‍ර දිග නාට්‍ය සිංහලෙන් ලියවෙන්නෙ කලාතුරකින්.

කෙටිනාට්‍ය එහෙම නෙමෙයි. ඉතා දීප්තිමත් කෙටි නාට්‍ය තරුණ රචකයින් අතින් ලියවෙනවා.

 සචිත්‍ර රාහුබද්ධගෙ කෙටි නාට්‍ය තුනක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංග පීඨයේ රඟ දැක්වුණා. ඒවා අධ්‍යක්ෂණය, රචනය, වගේම රංගනය සහ සංගීතය වගේ අංග අතින් ඉතා ඉහළයි.

නාට්‍ය දර්ශනයක ඒ නාට්‍යකරුවාගේ නම දැක්කොත් ගිහින්න බලන්න ඕනෙ.


කෙටි නාට්‍යයක් කියන්නෙ ඉතා සීමිත කාලයකට අපිව ග්‍රහණය කරගෙන සාපේක්ෂ වශයෙන් ක්ෂුද්‍ර ජීවන අවස්ථාවක් මත කරන තීව්‍ර රංගමය භාවනාවක් මගින් අන් ලෙසකින් නොලැබිය හැකි අන්තර්දෘෂ්ටියක් කරා අපිව අරන් යන ශානරයක්. ඒක ගොඩක් දුරට කෙටිකතාවට සමානයි. ඒ වගේම කෙටි නාට්‍යයකරුවාට භාවිතයට ගත හැකි ප්‍රතිනිර්මාණ තාක්ෂණත් විවිධයි.

ඒ වගේ තමන් තෝරගත්තු ජීවන අවස්ථාව තාත්ත්විකත්වයෙන් තරමක් ඈතට අරන් යන්න කෙටි නාට්‍යකරුවාට තියෙන අවසරය විසාලයි. ඒ අවසරය කෙටිකතාකරුවාට තියෙන අවසරයටත් වැඩියි වගේ. ඒ නිසා ඔහොම ඒව වෙන්න පුළුවන්ද කියල කෙටි නාට්‍යයකින් අහන්න අමාරුයි. හැබැයි නාට්‍යයේ තේමාත්මක තීව්‍රතාව හරියටම තියෙනකොට.

මේ නාට්‍යකරුවා හොඳ රචකයෙක්. අධ්‍යක්ෂකවරයෙක්. ඔහු යෞවන සම්මාන, රාජ්‍ය සම්මාන ආදී උත්සවවල පිළිගැනීමක් දිනා තියෙනවා.

ඊයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී රාහුබද්ධ කෙටි නාට්‍ය තුනක් වේදිකා ගත වුණ කෙටි නාට්‍ය තුනක් ගැන මේ පොඩි රචනය.






එක නාට්‍යයක නම- කැප නං

ඒකෙදි  තෝරාගත් අවස්ථාවක්  රංගමය වශයෙන් තීව්‍ර කරනවා. ඒ කියන්නෙ අත්දැකීමේ ගුණය දැඩි කරනවා. විනාඩි කීපයකට අදාළ අත්දැකීම සංකෝචනය කර ඒ අත්දැකීමෙන් අර්ථ උකහාගන්නවා.

තරුණ භික්ෂුවකට පන්සලක උරුමය ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේගේ ගුරු හිමි හෙවත් පණ්ඩිත හාමුදුරුවෝ අපවත් වෙලා.

මේ වෙලාවෙ පන්සල් වැනි සංස්කෘතික උරුමය අලුත් කරන ව්‍යාපෘතියක් ආණ්ඩුවෙන් ක්‍රියාත්මක කරනවා. මේ හාමුදුරුවො ඒ අවස්ථාව අල්ලගෙන තමන්ගෙ පන්සල අලුත් කරන්න හදනවා. පන්සලේ තියෙන පැරණි පිළිම ආදිය බිඳ දමා අලුතින් පිළිම හදන්නයි සැලැස්ම. ඒ පරණ පිළිම බිඳ දැමීමේ කාර්ය බාර වෙන්නෙ පියදාස නමැති මහලු දායකයෙකුට. ඔහුගෙ පවුලෙ පරම්පරා තුනක්ම වගේ මේ පන්සල ආශ්‍රිතවයි හැදිල වැඩිල තියෙන්නෙ. ඒ පිළිම හුදු මැටි ගොඩවල් නෙමෙයි. ඔහුගෙ විඥානය ඇතුළෙ ජීවමාන චරිත. ඔහුගෙ සහ ඔහුගෙ මිණිබිරියගේ පවා විඥානමය සිතියමේ ඒ පිළිම ජීවත් වෙනවා. ඔහුට ඒවා බිඳ දමන්න බෑ.

ඒත් මේ භික්ෂුව මෙකල පන්සලවල නිතර දකින්න ඉන්න ස්වරූපයේ  ව්‍යාපාරික භික්ෂුවක්. පන්සල ඇසුරින් සල්ලි හොයන්න දක්ෂයෙක්. සිවුර පාවිච්චි කරල නොයෙක් ධන පරිත්‍යාග කරව ගන්න දක්ෂයෙක්.

මේ දෙන්නා අතර ගැටුම හටගන්නෙ අර පිළිම වහන්සේලාට කුළු ගෙඩියෙන් ගසා බිඳ දැමීම පියදාස ප්‍රතික්ශේප කිරීමත් එක්ක.

මේ දෙන්නා අතර සංවාදය අදාළ නළුවන් රඟපාන ආකාරය අතිවිශිෂ්ටයි. ඒ නළුවන්ගෙ නම්ගම් පවා මම දන්නෙ නෑ. පියදාස චරිතය රඟන තරුණ නළුවා විශේෂ දක්ෂයෙක්. ඔහු අපේ ගැමි විඥානයේ බෞද්ධ සංස්කෘතික අංග සජීවීව පවතින ආකාරය රඟපා පෙන්වන ආකාරය බලන්න ලස්සනයි.

තරුණ භික්ෂුව සේ රඟන තරුණ කඩවසම් නළුවා වර්තමාන බොහෝ තරුණ භික්ෂූන්ගේ ස්වරූපය සිය ශරීරය පවා මගින් සංකේතවත් කරනවා. අපේ ශරීරය දවසක විනාශ වන කුණපයක් සේ සලකන බවක් වර්තමාන බොහෝ භික්ෂූන්ගෙන් පේන්නේ නෑ. තමාගේම ශරීරය නඩත්තුව භික්ෂූත්වයේ ප්‍රධාන කාර්යක බව පෙන්වන රූපලාවණ්‍ය භික්ෂුව "ටෙලි ෂෝ බෞද්ධකම" නිසා වැඩි වුණා. මේවා මේ නාට්‍යයෙන් වෑහෙන සියුම් ඉඟි අරුත්.

ධනේශ්වර වෙළඳපොළ තුළත්, ආගමික ස්ථානවල බාහිර ස්වරූප අධිනිශ්චය වී ආගමික ව්‍යාපාරික ස්ථාන බවට පත් වූ සමාජයක සහ ඓතිහාසික අවස්ථාවකට භික්ෂුව සහ ගිහියා මේ නාට්‍යයෙහි නිරූපණය වන්නේ ඒ දෙදෙනාම ගැන අනුකම්පාවක් ඇති වන ලෙස. වර්තමාන ලංකාවේ නිතර දැකිය හැකි ව්‍යාපාරික භික්ෂුව උපහාසයට ලක් කරන එක හරි ලේසියි. උන්වහන්සේ පවා අපද මැදි වී සිටින ඓතිහාසික තරංගයට හසු වී සිටින බව නිරූපණය කරන එක අමාරුයි. මේ නාට්‍යය අමාරු වැඩේ කරනවා.





                                    උත්පලවර්ණා

තමයි දෙවැනි නාට්‍යය. ඒක මේ නාට්‍ය තුනෙන් මම අඩුවෙන්ම කැමති නාට්‍යය. ඒත් කෙටි නාට්‍යයක් ගැන මම ඉහත කී බොහෝ දේ ඒ තුළත් තියෙනවා. නළුවා සහ නිළිය රඟපාන හැටි බලන් ඉන්න ආසයි.

මේකෙ තියෙන්නෙ මෙහෙම දෙයක්. තරුණ පෙම් යුවළක් තම සම්බන්ධතාවේ දෙවර්ෂ පූර්ණය සමරන්න සාමාන්‍ය පන්තියේ හෝටල් කාමරයකට යනවා. නාට්‍යය ආරම්භ වන විට උඩුකය නිරුවත් පෙම්වතා සිය රූමත් පෙම්වතියගෙන් රමණය අවසර ඉල්ලනවා. දෙන්නම ඇවිත් තියෙන්නෙ ඒ වැඩේ.

කොල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙ. කෙල්ල වෙන විශ්වවිද්‍යාලයක මැනේජ්මන්ට් උපාධියක් කරනවා. කොළඹ විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්. කොල්ලා පිටිසර ගොවියෙක්ගෙ පුතෙක්. කෙල්ල යමක්කමක් තියෙන මධ්‍යම පාන්තික පසුබිමක කෙනෙක්. ඇගේ පැහැපත් සම, හිසකෙස්, කතා විලාසය, හොඳින් පෝෂණය සහිත කෑමබීම ලැබුණු ජීවිතයක ලකුණු පෙන්වන රූමත් ශරීරය, සහ කතාවිලාසයේ ආචාරශීලී විනීතභාවය ආදිය කොල්ලට වඩා වෙනස් පසුබිමක් පෙන්වනවා.

 

හැබැයි සිය ආදරවන්තයා වෙනුවෙන් සිය ශරීරය විවරකොට රමණයෙහි ප්‍රීතිය ඔහුට ලබා දෙන්න ඇය මිලක් ඉල්ලනවා. රුපියල් පන්දාහක්. ඇගේ තර්කය ස්ත්‍රියගේ ලිංගික ශ්‍රමයට පෙම්වතා සමග සම්බන්ධයේදී පවා පිළිගැනීමක් තිබිය යුතු බව.

මේ කාරණයේදී මට පොඩි ගැටලුවකුත් තියෙනවා. ඇය මේ මිල කේන්ද්‍රීය උපයෝගීතා තර්කනයේ යෙදෙන්නේ ඇය කළමනාකරණ උපාධිකාරියක් නිසා බව ඇඟවෙනවා. කොල්ලා මිල තර්කනයෙන් ඈත් වුණු රොමෑන්තික ආදරවන්තයෙක් වන්නේ ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය ශිෂ්‍යයෙක් නිසා බවත් ඇඟවෙනවා. මම මේ විභේදනයට කැමති නෑ. කෙල්ල සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තන උපාධි අපේක්ෂිකාවක් වෙලා මේ කරන තර්කනයම කළා නම් මොකද? මම හිතන්නෙ ඒ තර්කයේ තේමාත්මක අගය ඉන් වැඩි වෙනවා.

හැබැයි මේ නාට්‍යය අවසන් වෙන විදියට මම කැමතියි. කෙල්ල සිය ශරීරය ඔහු වෙනුවෙන් විවර කරන්න පන්දාහක් ඉල්ලනවා. කොල්ලට සල්ලි නෑ. කෙල්ල තමන්ගෙ පන්දාහක් ඔහුට දී එය සංකේතමය විදිහට හෝ තමන්ට දෙන්නැයි කියනවා. ඒකෙදි අපට පේනව කෙල්ල ඉල්ලා සිටින්නේ ස්ත්‍රී ශරීරය නිසා පිරිමියා විඳින ප්‍රීතියේ මිල සහ වටිනාකම බව.

ලිංගික ප්‍රීතිය යනු ස්ත්‍රිය නිෂ්ක්‍රීය ලබන්නියක බවට පත් කරන්නක් නොවේ. කොල්ලා "කරන්නා" කෙල්ල "කරනු ලබන්නී" නෙමෙයි. දෙදෙනාම කාරකයො. දෙන්නම එකතු වෙලා දෙදෙනා සඳහාම ප්‍රීතිය නිර්මාණය කරනවා. අන්න එහෙම ලිංගික ප්‍රීතියක් ඉල්ලා සිටින කෙනෙක හැටියට ඇය තව ටිකක් මතු වුණා නම් හොඳයි.

 






තුන් වෙනි නාට්‍යය තමයි රත්මල් යහනක සැතපී. ඒක මම මෑත කාලෙ දැකපු විශිෂ්තම නාට්‍යයක්. පොලීසියක් තියෙනවා. මේ මහ රෑ. කොස්තාපල් කෙනෙක් පැමිණිලි අංශයේ තනියම ඉන්නවා. ඔහුට අටමස් ගැබිණියක වන බිරිඳගෙන් එන කෝල් එකකින් කියවෙන්නෙ ඇයට අඹ කන්නට දොල දුකක් තියෙනව බව. මේ වෙලාවෙ පැමිණිල්ලක් දාන්න අමුතු කෙනෙක් එනවා.






ඒ තමයි රිද්දි බිසව්. පහත රට ශාන්ති කර්මයක චරිතයක් කියමුකො. ඇය එන්නෙ පැමිණිල්ලක් කරන්න. ඒ තමයි තමන්ගෙ බිරින්දෑ ගැබ්බර නොවන ශාපයක් ගැන පැමිණිල්ලක් කරන්න. මේ නාට්‍යයෙ තියෙන පුරාණෝක්තිමය ලක්ෂණ නිසා අර්ථ තල ගණනාවක් තියෙනවා. අපට ආසන්නම අර්ථ තලය තමයි ලංකා භූමියම වඳ කරපු දේශපාලන ශාපය ගැන කරන ඉඟි. අපේ හේන් කුඹුරු පවා දැන් වඳයි. මේ ඉතා ආසන්න යථාර්ථය කියන්න නාට්‍යකරුවා යොදාගන්න ශෛලිය නියමයි.

 

මේ නාට්‍යයෙදි පොලිස් කොස්තාපල් කියන එක දෙයක් නිසා ඉතා වැදගත් අන්තර්දෘෂ්ටියක් විවර වෙනවා. කොස්තාපල් මෙහෙම කියනවා: කොස්තාපල් සාජන්ට බයයි, සාපන්ට එස් අයිට බයයි, එස්අයි අයිපීට බයයි, අයිපී ඩීඅයිජීට බයයි, ජීඅයිජී පොලිස්පතිට බයයි, පොලිස්පති ඇමතිට බයයි, ඇමති අගමැතිට බයයි, අගමැති ජනධිපතිට බයයි, ජනාධිපති? ජනාධිපති ජනතාවට බයයි. ජනතාව කාටද බය? ජනතාව කොස්තාපල්ට බයයි.

ඒක ඇත්ත. රාජ්‍යයක බල ව්‍යූහය පවතින්නෙ ජනතාව මහපාරෙදි කොස්තාපල්ට බය නිසා.

මෙතන තියෙන වැදගත් අන්තර්දෘෂ්ටිය තමයි බලය කියන ව්‍යුහය අපි කවුරුත් සහභාගි වෙන දෙයක් කියන එක. මේක ෆූකෝ අපිට කියල දුන්න දෙයක්. නාට්‍යකරුවා ඒ බලයේ ව්‍යූහය අප හමුවෙ අනාවරණය කරන්නෙ සිත්ගන්නා ලෙස. අන්න එතනදි පොලිස් කොස්තාපල් පැමිණිලකරු බවට පත් වෙනවා. රිද්දි බිසව් පැමිණිල්ල ලියාගන්නවා.

මේ නාට්‍යයේ සියලුම අංග විශිෂ්ටයි. රිද්දි බිසව් කතා කරන විට මහී කාන්තාව නගන අමුතු සංගීතය නාට්‍යයක් තවත් අර්ථ තලයක් එක් කරනවා.

 

  කෙටි නාට්‍යය කියන්නෙ පුදුමාකාර ප්‍රබල නාට්‍ය ශානරයක්. ඒ ශානරය රස විඳින්න කැමති අය සචිත්‍ර රාහුබද්ධ ගැන අවධානෙන් ඉන්න එක හොඳයි.

 

(ඡයාරූප - ආචාර්ය ජනක විජයකුලසූරිය)

 

 

 

 

 

 

No comments:

Post a Comment