Thursday, February 13, 2025

ප්‍රබුද්ධ ජීවිතයක් වෙනුවෙන් චිත්තරූප සංචිතය ගොඩනැගීම හෙවත් සෞන්දර්ය අධ්‍යාපනය- ලියනගේ අමරකීර්ති


    මෙම ලිපි මාලාව කලාව ආශ්‍රිත පෘථුල කලාපයක විහිදෙන බව දැන් නොරහසකි. ඒ අතර සාහිත්‍ය කලා හා සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රධාන තේමාවක් විය. එක් කලෙක අප රට පාසල්වල ප්‍රධාන විෂය ධාරාවට අමතරව කලා සාහිත්‍ය අධ්‍යාපනයට විශේෂ තැනක් තිබිණි. සිසුන් උගන්නා ප්‍රධාන විෂය කුමක් වුවත් චිත්‍ර, සංගීත, නැටුම් එක් කලාවක් වත් සම්බන්ධයෙන් වසර කීපයක අධ්‍යාපනයක් කාටත් පාහේ ලැබිණි. වාර්ෂික කලා උත්සවය පාසලක ප්‍රධාන කාර්යයක් විය. මා උගත් වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයෙහි එච්. එම්. පී. හේරත් මහතා විදුහල්පතිව සිටි කාලයෙහි (1985-92) නිවාසාන්තර නාට්‍ය තරගයක්ද පැවැත්විණි. එතරම් කල් අල්ලා සිටියේ නැති නමුත් එය බෙහෙවින් අර්ථවත් විෂය සමගාමී ක්‍රියාවක් වූයේය. ශිෂ්‍යත්වය, සාමන්‍ය පෙළ හා උසස් පෙළ යන ජාතික තරග විභාගවලට මෙතරම් උණුසුම් තරගයක් නොතිබුණු කාලයෙහි දරුවන්ගේ අමතර පන්තිවල මූලිකත්වයක් ගත්තේ නැටුම්, සංගීත වැනි සෞන්දර්ය විෂයයන්ය. අප කුඩා කල පාසලේ ඉගෙන ගන්නා ප්‍රධාන විෂයවලට අමතර පන්ති යෑම ඉතා දුර්ලභ විය. අමතර පන්ති පැවැත්වුණේ සංගීතය හෝ නැටුම් වෙනුවෙනි. නැතිනම් ඉංග්‍රීසි වැනි වෙනත් භාෂා වෙනුවෙනි. අධ්‍යාපනය පද්ධතිය තුළ පමණක් නොව දෙමාපියන් අතර පවා නැටුම් හෝ සංගීතය වැනි කලා කුසලතාවක් මනුෂ්‍ය ජීවිතයට අමතර අර්ථයක් එක් කරන්නේය යන අදහස පැතිරී තිබිණි. එය මධ්‍යම පාන්තික ජීවිතයට අවශ්‍ය අමතර සැරසිල්ලක් සේ වටහා ගැනුණද යන්න මට හරියටම කිවනොහැකිය. එසේ නමුත්, බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල හවසට හෝ සති අන්තයට නැටුම් හෝ සංගීත පන්ති යන දරුවන් නිතර දැකිය හැකි විය. පොදු මහජන ජීවිතයෙන් පමණක් නොව පාසල් පද්ධතියෙන්ද ටික ටික ඒ විෂයයන් අතුරුදහන්ව ගොස් දැන් සෑම ගමකට පාහේ දැකිය හැක්කේ ප්‍රධාන වහලයෙන් පිළිකන්නට තවත් පලයක් බා ඩෙස් පුටු ටිකක් දැමූ ටියුෂන් පන්තියකි. ඒ වාගේ උගන්වන්නේත් පාසලේ උගන්වන විෂයයන්මය. දැන් බුද්ධාගම හෝ ඉතිහාසය වැනි විෂයවලට පවා එවැනි අමතර පන්ති යා යුතුව තිබේ. 

   මේ අලුත් වර්ධනය නිසාම උසස් පෙළ වැනි පන්තිවල දරුවෝ බොහෝ විට පාසලටද නොයා සිටිති. විභාගයට ඇති විෂය තුනට සතියේ දවස්වලත් අමතර පන්ති පැවැත්වෙන බැවිනි. එයින් සිදුවන්නේ කුමක්ද? දරුවෙකුගේ යෞවන වයසේ හොඳම අවුරුදු දෙකක් වන අවුරුදු 17-19 අතර කාලයේදී පාසැලින් ලැබිය යුතු බොහෝ විෂය සමගාමී ක්‍රියා මග හැරී යාමය. ඒ විෂය සමගාමී ක්‍රියාවලින් අර්ථවත් කොටසක් සෞන්දර්ය විෂයවලට වෙන්වේ. දැන් සෞන්දර්ය විෂයයන් උසස් පෙළ විභාගය සඳහා උගන්නා අය පවා ටියුෂන් මත රඳා පවතින නිසා අවසන් අවුරුදු පාසල් යන්නේ අවාරෙටය. එහෙත් සෞන්දර්ය විෂයවලට අවශ්‍ය පසුබිම හා අනික් සම්පත් තිබෙන්නේ පාසැල්වලය. අපේ පාසල් පද්ධතිය කොපමණ කඩා වැටී තිබුණත් එකී බොහෝ සම්පත් බොහෝ පාසල්වල නැත. එහෙත් උසස් පෙළ දරුවන් පාසල නොසලකා හැරීමත්, ඒ නිසාම උසස් පෙළ පාසල් ගුරුවරුන් දුර්මුඛ වීමත් නිසා අද පාසල්වල පවා පන්ති කාමරය ඉක්මවූ අධ්‍යයන අත්දැකීමක් අවශ්‍ය කරන සෞන්දර්ය වැනි විෂය ධාරා දුර්වල වේ.

   මා ඉහත වැකියෙහි කී ලෙසම ‘සෞන්දර්ය වැනි විෂය සඳහා පන්ති කාමරය ඉක්මවූ අධ්‍යාපන අත්දැකීමක් අවශ්‍ය’ වේ. ඒ වූකලි ‘සෞන්දර්ය අත්දැකීම’ හා බැඳුණ දෙයකි. මෙම රචනයෙහිදී මා අවධානය යොමු කරන්නේ සෞන්දර්ය විෂය අධ්‍යාපනයක් කොටසක් විය යුත්තේ මන්ද යන ප්‍රශ්නය වෙතය. මේ ප්‍රශ්නයෙහි විවිධ පැතිමාන වෙත මේ ලිපි මාලාවේදී නොයෙක් වර අවධානය යොමු කෙරිණි. 

    මෙම විෂය සම්බන්ධයෙන් පොත්පත් කිහිපයක්ම ලියා ඇති රැල්ෆ් ස්මිත් දකින හැටියට නූතන අධ්‍යාපනය තුළ සෞන්දර්ය යන්නට අර්ථ දෙකක් තිබේ. එකක් නම් අධ්‍යාපනයෙහි කොටසක් සේ විවිධ කලා ඉගැන්වීමය. චිත්‍ර, සංගීත, නැටුම් පමණක් නොව සාහිත්‍යයද එහි ඇතුළත් වේ. අනෙක සියලු මනුෂ්‍ය අත්දැකීම්වල පවත්නා සෞන්දර්යමය මානය පිළිබඳ අවබෝධයයි. මේ අදහස් දෙකම ජර්මානු දාර්ශනික ෆ්‍රීඩ්රිච් ශිලර් (1759-1805) On Aesthetic Education of Man කෘතියෙහි අඩංගු වේ. ඒ වූකලි සෞන්දර්ය අධ්‍යාපනයෙහි අර්ථය සහ අදාළත්වය දාර්ශනික වශයෙන් පැහැදිලි කළ පොතකි.

    කලාව පිළිබඳ අධ්‍යාපනය හෙවත් ඒ කලා මාධ්‍ය ආශ්‍රිත අධ්‍යාපනය යනු සෞන්දර්ය අධ්‍යාපනයෙහි පළමු මානය බව දැන් අපි දනිමු. නිල අධ්‍යාපන පද්ධතිය තුළ සාහිත්‍යය උගන්වන්නේ ඒ ප්‍රවේශයෙනි. එනම් සාහිත්‍යය ඉගෙනීමම සෞන්දර්ය ඉගෙනීමකි. එහෙත් අද අප රට සිදුවී ඇත්තේ සාහිත්‍ය අධ්‍යාපනය විභාග සඳහා විෂයයක් ඉගෙනීමක් බවට පත්වීමය. යම් තෝරාගත් සාහිත්‍ය කෘති සුපරික්ෂාවෙන් කියවා රසවිඳිමින් ඒවා සෞන්දර්ය වස්තු සේ ඉගෙනීමට වෙනුවට දැකිය හැක්කේ ඒවා ඇසුරින් විභාග පිළිතුරුවලට ‘කරුණු රැස් කරන’ අධ්‍යාපනයකි. එවැනි අධ්‍යාපනයකින් බොහෝ ගැඹුරු සාහිත්‍ය කෘතිවල ආත්මය වෙත එළඹෙන්නට සිසුන්ට අවකාශ සැලසෙන්නේ නැත. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ව්‍යුහයක් තුළ දීර්ඝ කාලයක් ඉගැන්වීමෙහි යෙදුණ ගුරුවරු බොහෝ දෙනෙක් විශිෂ්ට සාහිත්‍ය කෘතියක ආත්මය වෙත එළඹෙන ආකාරයද ඒ ආත්මය සිසුන් සමග සිත්ගන්නා සේ බෙදා ගන්නා ආකාරයද නොදනිති. එහෙයින් මේ වූකලි අපේ සමස්ත අධ්‍යාපන පද්ධතිය නැවත ප්‍රතිව්‍යුහ ගතකිරීමෙන් හා සියලු ගුරුවරුන් නැවත පුහුණු කිරීමෙන් මිස යළි සැකසිය නොහැකි තත්ත්වයකි. 

   අපි සෞන්දර්ය අධ්‍යාපනය ගැන විවිධ න්‍යායවේදීන්ගේ අදහස් සමග ඉදිරියට යමු. ඉහත සඳහන් වුණු ශිලර්ගේ පොතෙහි මනුෂ්‍ය ස්වභාවය හා ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් මෙවැනි සංකල්ප තුනක් එයි: ස්වාභාවික මිනිසා, පරමාදර්ශී මිනිසා සහ සෞන්දර්ය මිනිසා. ඔහු දකින හැටියට ස්වාභාවික මිනිසා යනු ආචාරධාර්මික ශික්ෂණයකින් තොර ‘සත්ත්වමය’ මිනිසෙකි. එනම් තවමත් සංස්කෘතිය කරා එළඹ නැති කෙනෙකි. පරමාදර්ශී මිනිසා යනු ශිෂ්ටත්වයට පත් සංස්කෘතික මිනිසෙකි; ඒ මිනිසා ආචාරධාර්මිකය; ස්වාභාවික සත්ත්වමය ලක්ෂණ පිරිපහදු කර ගත්තෙකි. මිනිසාට ඒ පරමාදර්ශී තත්ත්වය කරා කෙළින්ම යා නොහැකිය. ඔහු හෝ ඇය ඒ කරා යා යුත්තේ සෞන්දර්ය ඔස්සේය. සෞන්දර්ය මිනිසා යනු ස්වාභාවික මිනිසා හා පරමාදර්ශී මිනිසා අතර මැදිහත්කරුවෙකි. මා ශිලර්ගේ අදහස තේරුම්ගන්නා ආකාරය අනුව ස්වාභාවික මිනිසා යනු ශිෂ්ටකරණයට පෙර හෙවත් සංස්කෘතිකවත්භාවය අත්පත් කරගන්නට පෙර මිනිසාය. එක්තරා විශ්ලේෂණීය සංකල්පයක් සේ අපි එය වටහා ගනිමු. පරමාදර්ශී මිනිසා යනුද එක්තරා විශ්ලේෂණීය සංකල්පයකි. මනුෂ්‍යයා තම සත්ත්වමය ස්වාභාවික ලක්ෂණ සංස්කෘතිය මගින් ශික්ෂණය කරගත් විට එළඹෙන පරම යහපත් මනුෂ්‍යභාවයක් ඉන් අදහස් කෙරේ. මට අවබෝධ වන හැටියට ඒ වූකලි අපට කවදාවත් සම්පූර්ණයෙන් අත්පත් කරගත හැකි ගමනාන්තමය අවස්ථාවක් නොවේ. එහෙත් මනුෂ්‍යයන් වන අප වඩා යහපත්වීම පිණිස අප හමුවේම පිහිටුවාගන්නා පරම ඉලක්කයකි. ඒ ඉලක්කය කරා යන්නට අපට උපකාර වන මාධ්‍යයක් සෞන්දර්ය අධ්‍යාපනය වටහා ගැනේ. ඒ නිසා සෞන්දර්ය මිනිසා යනු පරම යහපත්භාවය පිළිබඳ සිහිනයෙන් යුතුව සැබෑ ලොව තුළ ජීවත් වන මිනිසෙකු සේ අපට වටහා ගත හැකිය. ඔහු මෙහිදී ඉඟිකරන්නේ පරමාදර්ශී මනුෂ්‍යයත්වය වෙත ළඟාවීමට සෞන්දර්ය ඔස්සේ යා යුතු බවය. පසුකාලීන බොහෝ න්‍යායධරයන් දකින හැටියට ශිලර් සෞන්දර්ය වෙත ඒ පවරා දෙන කාර්යය වූකලි ඉතා බරපතළ එකකි. 

   විසිවෙනි සියවස මැද පමණ සිට සෞන්දර්ය අධ්‍යාපනයෙහි අර්ථවත්භාවය ගැන සිත්ගන්නා ලෙස තර්ක කළ අය බොහෝ දෙනෙක් වෙති. මේ ලිපි මාලාව තුළ විටින් විට ඒ අය ගැන සඳහන් විණි. ඇමරිකානු මහාචාර්යවරයෙකු වූ හැරී එස්. බ්‍රවුඩි යනු පාසල් අධ්‍යාපනය තුළ සෞන්දර්යට ඇති කාර්යභාරය ගැන අගනා පැහැදිලි කිරීම් කළේය. Enlightened Cherishing (1972) යනු එවැනි එක් පොතකි. එහි ඔහු තර්ක කරන්නේ සෞන්දර්ය අත්දැකීම යනු මනුෂ්‍යයන්ට යහපත් වූද  ජීවත් වීමට තරම් වටින්නා වූද ජීවිතයක් පිළිබඳ අදහසක් ලබා දෙන්නක් බවයි. එනම්, සෞන්දර්ය අත්දැකීම ඇසුරින් අර්ථවත් වූද පොහොසත් වූද ජීවිතය යනු කුමක්දැයි අවබෝධ කරගන්නට මනුෂ්‍යයන්ට ඉඩ ලැබෙන බවයි. 

   මෙම කාරණය වටහා ගැනීමට අප ‘සෞන්දර්ය අත්දැකීම’ යනු කුමක්දැයි මඳක් විමසා බලමු. මා මෙහි සාකච්ඡා කරන චින්තකයන් දකින හැටියට විශිෂ්ට කලා කෘති නිසා මනුෂ්‍ය අත්දැකීමේ ඉතා සංකීර්ණ ස්වරූප අපට මුණ ගැසේ. ඒ සංකීර්ණ මනුෂ්‍ය අත්දැකීම් සමග ගනුදෙනු කරමින්, ඒවා ඇසුරින් ජීවන අත්දැකීම පෘථුල කරගැනීමට අපට අවස්ථාව ලැබේ. එවන් කලා කෘති සමග කරන භාවනාත්මක ගනුදෙනුව යනු අපට සන්තෘප්තිය ගෙන දෙන්නකි. එවන් සන්තෘප්තියක් යනු කාටත් ඉබේ ලැබෙන්නක් නොවේ. සංකීර්ණ මනුෂ්‍ය අත්දැකීම් සමග ගනුදෙනු කරන කලා කෘති සමග කරන ඇසුරින් ලබන සෞන්දර්ය අත්දැකීම යනු ටිකෙන් ටික පුහුණු විය යුතු අත්දැකීමකි. ඒ නිසා සෞන්දර්ය අධ්‍යාපනයෙහි කාර්යය වන්නේ එවන් අධ්‍යාපන සන්දර්භයක් සිසුන් වෙත ලබාදීමය. 

  ලංකාවේ අධ්‍යාපනය බොහෝ අංගවලින් මෙහිලා අසමත් වේ. ඊට හේතු කිහිපයකි. ඕනෑම විශිෂ්ට සාහිත්‍ය කලා කෘතියක් කටපාඩම් කරගත හැකි කරුණක් බවට ඌනනය කර මතක තබා ගැනීමට උගන්වන විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය එක් හේතුවකි. සාහිත්‍ය විචාරාත්මක රචනා පවා සිසුන්ට කටපාඩම් කරවීම ටියුෂන් පන්තිවල කෙරෙන බව ඇතැම් සරසවි ශිෂ්‍යයන් මා හා කියා ඇත. ටියුෂන් පන්තිවල පවත්නා ඒ විධික්‍රමය ඉතා ජනප්‍රිය නිසා එය පාසල් ගුරුවරුන් අතරත් පැතිර පවතී. අනෙක් අතට අපේ අධ්‍යාපන පද්ධතිය තුළ විභාගවලට ලිවීම පහසු කරවන සාහිත්‍ය කලා කෘතිවලට මූලිකත්වයක් ලැබේ. නිදර්ශනයක් මෙසේය: ගුරු ගීතය නවකතාව පාසල් පද්ධතියෙහි පමණක් නොව විශ්වවිද්‍යාලයේදී ජනප්‍රිය වී තිබේ. රුසියානු විප්ලවයෙන් පසු ග්‍රාමීය ප්‍රදේශවල පාසල් අධ්‍යාපනය ස්ථාපිත කරන්නට ආත්ම පරිත්‍යාගයෙන් කැප වූ ගුරුවරයෙකු වටා ගෙතුණු ඒ කතාව ආනුභාවසම්පන්න බව ඇත්තය. එහෙත් එය බොහෝ අංශවලින් සරල නවකතාවකි. 

   රුසියානු විප්ලවය සන්දර්භයම පසුබිම් කරගන්නා fදාස්තර ෂිවාගෝ නවකතාව මනුෂ්‍ය ජීවිතයෙහි විවිධ සංකීර්ණතා හසුකරගන්නා අතිවිශිෂ්ට නවකතාවකි. එහෙත් එය විශ්වවිද්‍යාලයේදී පවා නිර්දිෂ්ට කෘතියක් සේ භාවිත කිරීම දුෂ්කරය. එහි සිංහල පරිවර්තන තිබුණේ වුවද එවැනි විශාල නවකතාවක් සති කීපයක් ඇතුළත වත් කියවන සිසුහු දුර්ලභයහ. එවැනි විශිෂ්ට කලාකෘතියක් සමග සෞන්දර්යමය හා බුද්ධිමය අරගලයක නියැලිය යුත්තේ මන්ද යන්න පිළිබඳ පුහුණුවක් පාසල් අධ්‍යාපනයේදී ඔවුන්ට නොලැබේ. ඒ නවකතාවෙහි ප්‍රධාන පිරිමි චරිතය වන්නේ කවියෙකුද වන වෛද්‍යවරයෙකි. ප්‍රධාන ස්ත්‍රී චරිතය වන්නේ බෙහෙවින් බුද්ධිමත්, කරුණාවන්ත පමණක් නොව සරාගී රූමත්කමිකන්ද යුත් තරුණ හෙදියක වන ලාරාය. රුසියාව සාර් පාලනයෙහි සිට විප්ලවීය පරිවර්තනයකට ලක් වන නොයෙක් යුද ගැටුම් සහිත ඉතිහාසය තුළ ජීවත් වන ඇයට සාර් පාලන තන්ත්‍රයෙහි නිලධාරියෙක්ද, විප්ලවීය නායකයෙක්ද, ෂිවාගෝ කවියාද එක සේ පෙම් කරති. ඒ පිරිමින්ගේ ප්‍රේමය විවිධ ස්වරූප ගත්තත් ඒ කවුරුත් ඇයට පෙම් කරන්නේ බෙහෙවින් ලාලසාත්මක ලෙසිනි. ලාරාද ඒ පිරිමින්ගේ චරිතමය විවිධතා දැන දැන වුවද ඔවුන් කාටත් අවංක කරුණාවකින් යුත් ආදරයක් දක්වයි. ඇගේ ගැඹුරුතම ප්‍රේමය යොමු වන්නේ කවිකාර ෂිවාගෝ වෙතය. මේ චරිත ඉතා සංකීර්ණ සමාජ-දේශපාලන ඉතිහාසයක් තුළ ජීවත් වන ආකාරය වූකලි හොඳ සාහිත්‍ය රසිකයෙකුට ඉතා ගැඹුරු සෞන්දර්ය අත්දැකීමකි. එහෙත් එවැනි අත්දැකීමක් සිසුන්ට ලබා දීමට අපේ අධ්‍යාපන පද්ධතිය බෙහෙවින් අසමත් වී තිබේ. fදාස්තර ෂිවාගෝ යනු බෙහෙවින් බරපතළ කෘතියකි. ප්‍රමාණයෙන් හෝ වපසරියෙන් එතරම් විශාල නොවූ තවත් විශිෂ්ට සාහිත්‍ය කෘති තිබේ. ඒ ඕනෑම කෘතියක් සෞන්දර්ය අත්දැකීමක් නොව විභාගයකට ලියන කරුණක් බවට ඌනනය වීමේ අනතුර අපේ අධ්‍යාපන පද්ධතිය තුළ තිබේ. එවැනි ඌනනයකට ලක් නොකර එවැනි කෘතියක් සෞන්දර්ය අත්දැකීම පිණිස ඉගැන්විය හැකි ගුරුවරුද දුර්ලභ වෙති.

   මහාචාර්ය හැරී එස්. බ්‍රවුඩි සෞන්දර්ය අධ්‍යාපනයෙහි තවත් ඵලයක් පැහැදිලි කිරීම සඳහා ‘චිත්තරූප සංචිතය’ යනුවෙන් සංකල්පයක් හඳුන්වා දෙයි. සෞන්දර්ය අධ්‍යාපනයේදී නොයෙක් අන්දමේ ගැඹුරු කලාකෘති අධ්‍යයනය කෙරේ. ඒවා ප්‍රබන්ධ කථා, කවි, නාට්‍ය, ගීත, චිත්‍ර, මූර්ති යන කවරක් හෝ විය හැකිය. මේ අධ්‍යයනය නිසා සිසුන්ගේ විඥානය තුළ පොහොසත් චිත්තරූප (සංකල්ප රූප) ගබඩාවක් ගොඩ නැගේ. ඒ චිත්තරූප ගබඩාව ගොඩනැගීමට දායක වන්නේ යම් යම් නිශ්චිත කලා කෘති වුවත් ඒ චිත්තරූප තවත් සංසිද්ධි අවබෝධ කරගැනීමේ සංකල්පමය රාමු සේ භාවිත කළ හැකිය. මේ කාරණය පැහැදිලි කරගන්නට ප්‍රවීණ කිවිඳියක වන සුහර්ෂණී ධර්මරත්නගේ මල් මැවූ මිනිසා (2024) කෘතියෙන් එක් කවියක් වෙත යමු. එහි  “ගහන්න මට පළමු ගල” යනුවෙන් කවියක් එයි. කවිය ආරම්භ වන්නේ මෙසේය:

“බොකුටු කෙහෙරැල්ලට

නළලට නාසිකාවට

දෙබැම රැලිගන්වා හෙළන

බිය නැති බැල්මට


ඔහුට පෙම් බඳිනකොට

දහතුනයි මේ කෙල්ලට...”

   මෙහි විස්තර වන්නේ මයිකලාංජිලෝගේ ඩේවිඩ් ප්‍රතිමාවේ නිරූපිත පිරිමි සිරුරට ප්‍රේම කරමින් ලිංගික වශයෙන් වැඩිවිය පත් වූ කෙල්ලක ගැනය. 

බල නහර ඉල්පුණු ගෙල වට

මල් දමක් සේ දෑතලන්නට

පා තුඩින් එසැවී

අදිටනින් පියවුණ

දෙතොල ඩැහැගන්නට


සිහින දකිනා විටදිත්

ළැම පිරී තිබුණේ

මල්පොහොට්ටු ගානට”


  අවුරුදු දහතුනක් වැනි යෞවන වයසේදී පිරිමි ශරීරය වෙත වූ ලිංගික ආකර්ෂණය මනෝමය වශයෙන් අත්හදා බලන චිත්තරූපමය රාමුව ඇයට ලැබී ඇත්තේ ඩේවිඩ් ප්‍රතිමාවෙනි. කවියෙහි කථක ස්ත්‍රිය මේ විස්තරය ජීවිතයේ පසු කලෙක සිය සැමියාට හෝ ප්‍රේමවන්තයාට කියන්නේ මෙසේය:

“මම ඔහුව වින්දා

ඔබ හමුවන්න පෙර සිට

ඔහුගෙනි උගත්තේ

ඔබ මෙලෙස විඳින්නට”

ඩේවිඩ් ප්‍රතිමාව ඇයට සපයා ඇති පරිකල්පනය අත්දැකීම් රාමුව නිසා ඇයට ලැබෙන්නේ ඉතා අර්ථවත් ‘අධ්‍යාපනයකි.’ ඕනෑම සෞන්දර්ය වස්තුවක් නිසා ලැබෙන සෞන්දර්ය අත්දැකීම ජීවිතයේ තවත් අත්දැකීම් අවබෝධ කරගැනීමට අවශ්‍ය චිත්තරූප සංචිතයක් අප තුළ ගොඩනගන්නේ එලෙසය. එවැනි සංචිතයක් අපගේ විඥානයෙහි ගොඩනැගිය හැක්කේ සැබෑ සෞන්දර්ය අත්දැකීම වින්දනයෙන් මිස සෞන්දර්ය වස්තු කටපාඩම් කරුණු බවට පිරිහෙළන අධ්‍යාපනයකින් නොවේ. දාර්ශනික ශිලර් ඉහත විස්තර කළ සෞන්දර්ය මිනිසා ගොඩනැගිය හැක්කේද එවැනි අධ්‍යාපනයකින් නොවේ. සිසුන් හා එක්ව ගැඹුරු සාහිත්‍ය කලා කෘති ඒවාගේ නිසි ගැඹුර දැනෙන දේ වින්දනය කරන කලාව දත් ගුරුවරුන් අවශ්‍ය වන්නේ ඒ නිසාය.


   



  

 




Wednesday, December 25, 2024

සිංහල කෙටි කවියට වැරදිය හැකි තැනක් හා බර කවිය සොයා ගැනීම - ලියනගේ අමරකීර්ති

 

     හයිකු වැනි කෙටි කවිය කවි ලියන තරුණ තරුණියන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. ඇතැම් ආධුනිකයෙකු තමන් ලියන ඕනෑම කෙටි කවියක් ‘හයිකු’ නමින් හඳුන්වන අවස්ථාද තිබේ. එය තවමත් කෙනෙකු ‘මං නිසඳැසක් ලිව්වා’ යැයි කියනු වැනි දෙයකට වඩා බෙහෙවින් වැරදි කියමනකි. හයිකු නම් ජපන් කවි විශේෂය පිළිබඳ තරමක් තාත්ෂණික හා ආකෘතික අර්ථයකින් අර්ථයකින් තේරුම් ගතහොත් ඊට ඇත්තේ ඉතා දැඩි ආකෘතික සැකැස්මකි. කවියට පේළි තුනකි. පළමු පේළියේ මාත්‍රා පහකි. දෙවෙනි පේළියේ මාත්‍රා හතක් හෝ නමයකි. තුන්වෙනි පේළියේ නැවතත් මාත්‍රා පහකි. මේ ආකෘතියට කවි ලිවීම කොතරම් අමාරුද යත් එතෙක් මෙහෙතක් සිංහලයෙන් එකම හයිකු කවියක් වත් ලියැවී නැති තරම්ය.




    හයිකු වැනි කවි විශේෂයක් හුදෙක් ඒ ආකෘතික සැකැස්ම ඇසුරින් යාන්ත්‍රිකව වටහා ගැනීම අසීරුය; එමෙන්ම වැරදිය. ඒ නිසා පාලිත සේනාරත්න වැනි කෙටි කවි ලියන අය හයිකු ආත්මය වැනි යෙදුමක් භාවිත කිරීම නිවැරිදිය. විලියම් ජේ හිගින්සන් වරක් සිය The Haiku Handbook  නමැති පොතේදී මෙසේ කීවේය: ‘අපි හයිකුවක් රචනා කරන කොට මෙන්න මෙහෙම දෙයක් රසියකයා කියනවා: මට මේ දැනෙන දේ ඔයාට කියන්න හරි අමාරුයි. ඉතින් මේ හැඟීම් මට දැනෙන්න සැලස්සපු සිද්ධිය ඔයාට කියන්නම් එතකොට මට දැනුණ හැඟීමට සමාන හැඟීම් ඔයාටත් ඇති වෙන්න පුළුවන්. මේක අපේ හැඟීම් බෙදාහදාගන්න තියෙන හොඳම විදියක් නෙමේද? අපි අපේ හැඟීම්වලින් තව කෙනෙකුට ළං වෙන්න නැත්නම් අපේ හැඟීම් රැගෙන තව කෙනෙක් ළඟට යන්න ඕනෙ වුණාම අපි නිකම්ම කියනවද ‘මට දුකක් දැනෙනවා’ නැත්නම් ‘මට සතුටක් දැනෙනවා’ කියලා? අපි කරන්නෙ අපිට සතුට හෝ අසතුට ඇති කරන්නෙ මොකක්ද කියලා කියන එක. නැත්නම් කොහොමද අනික් කෙනා එක්ක අපි ඒ හැඟීම් බෙදා ගන්නෙ? ඇත්තටම කියනවා නම් තමන්ට දුක, සතුට, වේදනාව හෝ ප්‍රීතිය දැනෙනවා කියලා යාළුවෙක් කියන කොට අපි ක්ෂණිකව කරන්නෙ මෙහෙම අහන එක: “මොකක්ද ඒ? මොකක්ද කාරණේ? ඔයාට සතුට ඇති කළේ මොකක්ද?”

හයිකු යන මේ ‘මොකක්ද’ යන්නට දෙන පිළිතුරයි.





Monday, April 22, 2024

ස්වයං චරිතාපදානමය රචනාව සහ සාහිත්‍යය -- ලියනගේ අමරකීර්ති

 


 




ලේඛක ලේඛිකාවන්ගේ ස්වයං චරිතාපදාන කියවීමෙන් සාහිත්‍ය කලා උගන්නා ආධුනිකයන්ට ලැබෙන අන්තර්දෘෂ්ටි ගැන කලින් ලිපියක ලියැවිණි. එහිදී සමර්සෙට් මෝම්ගේ කෘති දෙකක් ගැන ප්‍රධාන වශයෙන් සඳහන් කෙරිණි. මෙම රචනයේදී මා අවධානය යොමු කරන්නේ මෑතකදී සිංහල භාෂාවෙන් පළ වූ ස්වයං චරිතාපදාන හෝ මතක පොත් අතරට ගැනෙන කෘති කීපයක් ගැනය.

පසුගිය මාස කිහිපය තුළදී එවැනි පොත් දෙකක් මහනුවරදීම fදාරට වැඩියේය. ඒ අවස්ථා දෙකටම සහභාගි වන්නට ලැබීම වාසනාවක් විය. එක් පොතක් නවරත්න බණ්ඩාගේ මාතා: (අ)මරණීය මතක (2023) කෘතියයි. ඔහු 1987-89 කාලයෙහි ජවිපෙ දේශපාලනයෙහි නියුක්තවීම නිසා නොයෙක් දුක් ගැහැට විඳින්නට සිදුවූ කෙනෙකි. ඔහුගේ මහගෙදරද සන්නද්ධ හමුදා විසින් පුළුස්සා දමන ලදී. කෙසේ හෝ දිවි ගලවාගෙන නැවත දේශපාලනයට එන ඔහු 2004 වර්ෂයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජවිපෙ මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙක් වූයේය. ග්‍රාමීය නිර්ධන පාන්තික පසුබිමක ඉපිද හැදී වැඩී වමේ දේශපාලනයට යොමුවීම යනු කොතරම් නම් භයානක ඉරණමක් උරුම විය හැකි තෝරාගැනීමක්දැයි මේ පොතෙන්ද පැහැදිලි වේ. 1983 කළු ජූලිය දඩමීමා කරගෙන ඊට සම්බන්ධ නැති ජවිපෙ තහනම් කිරීමත්, ක්‍රමයෙන් ඒ පක්ෂය යටිබිම්ගත දේශපාලනයට තල්ලු කිරීමත් ජේ ආර් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂයේ සැලැස්ම විය. ඒ අවස්ථාවේ ජවිපෙ කළ තෝරාගැනීමත් ජේආර්ගේ සැලැස්මට හසුවීමක්දැයි මෙවැනි පොත් කියවන විට අපට සිතේ. ඒ අවස්ථාවේ යෞවනයෙකුව සිටි නවරත්න බණ්ඩා තමන්ගේ දේශපාලන පක්ෂ නායකයන්ගේ දේශපාලන තෝරාගැනීම් වෙනුවෙන් ගෙවූ වන්දිය විස්තර කරන්නේ ඒ නායකයන් වෙත දෝෂාරෝපණය කරමින් නොවේ. නිදහසින් පසු ලංකාව පාලනය කළ දේශපාලන කණ්ඩායමේ දේශපාලන අභිලාෂ කෙසේද යත් නිර්ධන ග්‍රාමීය තරුණ තරුණියන් කීදාහක් ඒ අභිලාෂ වෙනුවෙන් මරා දැමිය යුතුද යන්න ඒ ප්‍රභූ පන්තියට කිසිම සැලකිල්ලක් නැත. 87-9 අරගලයේදී ජවිපෙ සටන්කරුවෝද සීමාන්තික ලෙස හිංසනය භාවිත කළහ. නවරත්න බණ්ඩාගේ කෘතියෙහි මේ ඉතිහාසය ගැන කෙරෙන ආවර්ජනය අර්ථවත්ය. පසු කලෙක ජවිපෙන් ඉවත් වූ ඔහු දැන් නිර්පාර්ක්ෂික සමාජ ක්‍රියාකාරිකයෙකු සේ ජීවත් වෙයි.     

 ගාමිණී මුතුකුමාරණගේ මතක ගිනි පුපුරු (2023)  යනු 87-89 භීෂණ යුගය ගැන එවක ජවිපෙ නායක මට්ටමේ සිටි කෙනෙකු ලියූ පළමු කෘතිය විය හැකිය. මුතුකුමාරණ යනු ජවිපෙ මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු සේම ජවිපෙ සියලුම නායකයන් පාහේ ඇසුරු කළ කෙනෙකි. ඒ මට්ටමේ නායකයෙකුව සිට දිවිගලවා ගත් ඉතා සුළු පිරිසෙන් කෙනෙකි. 1990 දශකයේ මුල් කාලයේදී අත්අඩංගුවෙන් පලාගොස් තායිලන්තය ඔස්සේ ලන්ඩනයට ගිය ඔහු අදටත් එහි ජීවත් වේ. 87-9 යුගය ගැන මෙතෙක් ලියවුණු පොත්පත් අතර ඒ අභ්‍යන්තරය හොඳින්ම දැනසිටි කෙනෙකු විසින් ලියන ලද පළමු පොත මෙය යැයි කිවහැකිය. ස්වයං චරිතාපදානමය රචනයකදී යම් විෂයක් පිළිබඳ රචකයාගේ ආත්මීය සම්බන්ධය හා ඒ දෙස රචකයා බලන දෘෂ්ටිකෝණයද හෙළිවේ. නිදහසින් පසුව ලංකාව නම් රටෙහි ආර්ථික-දේශපාලන ව්‍යූහය පවත්වාගෙන යන ආකාරය හෙවත් ‘පවතින ක්‍රමය’ වෙනස් කිරීමට ග්‍රාමීය නිර්ධන පාන්තික ජනයාටත්, උගත් තරුණ තරුණියන්ටත් අවශ්‍ය වී ඇත්තේ ඇයි, එවැනි වෙනස් කිරීමකට ප්‍රයත්න දැරීම වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්නට එවැනි පිරිස් සූදානම් වන්නේ ඇයි යනාදී ප්‍රශ්න වෙත අන් ලෙසකින් ලද නොහැකි අන්තර්දෘෂ්ටි සපයන්නටද මේ කෘතිය සමත් වෙයි. තමාද නායකයෙකු වූ දේශපාලන ව්‍යාපාරයේ ඇතැම් තෝරාගැනීම් පිළිබඳ විචාරාත්මක ආවර්ජනයක යෙදෙන්නටද ගාමිණී මුතුකුමාරණ පසුබට නොවේ.     




  මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුව සිටි ප්‍රේමදාස බටුගොඩද රසවත් මතකපොතක් මෑතකදී පළ කළේය. එය මහනුවරදී එළිදුටුයේ යැයි මා කී දෙවෙනි පොතයි. 71 මතකාවර්ජනයක් (2023) නම් වූ ඒ පොත ඒ නමින් ඇඟවෙන පමණටත් වඩා අර්ථවත් ස්වයං චරිතාපදානමය පොතකි. නුවර දිස්ත්‍රික්කයේ නිර්ප්‍රභූ හා නිර්ධන පාන්තික පසුබිමක උපන් බටුගොඩ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍යයෙකුව සිටියදී 1971 කැරැල්ලට සම්බන්ධ විය. ආර්ථික අපහසුකම්වලින් පිරි ශිෂ්‍යයෙකු ලෙස 1966 වර්ෂයේදී විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෙවූ ජීවිතයෙහි තතුද, එම තතුම ඔහු 71 කැරලිකරුවෙකු වන්නට මෙහෙය වූ සැටිත් බටුගොඩගේ පොතෙහි සිත්ගන්නා ලෙස විස්තර වේ.

  ලංකාවේ දකුණේ සේම උතුරේ ඇති වූ තරුණ කැරලි යනු ඒවාට සහභාගි වූ තරුණ තරුණියන්ගේ මනස්වලට විසබීජයක් යාමෙන් ඇති වූ ලෙඩක් නොවේ. තමන් උපන් රටෙහි අභිමානවත් පුරවැසියන් ලෙස ජීවත්වීමේ ආශාව හා අවශ්‍යතාව ඒ තරුණ නැගිටීම් සියල්ල පිටුපසම තිබේ. මෙතෙක් සඳහන් කෙරුණු පොත්වල ඒ අභිලාෂයේ විවිධ ස්වරූප ඉතා හොඳින් නිරූපණය වේ.

   මේ රටේ ප්‍රභූ පාලක පන්තිය තමන්ට අවශ්‍ය ආකාරයට සාදාගත් ලංකාවේ රාජ්‍යය රැඩිකල් වෙනස්කම්වලට බඳුන් නොකර ආරක්ෂා කරන්නට කොයි තරමක වුවත් රුධිර ගංගාවක් ගලා යවන්නට වුවද පසුබට නොවන සැටි පොත් තුනේම පෙනේ.

   මෙවැනි නිර්ප්‍රභූ චරිත තම ජීවිත සම්බන්ධයෙන් පොත පත ලිවීම ඉතා අර්ථවත් ක්‍රියාවකි. එමගින් ඔවුන්ගේ ජීවන යථාර්ථ ගොඩනැගුණු සැටි පමණක් නොව ඒ ජීවන යථාර්ථ වෙත ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකාරයද අපට දැනගන්නට ලැබේ.




Tuesday, April 9, 2024

කලාවේ සෙල්ලම්කාරකම හා ආස්වාදය - ලියනගේ අමරකීර්ති



   කලාව තුළ එක්තරා සෙල්ලම් කිරීමේ මානයක් තිබේ. ඉංග්‍රීසියෙන් playfulness   යැයි හැඳින්වෙන අදහස මා විටින් විට මගේ රචනාවලදී භාවිත කර ඇත්තේ ‘සෙල්ලම්කාරකම’ යනුවෙනි. එය පරිස්සමින් භාවිත කළ යුතු වචනයකි. එය ‘සෙල්ලක්කාරකම’ සමග පැටලිය හැකි බැවිනි. ‘සෙල්ලම්කාරකම’ යනුවෙන් මා අදහස් කරන්නේ කලා කෘතියක් නිර්මාණය කරන අවස්ථාවක කලාකරුවා තුළ එක්තරා සෙල්ලම් ‘ක්‍රීඩාවක යෙදෙන්නාක්’ වැනි ගුණයක් පැවතීමය. කලා කෘතිය කොතරම් බරපතළ අර්ථ ජනිත කළත් ඕනෑම කලා නිර්මාණ කාර්යයක එක්තරා සෙල්ලම් කිරීමේ ගුණයක් පවතී. සෙල්ලම්කාරකම යනුවෙන් මා හඳුන්වන්නේ එයයි.

  මා මේ ලිපි පෙළෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ සාහිත්‍ය කලා ගැනයි. එහෙත් මා මේ ගොඩනගන තර්කය අනික් කලා ප්‍රභේදවලටත් අදාළය. එපමණක් නොව අප සංස්කෘතිය යැයි සලකන බොහෝ දේ පිටුපස ‘සෙල්ලමෙහි යෙදීමට’ මිනිසාගේ ඇති කැමැත්ත පවතින බව පෙන්වා දෙන දාර්ශනිකයෝ වෙති. 

  මා මේ ලිපියට ප්‍රවේශ වන්නට රුවන් බන්දුජීවගේ ධූමලාවණ්‍යාගාරය පොතෙහි එන කවියක් භාවිත කරන්නට කැමැත්තෙමි. එහි එන සුරාසල් කවි නම් කවියෙහි එක එක ර පොලින්රා බී මත් වන කෙනෙකු හෝ පිරිසක් ගැනය. එය තරමක් දිග කවියකි. එහෙයින් සම්පූර්ණයෙන් උපුටා දැක්විය නොහැකිය. එහි එන පැදිවලින් තුනක් මෙසේය:

“කුරුඳු කෝටු ගොඩ තලලා ඉවර වෙලා

අප්පුයි මා රා කළයක් ඉවර     කළා

වැනි වැනි ඇවිත් අපි හිටියදි දොළට වෙලා

දොළ ගල් අතර හිර වී හඳ මාම මලා



තොටුපළ ළඟදි වක්කරලා     ඔරුවකට

තෙලිකඩ රාළ රා පෙව්වලු කිඹුලෙකුට

හිනාවුණු ගමන්මල් දැන් උගේ    කට

කරදර කරන්නෑ කිව්වලු ඌ      ගමට



පේරාදෙණිය හරියෙදි හරි වැඩක් වුණා

රූරා ගලපු ගඟ ගල උඩ නතර   වුණා

මීරා පොළේ කොයි කවුරුත් එකතු වුණා

තල්ලු දෙකක් දැම්මම ගඟ පිටත් වුණා


  මේවා වූකලි බන්දුජීවගේ කවියෙන් තැනින් තැන උපුටාගත් පද්‍යයන්ය. ඔහුගේ කවිය කොහොමත් ‘සෙල්ලම්කාරකම්වලින්’ පිරී තිබේ. මීළඟ මීවිත නම් කලින් පොතෙහිද මේ ලක්ෂණය තිබිණි. 


  කවියන් වැනි නිර්මාණශීලී ලේඛකයෝ නිර්මාණකරණයේදී සෙල්ලම් කරන්නෝ වෙති. ඒ සෙල්ලම්කාරීත්වය එක එක නිර්මාණකරුවාගේ නිර්මාණවල පැනෙන්නේ එක් එක් ප්‍රමාණවලිනි. ඒ ගුණ බොහෝ අඩු නිර්මාණවල එක්තරා දරදඬු ඒකාකාරිත්වයක් පවතින අවස්ථා තිබේ.

  බන්දුජීවගේ ඉහත පැදිවල ‘සෙල්ලම්කාරිත්වය’ වඩාත් පෙනෙන්නේ ඔහුගේ පරිකල්පන ක්‍රීඩාවේය. ඒ කවියෙහි එන්නේ රා බී මත්වීමෙන් තථ්‍ය යථාර්ථය ඉක්මවා පරිකල්පනමය ලෝකයට ප්‍රවේශ වන කෙනෙකුගේ මානසික තත්ත්වය වැන්නකි. තුන්වෙනි පද්‍යයෙන් පෙනෙන හැටියට රා මතින් සිටින පිරිසකට පෙනෙන්නේ ගලාගෙන හා මහවැලි ගඟ පේරාදෙණියේදී නතර වූ බවයි. වාහනයක් නතර වන්නාක් මෙනි. රා පොළේ බිබී උන් පිරිස තල්ලුවක් දැමූ විට ගඟ ගලයි. මෙය ඉතා සෙල්ලම්කාර පරිකල්පනයකට හොඳ නිදර්ශනයකි.

   නිර්මාණශීලී ලේඛනයේදී රචකයන් කරන්නේ එවැනි සෙල්ලම් පමණක් නොවේ. සමහරු භාෂාව සමග සෙල්ලම් කරති; සමහරු ආකෘති සමග සෙල්ලම් කරති; ප්‍රබන්ධ කථාවේදී ඒ කලාවට අයත් බොහෝ අංග සමග සෙල්ලම් කරන අය සිටිති. කතාවේ ව්‍යූහමය අංග වන ආකෘතිය, කතා වින්‍යාසය, කථකයා, දෘෂ්ටිකෝණය ආදී සියලු අංග සමග එක්තරා ආකාරයක සෙල්ලමක යෙදීම හොඳ ප්‍රබන්ධ රචකයෝ කරති. මේ වූකලි තමන් යෙදෙන කලාව ගැන සුඛනම්‍ය මනස්වලින් යුත් ප්‍රතිභාසම්පන්න අයට පමණක් කළ හැකි කාර්යයකි. කලාව ගැන දරඳඩු අනම්‍ය අදහස් දරන අයද කලාවේ ප්‍රධාන කාර්ය එහි දෘෂ්ටිවාදී මානය හෙවත් අදහස්මය මානය පමණකියි සිතන අයටද මෙය කළ නොහැකිය.

                               සෙල්ලම හා මනුෂ්‍යත්වය

    සෙල්ලම් කිරීම යනු මනුෂ්‍යයන් කරන ඉතා අර්ථවත් වැඩකි. එය පාඩම් කිරීම හෝ වැඩකිරීම වැන්නක් නොව එක්තරා නිර්උපයෝගිතා කාර්යයකි. එනම් සෙල්ලම් කිරීම යනු යමක් ලබා ගැනීම පිණිස කරන්නක් නොවේ. ගසකට නැග ගෙඩියක් කඩා ගැනීම උපයෝගීතා කාර්යයකි. ඒ ක්‍රියාවෙහි ඵලය ලෙස ගෙඩිය අපට ලැබේ. සෙල්ලම් කිරීම එවැනි ක්‍රියාවක් නොවේ. ක්‍රිකට් ක්‍රීඩාවෙහි දඟපන්දු යැවීමට කැමති මම කම්මැලිකමක් ආ විට ප්ලාස්ටික් බෝලයකින් අපේ ගෙදර සාලයේම දඟපන්දු යවමි. එක්තරා විකට්ටුවක් සකසාගෙන ඒ වෙත පාදඟ පන්දු යැවීම මහත් ආස්වාදයකි. ඒ නිසා ලැබෙන අන් කිසිම ඵලයක් නැත. ඵලය එම ක්‍රීඩාවමය. ඇතැම් සෞන්දර්ය දාර්ශනිකයන් පෙන්වා දෙන හැටියට කලා නිර්මාණය තුළ මෙම සෙල්ලම් කිරීමේ මානය තිබේ. ඕනෑම විශිෂ්ට කලා කෘතියක් තුළ ඒ කලාවට අදාළ නීතිරීති හෝ ව්‍යුහමය අංග සමග සෙල්ලම් කිරීමක් දැකිය හැකිය. ඇතැම් කෘතිවල සෙල්ලම්කාරකම පැහැදිලිව පෙනේ. සුරත්ද මැල්ගේ ළමුතු අමයා නවකතාවේ මේ සෙල්ලම්කාර ගුණය පැහැදිලිව පෙනෙන අතර එය කෘතියට එක් කරන අර්ථ කලාපය ඉහළය. ඔහුගේ සෑම කෘතියකම පාහේ මා මේ කියන සෙල්ලම්කාරකම දැකිය හැකිය. සමහර කෘතිවල එය පවතින්නේ කෘතිය තුළ සැඟවී ගෙනය. හොඳ රසිකයෝ එය හඳුනාගනිති. 

   ගුන්තර් ග්‍රාස්ගේ ටින් ඩ්‍රම් නවකතාවේ සවිඥානකව තම වයසට යාම නවත්තන කොලු ගැටයෙක් සිටියි. ඔහු හැදී වැඩීම ප්‍රතික්ශේප කරයි. නවකතාව කියවන අපට මේ සිද්ධිය හමුවන විටම එහි සෙල්ලම්කාරකම දකින්නට ලැබේ. නවකතාවේ තේමාත්මක අර්ථය විවර වන්නට පටන්ගන්නේද ඒ නිසාමය. මගේ අටවක පුත්තු නවකතාවේ ප්‍රධාන චරිතය වන දමයන්තගේ හිසට දෙල්ගෙඩියක් වැටීමෙන් පසු සෑම දෙයක්ම දෙකක් වී පෙනෙන්නට පටන්ගනියි. ඔහුගේ ද්විත්ව විඥානය කෙසේද යත් තමා තුළම නූපන නිවුන් සහෝදරයෙකු සිටින බව ඔහු විශ්වාස කරයි. ඔහුට දැනෙන හැටියට මේ නිවුන්නා දමයන්තගේ අභ්‍යන්තරයේ යම් තැනක සිට දමයන්තට කතා කරයි. 2007 වර්ෂයේ සිට තාමත් අලෙවි වෙමින් ජනප්‍රිය වී ඇති මේ නවකතාවේ ඒ ජනප්‍රියත්වයට එහි ඇති ආඛ්‍යානමය සෙල්ලම්කාරකම හේතු වී ඇති බව මම දනිමි. ඒ සෙල්ලම්කාරකමේ තේමාත්මක අර්ථය බොහෝ දෙනෙකු නොදකින්නට ඉඩ ඇති නමුත් ඒ සෙල්ලම්කාරකම ඒ නවකතාව ක්‍රියවීමෙන් ලැබෙන ප්‍රීතියේ කොටසක් බව පාඨකයෝ කියති. එය ඇත්තය. එවැනි ප්‍රබන්ධ සෙල්ලම්කාරකම් නිසා අප කියවන බොහෝ සාහිත්‍ය කෘති තිබේ. ඒවා කවි, කෙටිකතා, නවකතා ආදී ඕනෑම දෙයක් විය හැකිය.

   මා මීට කලිනුත් කිහිප වරක් මේ ලිපිවලදී සඳහන් කළ නයිජීරියානු ලේඛක බෙන් ඔක්රි දකින හැටියට අපේ අපගේ උපවිඥානය ක්‍රිඩාවලට කැමතිය. 

   ඔක්රි දකින හැටියට සම්පූර්ණ නිර්මාණශීලිත්වයම වටහාගත යුත්තේ ක්‍රීඩා ආශය හෙවත් සෙල්ලම් කිරීමේ ආශාව හා සම්බන්ධ වූ දෙයක් ලෙසය. මහත් දැඩි ආයාසයෙන් දැඩි බුද්ධිමය වෑයමකින් ගොඩනගන අදහස් වෙනුවට සැහැල්ලු සෙල්ලමක් සේ එළඹ ක්‍රමයෙන් ගැඹුරු තේමාත්මක ආවර්ජනා කරා කිඳා බසින්නට තැත් කරන කලා කෘතිය ආකර්ෂණීය වන බව ඔක්රි විශ්වාස කරයි. එය ඉතා නිවැරදි නිරීක්ෂණයකියි මමද සිතමි. ඒ සෙල්ලම්කාරකම නම් මානය දුර්වල වූ විට කලා කෘතිය නීරස වෙන්නට පටන්ගනියි. අපේ රටේ ඇතැම් ප්‍රවීණ සාහිත්‍යකරුවන්ගේ මෑත කාලීන නිර්මාණ ඒකාකාරී වන්නට එක් හේතුවක් වන්නේ අදාළ කලා ප්‍රභේදය තුළ නිර්මාණකරණයේදී ඒ සමග ළමයෙකු සේ සෙල්ලම් කිරීමෙහිලා ඒ ලේඛකයන් අසමත් වීමය. 

   අපි යම් විෂයක් ගැන කවියක් හෝ කෙටිකතාවක් ලියන්නේ යැයි සිතමු. ඒ විෂය ආශ්‍රිත සංකල්ප හා අදහස් සමග බරපතළ චින්තකයෙකු සේ පමණක් ගනුදෙනු කිරීමෙන් අදාළ කලා කෘතිය දුර්වල වේ. පාපන්දුවකට පයින් ගසමින් සෙල්ලම් කරන්නාක් මෙන් ඒ සංකල්ප හා අදහස් සැහැල්ලුවෙන් සෙල්ලම් කරන විට ඒ සංකල්ප හා අදහස් ඇසුරින් සංකල්ප රූප (චිත්ත රූප) ගොඩනගා ගැනීම පහසුය. අදහසක් චිත්තරූපයක් බවට පෙරළන ලද විට එය තවත් අර්ථ ජනනය කිරීමෙහි සමත් වේ.

 සාහිත්‍ය කෘතියකදී සෙල්ලම් කරන්නේ අදහස් හා සංකල්ප සමග පමණක් නොවේ. ඒ ඒ සාහිත්‍ය ප්‍රභේදය (ශානරයට) ආවේණික ව්‍යූහමය අංගද තිබේ. ඒවාද අනම්‍ය සිරගෙවල් සේ නොගෙන ඒවා සමග සැහැල්ලුවෙන් ක්‍රීඩා කිරීමෙන් ඒවාගේ ප්‍රකාශන ශක්තිය වැඩි වේ. 

  බෙන් ඔක්රි මෙසේ කියයි: “කලාකරුවා කිසිවිටෙකත් ක්‍රීඩාවේ ප්‍රාණය අත්නොහැර ගත යුතු” යැයි තර්ක කරන ඔහු කලාවට ආවේණික බරපතළ ක්‍රියා වෙත ප්‍රවේශ විය යුතු හොඳම විධිය ඉතා සැහැල්ලු ආත්මයකින් යුතුව වීම පුදුමසහගත බවද කියයි. ඔහු මේ පැහැදිලි කිරීම කරන්නේ   A Way of Being Free  කෘතියෙහිය. ඉන් අදහස් වන්නේ කුමක්ද? කලාකරුවා තම විෂය වෙත බරපතළ බුද්ධිමය ප්‍රවේශයකින් එළඹීම නරක යැයි බෙන් ඔක්රි කිසිවිටෙකත් කියන්නේ නැත. එහෙත් විෂය වෙත එළඹීමේදී තබා ගන්නා ක්‍රීඩාශීලී ප්‍රවේශය මගින් ඒ වෙත එක් කරන ආකර්ෂණීයත්වයක් තිබේ. අවසානයේදී එය තේමාත්මක බරපතළකම හෝ බරසාරත්වය කරාද ගමන් කරයි. එසේ ගමන් කරන තැනට තම නිර්මාණ කාර්ය මෙහෙයවා ගැනීම බුද්ධිමත් නිර්මාණකාරයාගේ ලක්ෂණයයි. ඉතා සැහැල්ලු සෙල්ලම්කාරකමින් රසිකයා සමග ආරම්භ කරන කලාත්මත ගනුදෙනුව වඩා ගැඹුරු තේමාත්මක මානයක් කරා ගෙන නොයන්නේ එය විශිෂ්ට කලාවක්ද නොවේ.

  මේ කාරණය පැහැදිලි කිරීමට ඉටාලෝ කැල්වීනෝගේ කෙටිකතාවක් වෙත යමු. උපමා කතාවක් වැනි සැහැල්ලු ඒ කතාව මෙසේය:

  එක්තරා නගරයක් තිබේ. එහි සියලු දේ තහනම්ය. තහනම් නැත්තේ එක දෙයක් පමණි. ඒ තහනම් නැති දේ කල්ලී ගැසීමේ ක්‍රීඩාව යැයි අපි කියමු. ඒ වූකලි බිම හෑරූ වළක් හරහා කුඩා ලී කැබැල්ලක් තබා එය තවත් දිග කෝටුවකින් ඈතට විසි කරමින් කරන ක්‍රීඩාවකි. ඒ ක්‍රීඩාව තහනම් නැති නිස ඒ නගරයේ සියලු දෙනා කරන්නේ නගර මධ්‍යයෙහි තැනකට ඇවිත් වලකජු ගැසීමය. අන් සියලු කටයුතු තහනම් කරන ලද්දේ එකින් එක වරින් වර නිසා ඒවා තහනම් වූයේ කවර හේතුවක් නිසාද යන්න දැන් කාටවත් මතක නැත. මේ අන්දමින් වසර ගණනාවක් කල්ලි ගැසීමේ ක්‍රීඩාව පමණක් කරගෙන යන විට එය නගරවාසීන්ගේ පුරුද්දක් බවට පත් විය.

  පසු කලෙක අනික් සියලු දේවල තහනම ඉවත් කෙරිණි. දැන් ඕනෑම දෙයක් කරන්නට අවසර ඇතැයි නගරවාසීන් වෙත පණිවිඩ යවන ලදී. එහෙත් නගරවාසීහු දිගටම කල්ලි ගැසීමේ ක්‍රීඩාව පමණක් කරගෙන ගියහ. මේ බව දැනගත් පොලීසිය අනික් කිසිම දෙයක් දැන් තහනම් නැතැයි නැවත පණිවිඩ එව්වද පුරවැසියන් කළේ කල්ලි ගැසීම පමණි. මේ නිසා නගර බලධාරීහු මෙවැනි තීරණයක් ගත්හ: ඔවුහු කල්ලි ගැසීමද තහනම් කළහ. ඉන් පසු නගරවාසීහු කැරලි කෝලාහල ඇති කළහ. මේ ගැටුම්වලින් බොහෝ දෙනෙක් මිය ගියහ.

ඒ කැරලිවලින් පසු නැවතත් නගර වැසියෝ ආපසු නිදහස ලැබ කල්ලි ගැසීමේ ක්‍රීඩාවේම යෙදුණහ.


  මෙය සරල සෙල්ලම්කාර කතාවක් වුවද කතාව අවසානයේදී ගැඹුරු තේමාවක් කරා යයි. කල්ලි ගැසීමේ ක්‍රීඩාව හැර අනික් සියලු දේ ක්‍රමයෙන් තහනම් වුවද එය සිදුවූයේ ටිකෙන් ටික නිසා නගරවාසීන්ට ඒ අහිමි වීම දැනෙන්නේ නැත. දීර්ඝ කාලයක් එකම දේට පුරුදු වී සිටින ඔවුන්ට අහිමි වූ අනික් දේහි වටිනාකම දැනෙන්නේද නැත. පසුව අනික් සියලු දේහි තහනම් ඉවත් කෙරුණද ඒ වෙනුවට ඒකාකාරී එකම ක්‍රීඩාවට හුරුවී අවසානය. එය තහනම් කරන ලද පසු ජනතාව කැරලි ගසා ඒ නිදහස දිනාගත්තද ඔවුන් නිදහස වෙත දැන් පෙනෙන්නේ කල්ලි ගැසීමේ ක්‍රීඩාව නැතිවීම පමණි. නැවත නිදහස දිනාගෙන පවා ඔවුහු අර නැති වූ අනික් දේ වෙත ආපසු නොයති.

  මේ සැහැල්ලු කතාව ඉතා බරපතළ ගැඹුරකින් යුතුය. පොහොසත් නාගරික ජීවිතයක පැවතිය යුතු බොහෝ සංස්කෘතික අංග නැතිව ගොස් ඇති බව ඔවුන්ට නොදැනේ. මේ වූකලි ලංකාවේ අපටද බෙහෙවින් අදාළ කතාවකි. අප යෞවන විය ගත කළ කාලයේ අපේ නගරවල සිනමා ශාලා තුන හතරක් හෝ පහක් තිබිණි. මා හැදුණු වැඩුණු කුරුණෑගල නගරයේ සිනමා ශාලා පහක් හෝ හයක් තිබිණි. දැන් ඇත්තේ දෙකකි. එහෙත් ඒ අහිමි වීම අපට නොදැනෙන්නේ ඉතුරු වූ ටිකට අප හුරුවී සිටින බැවිනි. මහ නුවර නගරයේ පැවති සිනමා ශාලා පහකින් පමණ දැන් ඉතිරිව ඇත්තේ එකකි. එයද ඇත්තේ කටුගස්තොටය. නුවර නගර කේන්ද්‍රයෙහි වූ සිනමා ශාලා සියල්ල වැසී ගොසිනි. එහෙත් අපි දැන් නගරයෙහි අලුතින් බිහිව ඇති මිලාධික සිනමා ශාලාවට හුරුවෙමින් සිටිමු.

  කැල්විනෝගේ කතාව මනුෂ්‍ය ජීවිතය ක්‍රමයෙන් දුප්පත්වීම හා ඊට මනුෂ්‍යයන් හුරුවීම පිළිබඳ අගනා උපමා කතාවක් සේ කියවිය හැකිය. එහෙත් එහි ගැඹුරු පවත්නේ එහි ඇති සෙල්ලම්කාර සරලකම තුළමය. මහා ඉහත උපුටා දැක්වූ රුවන් බන්දුජීවගේ කවිය හෝ ඒ පොතෙහි ඇති ඔහුගේ අනික් කවි ඒවාගේ වන සැහැල්ලු ක්‍රීඩාශීලිත්වය තේමාත්මක ගැඹුරක් කරා යන්නේද යන්න වැදගත් ප්‍රශ්නයකි. ඒ වූකලි ඒ පොත විචාරශීලීව කියවන අය පිළිතුරු දිය යුතු ප්‍රශ්නයකි.


April 7th, Aruna