Wednesday, October 14, 2020

රොබර්ට් ෆ්‍රොස්ට්ගේ “ආනන්දය” හා “ප්‍රඥාව” යනු කුමක්ද? ලියනගේ අමරකීර්ති



සාහිත්‍ය කලා ආදිය ගැන යම් පහසු නිර්වචනයක් කටපාඩම් වීමත්, එය පරම්පරාවක් විසින් නැවත නැවත කියනු ලැබීමත් හොඳ දෙයක් නොවේ. කෙටිකතාව යනු ඒකීය ධාරණාවකින් යුක්ත රචනාවකියි යන්න බොහෝ දෙනෙකුට කටපාඩම්ව තිබේ. එහි ඇති ගැටලු සහගත ස්වභාවය මම කෙටිකතා කලාව (2018 සරසවි)නම් පොතෙහිදී පෙන්වා දුන්නෙමි. එහෙත් අර කටපාඩම් ප්‍රකාශයෙහි සීමාසහිත බව ගැන මා ඉදිරිපත් කළ අදහස සාහිත්‍ය කලා ලෝකයෙහි පැතිරෙන්නට තව කලක් ගත වෙනු ඇත. නොඑසේ නම් එය අවධානයට ලක් නොවන්නටද ඉඩ තිබේ. අර වැනි අතිසරල කළ අදහස් පාඩම් කරවීම සාහිත්‍ය අධ්‍යාපනය නමින් නිතර සිදු වේ. තරග විභාගවලට ලක්ෂ ගණනක් සිසුන් සූදානම් කරන විට සිදුවන්නේ එයයි.

    එවැනි සහතික අධ්‍යාපනය තුළ සරල කියමන්, නිර්වචන ආදිය පාඩම් කරවීම තේරුම් ගත හැකිය. එහෙත් තරුණ සාහිත්‍යකරුවන් අතරද එක නිර්වචනයක් දෙකක් පැතිරයාම හොඳ නැත. ඒවා ගැන නැවත සිතා බැලීම අවශ්‍ය වේ. කවිය ආනන්දයෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් අවසාන වන්නේය යන රොබර්ට් ෆ්‍රොස්ට්ගේ ප්‍රකාශයක් අප අතර බෙහෙවින් ජනප්‍රියව තිබේ. එය කවිය මනින නිර්ණායකයක් සේ නිතර භාවිත වෙනු පෙනේ. එය නරක අදහසක් නොවේ. එහෙත් එය නිර්ණායකයක් සේ භාවිත කළ විට ඇති වන ගැටලුද තිබේ. තවත් විධිවල හොඳ කවි ඊට හසු නොවීම එක් ප්‍රශ්නයකි.

   කවිය ආනන්දය තුළින් ඇරඹී ප්‍රඥාවෙන් අවසන් වේ යැයි කී රොබර්ට් ෆ්‍රොස්ට් මගේද ප්‍රියතම කවියෙකි. ඔහුගේ ඇතැම් කවි මම නැවත නැවත කියවමි. ඔහු තමාටම ආවේණික ආකාරයෙන් සාහිත්‍ය විචාරයේද යෙදුණ කෙනෙකි. ඔහු නොයෙක් අවස්ථාවල ලියූ සාහිත්‍ය විචාරමය රචනා රැසකි. සාහිත්‍යය සහ කවිය සම්බන්ධයෙන් ඔහු පැවති සම්මුඛ සාකච්ඡාද බොහෝ ගණනක් තිබේ. එසේම ඔහු ලියූ පෞද්ගලික ලිපිවලද සාහිත්‍යමය කරුණ විසිර තිබේ. එවන් පෞද්ගලික තවමත් හමු වේ. ඒවා විටින් විට පළ වේ. ඒ නිසා ෆ්‍රොස්ට් වැනි පොහොසත් සාහිත්‍ය මනසක් තිබුණු කෙනෙකුගේ නම එක සරල අදහසක් සමග පමණක් ඈඳී පැවතීම උචිත නැත.

  මෙම රචනයෙහි අරමුණ ඔහු සාහිත්‍ය කලා ආදිය ගැන, විශේෂයෙන් කවිය ගැන, කී තවත් අදහස් කිහිපයක් හඳුන්වා දීමය. එහෙත් මෙම රචනය පවා ඔහුගේ සමස්ත සාහිත්‍ය දෘෂ්ටිය හකුලා දක්වන්නේ යැයි ගත යුතු නැත. මා මේ ලියන්නේ මා දන්නා ටිකෙන් ටිකකි. 

   

   1939 වර්ෂයේ ෆ්‍රොස්ට් පළ කළ එකතු කළ කවි පොතට පිටු හතරක ලිපියක් ලිව්වේය. ඒ ලිපියෙහි මාතෘකාව   "The Figure a Poem Makes” නම් වේ. කවිය ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් අවසන් වේ යන අදහස ප්‍රකාශ වන්නේ ඒ කෙටි ලිපියෙහිය. එය කෙටි වුවද බෙහෙවින් සාරවත් රචනයකි. ඒ නිසා මෙම එක වැකිය ඉන් ඉවතට ගෙන කටපාඩම් කරගැනීමට වඩා, ඒ සමස්ත රචනෙයහි අදහස වටහා ගැනීම උචිතය. අර තනි වැකියෙහි හාත්පස දෝංකාරයටද සවන් දිය යුතුය.

   ඒ රචනය ආරම්භ වන්නේ මෙවැනි වැකියකිනි: වියුක්තකරණය දාර්ශනිකයන් හා සම්බන්ධ පරණ කතාවකි. එහෙත් එය අපේ යුගයේ කලාකරුවන් අත සෙල්ලම් බඩුවක් බවට පත් වී තිබේ. ඉන් පසු ඔහු එම රචනයෙහි ලියන බොහෝ වැකි පහසුවෙන් සාරාංශ කළ නොහැකිය. එයද කවියක් වැනි රචනාවක් බැවිනි. ඉහත ආරම්භක වැකියෙන් ෆ්‍රොස්ට් දාර්ශනියක වියුක්තකරණයට අකැමැත්ත ඉඟි කරයි. එහිදී ඔහු විරෝධය පාන්නේ දුෂ්කරත්වය අගය කළ නූතනවාදී කවියන්ට විය හැකි යැයි ඇතැමෙක් කියති. මෙම කෙටි රචනය ගැන තවත් බොහෝ රචනා ලියැවී ඇති බැවින් කෙනෙකුට ඒ රචනා පහසුවෙන් සොයාගත හැකිය. 

   රොබර්ට් ෆ්‍රොස්ට් කවියෙහි ශබ්දය ගැන විශේෂ අවධානයක් යොමු කළේය. ඔහුගේ බොහෝ කවි හඬ ගා කීමට පුළුවන. ඔහුද ඔහුගේ කවි නිතර හඬගා කියෙව්වේය. “ශබ්දය යනු යපස් ගොඩෙහි ඇති රත්තරන්” යැයි සිය රචනයේදී ෆ්‍රොස්ට් කියයි. කවියා තම සෑම කවියක්ම එකිනෙකින් වෙනස් ශබ්දයෙන් යුතුව සංරචනය කිරීමේ වැදගත්කම ගැනත් ඔහු ලියයි. එහෙත් ඒ සඳහා ස්වර, ව්‍යංජන වාක්‍යාංශ, වාක්‍ය වින්‍යාස ආදියෙහි පිහිට පමණක් ප්‍රමාණවත් නැතැයි ෆ්‍රොස්ට් දකියි. කවියෙහි විෂයද (විෂය වස්තුවද) අවශ්‍ය වේ. එහෙයින් ඔහු කතා කරන්නේ කවියෙන් නැගෙන හිස් ශබ්දයක් ගැන නොවේ. සන්දර්භය, අර්ථය, විෂය වස්තුව යන තුන එහිලා මහත් උපකාරයකි. එහෙයින් ෆ්‍රොස්ට් කවියෙහි ශබ්දය යැයි ඔහු දකින දේ මතුවෙන්නේ වාග්මය සම්පත්වලින් පමණක් නොවේ. අර්ථමය ශබ්දයක්ද කවියක තිබේ. 

   ආනන්දයේ සිට ප්‍රඥාවට යන ගමන යන අදහසද රූපකයකි. එය ප්‍රඥාව යන වචනය අපගේ සිංහල මනසට නගන්නේ බුදුන් ලද බුද්ධි ශක්තිය වැනි දෙයකි. ගැඹුරු මුණිවර දැක්මකි. එහෙත් ෆ්‍රොස්ට්ගේ රචනයෙහි ප්‍රඥාව යන්න හුදෙක් එවැනි අරුතක්ම ගන්නේ යැයි කිව නොහැකිය. ප්‍රඥාව යන්න බුද්ධත්වය වැනි දේකට මෙහා දෛනික ජීවිතයෙහි ප්‍රඥාවේ සිට විවිධ විවිධ මට්ටමේ අන්තර්දෘෂ්ටි දක්වා ගමන් කරන්න පුළුවන. ආනන්දයෙන් ප්‍රඥාවට යන්නට තැත් කරන අපේ බොහෝ කවීන් මහා පාරභෞතික සත්තාවක්ම ලුහු බඳින බව පෙනේ. එහෙත් ෆ්‍රොස්ට් අදහස් කරන ප්‍රඥාව ඊට බොහෝ මෑත අඩවියක පවත්නා දෙයක් වන්නට පුළුවන. “එය ජීවිතය පිළිබඳ පැහැදිලි කිරීමක්” වැනි දෙයක් විය හැකි බව ෆ්‍රොස්ට්ම කියයි. ඒ පැහැදිලි කිරීම ආගමික කණ්ඩායම්වලට දෘෂ්ටිවාදී පදනම සපයන “මහා පැහැදිලි කිරීමක්” විය යුතු නැති බවද ඔහු කියයි. එහෙත් ඒ ප්‍රඥාව ජීවිතය නමැති මහා වියවුල පිළිබඳ මොහොතක පැහැදිලි කිරීමක්, ඒ ජීවිතය නමැති වියවුලෙන් මොහොතක බේරී සිටීමක් වැනි දෙයක් විය හැකි බවද ඔහු කියයි. 

   එහෙත් කවියෙහි ආරම්භයේදීම තමන් යමින් සිටින්නේ කවර නම් ප්‍රඥාව දෙසටදැයි රසිකයාට අනාවැකි කිව හැකිනම්, එය ආනන්දයවත්, ප්‍රඥාව වත් සේ බාර ගැනීමට ෆ්‍රොස්ට් අකමැතිය. කවියෙහි අවසානයෙහි සිදුවන දේ “හැතැම්මකට කලින්ම දැනගන්න” ලැබීම උචිත නැති බව ඔහු 1959 දී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කියයි. 

   ආනන්දය හටගන්නේ තමන් කලින්ම දැන සිටියේ යැයි නොදැන සිටි දෙයක් හදිසියේ මතක් කිරීමට කවියට ඇති හැකියාව නිසා යැයිද ෆ්‍රොස්ට් කියයි. එසේ නම් කවියෙහි ආරම්භයේදීම සිදු විය යුතු දේ නම් අපගේම හුරුපුරුද්ද සහ දෛනික වේගය තුළ අපටම අමතකව ගිය යමක් නැවත මතක් කිරීම වැනි දෙයකි. මෙය කරන්නේ කෙසේද යන්න ගැන සූත්‍ර නිපද විය නොහැකිය. කවියා අප ජීවිතයෙහි අවස්ථාවල පිහිටුවන ආකාරය නිසා අප “හදිසියේම ඒ ස්ථානයට වළාකුළක් වෙතින් ඇද වැටිණියි හෝ පොළොව පළාගෙන මතු වී ඇතැයි අපට” දැනේ. මා උද්ධෘත තුළ පිහිටුවා ඇත්තේ ෆ්‍රොස්ට් මෙම කාරණය විස්තර කරන්නට භාවිත කරන රූපකාත්මක යෙදුම්ය. එය අපූරු රූපකයකි. හොඳ කවියක් තුළට අප ඇතුළු වූ වහාම අපට දැනෙන්නේ වළාකුළක් මත පාවෙමින් සිටි අප අලුත්ම ජීවිත අවස්ථාවක් වෙත ඇද වැටී ඇති බවය. එහෙත් එය අමුතුව අවස්ථාවක් නොවේ. අපට අමතකව ගිය ජීවිත අවස්ථාවකි. මෙය ආනන්දවත් අත්දැකීමකි. 

   සිංහල බසින් ප්‍රඥාව ලුහු බඳින අය ඒ ප්‍රඥාව වියුක්ත දාර්ශනිකත්වයේ ප්‍රඥාවට වඩා ජීවිතයෙහි වටා පිටාව වෙත සැණෙකින් එළියක් විහිදුවන ප්‍රඥාවක් සේ ගතහොත් නරකද? මේ ප්‍රශ්නයට දෙන්න නිශ්චිත පිළිතුරක් මට නැතත් එය සලකා බැලිය යු ප්‍රශ්නයකියි මම සිතමි. 

ශාබ්දික පරිකල්පනය

    ශාබ්දික පරිකල්පනය හා ශබ්දමය අර්ථ ගැන විශේෂ අවධානයක් රොබර්ට් ෆ්‍රොස්ට්ගේ කාව්‍ය ජීවිතයෙහි මුල් කාලයෙහි විශේෂ අවධානයට ලක් වූ දෙයකි. ඔහු එය හැඳින්වූයේ “අපේ භාෂණයේ වියුක්ත ප්‍රාණය” ලෙසිනි. ඔහු එය හැඳින්වීමට වියුක්ත ප්‍රාණය යන යෙදුම භාවිත කළේ බසෙහි ශබ්දය අප භාෂණයෙහිදී පවසන දෙයින් වියුක්තව පවතින දෙයක් වන හෙයිනි. එනම් කෝෂාර්ථය ඉක්මවා පවතින දෙයක් වන හෙයිනි. ඒ ශබ්දවලටද අර්ථයක් ඇත. පද්‍ය රචකයා සහ ගද්‍ය රචකයා යන දෙදෙනාටම මේ ශබ්දමය විඥානය තිබිය යුතු බව ජෝන් බාර්ට්ලීට් නම් තම ශිෂ්‍යයා වෙත ෆ්‍රොස්ට් ලියූ ලිපියක එයි. ඒ ශිෂ්‍යයා වෙත ෆ්‍රොස්ට් ලියූ ලිපි කිහිපයකදී ඉහත සඳහන් ප්‍රකට ලිපියට වඩා හොඳින් ශබ්දය සහ ශබ්දයේ අර්ථය පිළිබඳ සිය අදහස වර්ධනය කරයි. මනුෂ්‍යයෙකු ලේඛකයෙකු වන්නේ ඔහුගේ වැකිවල වචන සිත්ගන්නා ශබ්දමය ස්වරූපයකින් ඇමිණී තිබෙන්නේ නම් යැයි ඔහු එවැනි තවත් ලිපියක කියයි. 

  එවැනි එක ලිපියක ෆ්‍රොස්ට් කියන දෙයක් අපගේ සැලකිල්ලට ලක් විය යුතුය: සාහිත්‍යයේදී අපගේ කාර්ය වන්නේ “අහා ඔයා කියන්නෙ මොකක්ද කියල මම දන්නවා” යැයි කියන්නට සිදුවෙන යමක් මනුෂ්‍යයා වෙත සැපයීමය. “කෙදිනකවත් සාහිත්‍යයෙහි කාර්ය වන්නේ මනුෂ්‍යයා නොදන්නා දෙයක් කීම නොව, ඔවුන් දන්නා නමුත් ප්‍රකාශ කරන්නට නොසිතූ දෙයක් ප්‍රකාශ කිරීමය. ඒ වූකලි මනුෂ්‍යයා දන්නා දෙයක් විය යුතුමය.” මේ වූකලි රොබර්ට් ෆ්‍රොස්ට්ගේ ප්‍රකට කවි කිහිපයක් කියවන විට වුවද පැහැදිලි වන දෙයකි. ආනන්දයේ සිට ප්‍රඥාවට යාත්‍රා කරන්නට තැත් කරන කවි සිංහලයෙන් ලියන අය ඇතැම් විට නොවූ විරූ දාර්ශනික දෘෂ්ටියක් පහළ කරන්නට තැත් කරති. දන්නා එදිනෙදා ජීවිතයෙහිම පවතිනමුත් චතුර ප්‍රකාශනයක් දීමට අපොහොසත් වූ දේවලට හඬක්දීම ඒ නිසා අමතකව යයි. ෆ්‍රොස්ට් කියන ශාබ්දික පරිකල්පනයද ආනන්දයක්ම නොවේද? 


නාට්‍යමය ගුණය

        හොඳ කවියක් රසික මනසෙහි රැඳෙන්නට නම් එහි යම් නාට්‍යමය ගුණයක් තිබිය යුතු බව 1959 වර්ෂයේදී රොබර්ට් ෆ්‍රොස්ට් කාව්‍ය රචන ශිල්පය පිළිබඳ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කීවේය. එය එකල පළ වූ පාඨග්‍රන්ථයක අඩංගු වූයෙන් බෙහෙවින් ප්‍රකට විය. ෆ්‍රොස්ට්ගේ නම සමග ආනන්දව සහ ප්‍රඥාව පමණක් ඈඳී තිබීම වැළැක්වීම පිණිස අපි ඒ සම්මුඛ සාකච්ඡාවෙහි එන අදහසක් දෙකක් වෙත අවධානය යොමු කරමු. ඔහු නාට්‍යමය ගුණය යැයි කියන දේටද ශබ්දමය පසුබිමක් ඇත. ඒ මෙසේය: ඕනෑම භාෂාවක කවිය නමැති ප්‍රකාශනයෙහි හැද ගැස්ම වෘත්තය යැයි පෙනේ. ඒ වෘත්තය තුළ කවිය එක්තරා රිද්මයක් හඹා යයි. කවියා සොයන රිද්මය වෘත්තය සමග ගැටෙන විටද එක්තරා නාට්‍යමය ලක්ෂණයක් පහළ වේ. ඒ නිසා ඇති වන තනුව ඒ නාට්‍යයෙහි ඵලයකි. එහෙත් එය සංගීතමය තනුවට වෙනස් දෙයකි. කවියක් තනුව නිසා එය ගීතයක් බවට හැරවිය හැකියැයි කියන විට තමාට කෝප ඇති වන්නේ යැයි ෆ්‍රොස්ට් අඟවයි. යම් කවියක් තනුවක් දමා ගීතයක් සේ ගැයිය හැකි නම් එය නරක ලිවීමක් යැයි ඔහු කියයි. කවියෙහි තනුව යනු සංගීතයට දමා ගයනු ලැබීමට විරෝධය පාන තනුවක් විය යුතුය යන්න ෆ්‍රොස්ට්ගේ අදහසය. 

   ෆ්‍රොස්ට්ගේ අදහස් යනු කවිය සම්බන්ධ එකම අදහස් නොවේ. ඔහු එලියට්, පවුන්ඞ් ආදීන්ගේ නූතනවාදී කවිය ප්‍රතික්ශේප කළේය. සංකල්පරූපවාදී කවියද ප්‍රතික්ශේප කළේය. දෘශ්‍යමය රූපක සහිත කවියද ඔහුගේ කැමැත්තට ලක් වූයේ නැත. එවන් කවි අනවශ්‍ය තරම් මස්තිෂ්කමය (Cerebral) හෙවත් මොළයෙන් සාදන ලද කවි යැයි ඔහු සැලකීය. එරික් ඉලයප්ආරච්චි වැනි කවියෙකුගේ මෑත කාලීන බොහෝ කවිවල ඒ මස්තිෂ්කමය ස්වභාවය දැකිය හැකිය. එවැනි ඇතැම් කවිවල වෙනත් අර්ථමය ආනන්ද තිබිය හැකිය. ඒ නිසා ඒවාද රසිකයෙකුට වෙහෙස වී වැඩ කර විඳිය හැකි කවි විශේෂයක් සේ තිබීමේ වරදක් නැත. 

   ෆ්‍රොස්ට් නිදහස් කවියටද කැමති නොවීය. වෘත්තය සම්පූර්ණයෙන් බැහැර කළ යුතු යැයි කී එස්රා පවුන්ඞ්ගේ කියමනක් සිහි කරන ෆ්‍රොස්ට් "වෘත්තයෙන් තොර කිසිම කවියක් මට අවශ්‍ය නැතැ"යි යට කී සම්මුඛ සාකච්ඡාවේදීම කියයි. ඔහුගේ බොහෝ අදහස් පරීක්ෂා කරන විට පෙනෙන්නේ ඔහුගෙන් ආභාසය ලැබූ බවට කිසිවක් සඳහන් නොකරන ගුණදාස අමරසේකර කවිය ගැන කියන අදහස් බෙහෙවින් ෆ්‍රොස්ටියානු වන බවය. කාව්‍ය සම්ප්‍රදායෙහි එන සම්පත්වලින් ඵල ලැබීම පිළිබඳ විශ්වාසයද ෆ්‍රොස්ට් සහ අමරසේකර දෙදෙනාටම පොදු අදහසකි. එහෙත් සිංහල කවිය තුළ එස්රා පවුන්ඞ්ගේ අදහස් අතින් නූතනවාදී ගුරුකුලයට අයිති වෙතියි කිව හැකි කිසිම කවියෙක් නොසිටියි. දැන් දුෂ්කරත්වයට ආසා කරන ඉලයප්ආරච්චි වැනි අයගේ කවි පවා හොඳම කවි අප මෙතෙක් සාකච්ඡා කළ ෆ්‍රොස්ටියානු අදහස්වලින් යුක්තය. 

නිදර්ශන දෙකක්

    මෙහි එන කරුණු නිදර්ශන ඇසුරින් පැහැදිලි කරන රචනයක් මතු දා ලියමි. මෙතෙක් මෙම ලිපිය කියවූ රසිකයන්ට පහත එන කවි දෙක කියවන මෙන් ආරාධනා කරමි. ඒවා එකිනෙකින් වෙනස් හේතු නිසා අගය කළ හැකිය. පළමු වැන්න ඉලයප්ආරච්චිගේ කවියකි:


 කොළ හැලෙන ගස

මා දිවි තුරින් අබැටක් තරම්

ආයු නැති පතක් ගිලිහෙයි සොවින්

වියපත් එපත් මැලැවෙන රුවින්

නැණමද සිතෙහි සතුටක් සැදෙයි


නසියි වැනසෙයි මුකුලිත එපත්

මරු මුව වැටයෙි පවනෙහි බරින්

උන් මළ බැවින් සතුටක් ලබා

එකසර සිතින් නෙක සිරි විඳිම්


එනමුත් ඒ ගස නොසිතූ ලෙසින්

විකසිත වීය වැසි සෙත් ලදින්

නිල්වන් පල රැඳි දෑතම නඟා

කුසුමක් දෙකක් සිරසෙහි ගැසී


වියපත් එපත් මැලැවෙත යළිත්

නැණමද සිතෙහි සතුටක් නැඟෙයි

උන් විඳි සොවින් සතුටක් ලබම්

එකසර සිතින් නෙක සිරි විඳිම්


  මෙවන් මනරම් කවි මාලාවක් ලියූ ඒ කවියා කවිය නමැති ශානරයට එතරම් ප්‍රයෝජනයක් නැති ව්‍යූහවාදය නැමති වනයෙහි වැටිණි.

  පහත එන්නේ දෙවන නිදර්ශනයයි. එය ආරියවංශ රණවීරගේ කවියකි:

  සැන්දෑ ප්‍රභාතය

එක් මලක් ඇත පැහැසර

හැන්දෑව උදයක් කළ

නිදිගතු බිඟුන් අවදි කර

ගුමු නද යළි මතක් කළ 


හිරු ගෙනෙන ලොව බලන්නැයි

ගෙතුළින් පිටට කැන්දන

“හා සබඳ කොහොම කොහොමැයි”

 ලොව සිපගන්න සිත් දෙන

පත් පිරි තුරුණු තුරු හිස

දැල්වුණු දෙනෙත් අලවන

මල වට සිනිඳු සුවඳින

ඉඳුරන් නිති සතප්පන


එක මලක් ඇති පැහැසර

සැන්දෑව උදයක් කළ 


1 comment:

  1. අමරකීර්ති මහතා, ඉතාමත් ම ස්තූතියි මේ පැහැදිළි කිරීමට. මා මෙය Zoom2Poem සමූහය තුළ බෙදා ගැනීමට අවසර පතමි. එයින් සමූහයේ සහෘදයන් ට මෙම පැහැදිලි කිරීම හා විජේසිරිවර්ධනයන් බ්‍රෙෂ්ට් ගේ "ආන්නදයෙන් ප්‍රඥාව" සෙවීම ගැන කරණු ලබන පැහැදිලි කිරීම එකට තබා කියවා ගැනීමට ඉඩහසර ලැබේයැ යි බලාපොරොත්තු වෙමි.

    ReplyDelete