Friday, May 14, 2021

අහනාෆ්ගේ කවිය සහ අපගේ මිලිටරි මනස: රාමසාන් රචනාවක් - ලියනගේ අමරකීර්ති




දෙමළ බසින් ලියන ශ්‍රී ලාංකික කවියෙකු වන අහනාෆ් ජසීම් තවමත් ඉන්නේ අත්අඩංගුවේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2020 මැයි 17 වෙනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි. මේ කවියාට විඳින්නට සිදු වී ඇති වධ බන්ධනය පිටුපස ඇති දේශපාලනය ඉතා පැහැදිලි එකකි. 

Monday, May 10, 2021

වර්තමාන නවකතාවේ එක් ප්‍රධාන ප්‍රවණතාවක් - ලියනගේ අමරකීර්ති

 



     ලෝක නවකතාවේ නව ප්‍රවණතා ගැන කෙටි ලිපියක් ලියන්නැයි ගාමිණි කන්දේපොල මහතා ඉල්ලා සිටියේය. මේ වූකලි ඉතා පළල් මාතෘකාවකි. සෑහෙන තරම් විශාල නවකතා සංඛ්‍යාවක් නොකියවා ඒ ගැන කතා කිරීම අමාරුය. අනික නවකතාව වැනි ඉතා විචිත්‍ර හා විවිධ සාහිත්‍ය විධියක එක් කලෙක ඇත්තේ එක් ප්‍රවණතාවක් නොවේ. ලෝකයේ විවිධ රටවල සිට විවිධ ආකාරයෙන් ලිවිය හැකි සාහිත්‍ය ශානරයක් (Genre) වීමම නවකතාවේ ස්වභාවයයි. එවැනි කලාවක ප්‍රවණතා සියල්ල ගැන සමාලෝචනයක් කිරීම ලෙහෙසි නැත. 

   1960-70 දශකවල සිට ලෝක නවකතාව තුළ දැකිය හැකි වූ ප්‍රධාන ප්‍රවණතාවක් වූයේ යථාර්ථවාදී ප්‍රතිනිර්මාණ විධිය අතික්‍රමණය කරන විකල්ප ප්‍රතිනිර්මාණ විධි පිළිබඳ ගවේෂණයයි. ඒ නිසා පහළ වී ජනප්‍රිය වූ ප්‍රතිනිර්මාණ විධියක් නම් මායා යථාර්ථවාදයයි. මැජික් රියලිස්ම් යනුවෙන් පැතිරි එය ලෝකය පුරා බලපෑමක් ඇති කළේය. ඉන් අදහස් කෙරුණේ සමාජ-දේශපාලන යථාර්ථයන් අත් හැර මැජික් ලෝකයක් ගැන ලිවීම නොවේ. සමාජ-දේශපාලන යථාර්ථයන්හි විෂයබද්ධ හා මනෝබද්ධ සංකීර්ණතා වඩා හොඳින් ග්‍රහණය කරන හා ඒවා සංකීර්ණ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කරන විධියක් සෙවීමයි. මූලික වශයෙන් ලතින් ඇමරිකානු රටවලින් පැන නැගි මේ ප්‍රවණතාව ලෝක පරිමාණ ආකර්ෂණයක් දිනා ගත්තේ හැට-හැත්තෑව දශකවලය. කොලොම්බියාවේ ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ සියක් වසරක හුදෙකලාව කෘතිය මේ ප්‍රවණතාවේ ආරම්භය නොවුණත් එහි ආකර්ෂණීයම අවස්ථාව විය. එය පළ වූයේ 1968 වර්ෂයේදීය. ඉංග්‍රීසියට පරිවර්තනය වූයේ 1970 දීය. මේ කාලයේම තවත් නවකතාකරුවෙක් මෙක්සිකෝවේ සිට මේ ප්‍රවණතාව ඉදිරියට ගෙන ගියේය. ඒ කාර්ලෝස් ෆුවෙන්තේස්ය. ඔහුගේ ද ඩෙත්  ඔෆ් ආර්ටිමියෝ කෲස් වැනි නවකතාවක් ඒ ප්‍රවණතාවම නියෝජනය කරයි. යුරෝපයේදී මේ ප්‍රවණතාවේ ගැඹුරුම නවකතාකරුවා හැටියට මා දකින්නේ පෘතුගීසි ලේඛක හොසේ සරමාගෝය. ජර්මනියේ ගුන්තර් ග්‍රාස් ඒ ප්‍රවණතාවේ වඩා ප්‍රකට යුරෝපීය රචකයා වන්නට පුළුවන. මැජික් රියලිස්ම් ප්‍රවණතාව නැගෙනහිර යුරෝපයේදී ආකර්ෂණීය සේ නියෝජනය කළේ චෙක් ජාතික ලේඛක මිලාන් කුන්දේරාය.  ටෝනි මොරිසන්, ඇමී ටෑන් වැනි ලේඛිකාවන් හරහා නූතන ඇමෙරිකානු නවකතාව වෙතද පිවිසුණු මේ ප්‍රවණතාව සල්මාන් රුෂ්ඩි ඔස්සේ දකුණු ආසියාව නවකතාවට ආයේය. බෙන් ඔක්රිගේ ප්‍රබන්ධ කතාවලින් එහි අප්‍රිකානු ලක්ෂණ පෙනේ. ඒ ප්‍රවණතාව ජපානයට එළඹුණු බව හරුකි මුරකමිගේ නවකතාවලින් පෙනේ. 

    මැජික් රියලිස්ම් හෙවත් මායා යථාර්ථාදී නවකතාකරුවන් සොයා ගිය අලුත් ප්‍රතිනිර්මාණ විධිය ඒ ඒ සාහිත්‍ය සංස්කෘතියේ ප්‍රකාශයට පත් වන්නේ ඒ ඒ ආකාරටය. නිදර්ශනයක් ලෙස රුෂ්ඩිගේ මායා යථාර්ථවාදය ඉන්දියානු දේවකතා, අරාබි නිසොල්සාලය, කුරාණය වැනි ඉස්ලාම් සංස්කෘතියේ කතා බල පෑවේය. බෙන් ඔක්රිගේ මායා යථාර්ථවාදයට අප්‍රිකානු ජනකතා හා හොල්මන් කතා බලපෑවේය. ඒ නිසා මායා යථාර්ථවාදය යනු ලෝකය පුරා එකම ලක්ෂණ දැරූ ප්‍රවණතාවකියි කීම වැරදිය. මේ කාරණය මම අමුතු කතාව නම් කෘතියේදී සෑහෙන තරම් සරලව පැහැදිලි කළෙමි. යථාර්ථවාදය යන්න ලෝකය පුරාම එකක් නොවූ සේම මායා යථාර්ථවාදයද ලෝකය පුරාම එකක්ම වී යැයි ගැනීම වැරදිය. එහෙත් තාර්කික හේතුපල සම්බන්ධයෙන් යුතුව කතාව ගොඩ නගන සාමාන්‍ය යථාර්ථවාදී ප්‍රතිනිර්මාණ විධියට විකල්පයක් සොයන්නට සාපෙක්ෂ වශයෙන් එකම කාලයක ලෝකය පුරාම ලේඛකයන් කැපවීම සිත් ගන්නාසුලු සංසිද්ධියකි. මෙවර විවිධ සම්මාන සඳහා නිර්දේෂ වූ ටෙනිසන් පෙරේරාගේ අභිරහස් ජීවිත තරණය හා කපිල කුමාර කාලිංගගේ පියැසි කවුළුව යටකී ප්‍රවණතාවේම ඵලයෝ වෙති.

   දළ වශයෙන් පසුගිය දශක හයක පමණ කාලය තුළ ලෝකය පුරා පැවති මේ ප්‍රවණතාව හුදෙක් මායා යථාර්ථවාදී ප්‍රවණතාව යැයි හැඳින්වීම අතිසරලකරණයක් නිසා ඒ ඒ විවිධ ආකාරයේ ප්‍රතිනිර්මාණවිධි සහිත නවකතා පශ්චාත්-යථාර්ථවාදී නවකතා ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි. ඇතැම් විචාරකයන් ඒවා හඳුන්වන්නේ විකල්ප-යථාර්ථවාදී හෙවත් ඕල්ටර් රියලිස්ම් යන පදයෙනි. 

   කවර නමකින් හැඳින්වුවත් මේ ප්‍රවණතාව ගෝලීය වශයෙන් පැතිරුණු ආකර්ෂණීය නිර්මාණ රැසක් බිහි කළේය. දැන් බොහෝ ලේඛකයෝ මේ ප්‍රවණතාවේ ප්‍රධාන ලක්ෂණ අන්තරීකරණය කරගෙන සරල යථාර්ථවාදය ඉක්මවන ආකාරවලින් ලියති. වර්තමාන සිංහල කෙටිකතාව මේ ප්‍රවණතාවෙන් විශිෂ්ට පල ලබා ඇති බව පෙනේ.


   මායා යථාර්ථවාදයෙන් පසු ගෝලීය වශයෙන් පැතිරුණු ශිල්පීය ප්‍රවණතාවක් දකින්නට නැත. අද කොහේ ලියවෙන නවකතාව වුවත් අඩුවැඩි වශයෙන් ඒ ප්‍රවණතාවේ ආභාසය හා ආවේශය ලැබූ නවකතා වෙයි. එහෙත් අප අමතක නොකළ යුතු දෙයක් නම් සරල යථාර්ථවාදී ප්‍රතිනිර්මාණ විධිය අනුගමනය කරන විශිෂ්ට නවකතා තාමත් ලියවෙන බවය. 

ගෝලීය පුරවැසියාගේ කතාව

    මෙසේ විවිධ ආකාරයෙන් ලෝකයේ වර්තමානයෙහි ලියවෙන නවකතා සියල්ලෙහි තේමා හෝ විෂයයන් ගැන මට අවබෝධයක් නැතත් ඒවායෙහි එන එක් තේමාත්මක ප්‍රවණතාවක් මට පෙනේ. එය නම් ගෝලීයකරණය වූ ලෝකයක මිනිසාගේ ජීවිතය පිළිබඳ නවකතාවයි. ඒ ප්‍රවණතාවේ විවිධ අනුප්‍රවණතා ඇතත් ප්‍රධාන ප්‍රවණතාවේ නවකතාවලින් කියවෙන්නේ මෙයයි: තව දුරටත් මිනිස් ජීවිතය යනු ලෝකයේ කොහේ හෝ හුදෙකලා මුල්ලක ඇති ගමක කතාවක් නොවේ. ඇෆ්ඝනිස්ථානයේ ඈත පිටිසර ගමක ගෝත්‍ර වැසියාගේ ජීවිතය මත් ද්‍රව්‍ය වෙළඳාම නැත්නම් පොපි වගාව මගින් ලෝකය සමග සම්බන්ධය. ඇමරිකානු ආක්‍රමණය නිසා ඒ සම්බන්ධය තවත් තීව්‍ර වී ඇත. ඉරාකයේ ඈත පිටිසර ගමක දරුවෙකුට අකාලයේ මැරෙන්නට සිදුවන්නේ ඉරාකයේ තෙල් ඇති නිසාත් ලෝකයේ අනික් රටවල මිනිසුන්ට (ඉරාකයත් ඇතුලුව) මිනිසුන්ට කාර් ඇති ඇති නිසාත්ය. ඊට සෘජුව වගකිව යුත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදය වුවද තෙල් පරිභෝජනය කරන අපි කවුරුත් ඊට වක්‍රව වගකිව යුත්තෙමු. එසේම සංස්කෘතික වශයෙන්ද ලෝකයේ සෑම කොණක්ම පීඩනයකට හසු වී තිබේ. අධිරාජ්‍යවාදී සංස්කෘතිය අනිකුත් සංස්කෘතීන් තෙරපා පීඩනයකට හසු කරයි. සංස්කෘතීන්ට තම තම තෝරා ගැනීම පරිදි එකට සම්මිශ්‍රණය වන්නට ඉඩ හා කාලය නොදෙන අධිරාජ්‍යවාදය තම සංස්කෘතික ප්‍රවණතා සෙසු ලෝකය මත පටවයි. එහිදී සෙසු ලෝකය මත පටවන්නට අධිරාජ්‍යවාදියා තෝරා ගන්නේ තමන්ට වෙළඳමය හා දේශපාලන වාසි ලැබෙන සංස්කෘතික ලක්ෂණය. පරිභෝජන සංස්කෘතිය පතුරුවන අතර නිදහස් පුරවැසිභාවය පිළිබඳ අදහස් පතුරුවනු නොලැබේ. අධිරාජ්‍යවාදියාට අවශ්‍ය කීකරු පාරිභෝගිකයන් මිස නිදහස් චින්තනයෙන් යුත් පුරවැසියන් නොවේ. ඒ ඒ රටවල ජාතික රාජ්‍යයන්ටත් අවශ්‍ය මෙවැනි ජනපිරිසකි. ඒ නිසා අධිරාජ්‍යවාදියා හා දේශීය පාලකයා යනු එකම න්‍යාය පත්‍රයකට වැඩ කරන අය වෙති. මෙරට ඊට හොඳ නිදර්ශනයකි.

   මේ තත්වය ගවේෂණය කිරීම වර්තමාන ලෝක නවකතාවේ දැකිය හැකි ප්‍රවණතාවකි. ප්‍රාග්ධනයට නිදහසේ ලෝකය පුරා ගමන් කරන්නට නිදහස ඇතත් මනුෂ්‍යයන්ට ඒ නිදහස නැති ගෝලීයකරණය වූ ලෝකයක මිනිස් අත්දැකීම ප්‍රබන්ධගත කිරීම ඒ ප්‍රවණතාවයි. මේ ප්‍රවණතාවට අයත් නවකතා මාලාවක් පසුගිය කාලය පුරා පළ විය. ඉංග්‍රීසි බසින් ලියවුණු ඒ නවකතා අතර බෙහෙවින්ම ජනප්‍රිය වූ නවකතාවක් වන කයිට් රනර් නවකතාවට පසුබිම් වන්නේ රුසියාව(1975) හා ඇමරිකාව(2001) විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කරනු ලැබීමෙන් පසු ඇති වූ තත්වයයි. තලෙයිබාන්වරුන්ගේ නැග්මත් ඇෆ්ඝනිස්ථානය වෙත රුසියානු ආක්‍රමණයත්, ඊටත් පසු ඇමරිකානු ආක්‍රමණයත් පසුබිමෙහි ඇෆ්ඝන් ජාතිකයාගේ ජීවිතය පිළිබඳ අනුවේදනීය කතාවක් එහි එයි. ඛලීඩ් හුසේනි නම් ඇෆ්ඝන්-ඇමරිකානු වෛද්‍යවරයා විසින් ලියන ලද මෙම නවකතාව ඇමරිකානු අධිරාජ්‍යවාදය කෙරෙහි ප්‍රමාණවත් තරම් විචාරාත්මක නොවීම එහි අඩුවකියි කිවහැකි වුවත් මිනිස් ජීවිතය ගෝලීය පසුබිමක තබා වටහා ගන්නට එය තැත් කරයි. 

    මොශීන් හමීඩ්ගේ ද රිලක්ටන්ට් ෆන්ඩමෙන්ටලිස්ට් නවකතාවත් 2001 වර්ෂයේදී නිව්යෝක්-වොෂින්ටන් දෙනුවරට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ ප්‍රකට විශ්වවිද්‍යාලයක උගෙන එහිම රැකියාව කරන චින්ගේස් නම් පාකිස්ථානු තරුණයෙකුගේ අත්දැකීම් මාලාවක් එහි එයි. අතිදක්ෂ ශිෂ්‍යයෙකු වන ඔහුට ඉහළ පාන්තික ඇමරිකානු පෙම්වතියක්ද සිටියි. එහෙත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ පැතිර ගිය මුස්ලිම් විරෝධය නිසා සිය අනන්‍යතාව යළි හඳුනාගන්නා ඔහු තමා මුස්ලිම්වරයෙකුය යන අනන්‍යතාවෙහි තදින් පිහිටන්නට පටන්ගනී. ඔහුගේ කාර්යක්ෂතාව හා දක්ෂතාව නැතිව යයි. ඔහුට රැකියාව අහිමි වෙයි. යළි සිය රට එන ඔහු මුස්ලිම් සටන්කාමියෙකු බවට පත් වන බව නවකතාවෙන් ඉඟි කෙරේ. එක් අතකින් ජාතිකවාදී දේශපාලනයත් අනික් අතින් අධිරාජ්‍යවාදී ලෝක පද්ධතියත් තුළ මිනිසා පෙළෙන සැටි මේ නවකතාවෙන් කිය වේ. මෙතරම් සෘජුව දේශපාලනික නොවුණත් ඉංග්‍රීසියෙන් නවකතා ලියන අය මේ ගෝලීය අත්දැකීම ගැන නිතර ලියති. දකුණු අප්‍රිකානු ලේඛිකා නැඩීන් ගෝඩිමර්ගේ ද පිකප් නවකතාව නීති විරෝධී සංක්‍රමණය විෂය කර ගනී. එය ප්‍රාග්ධනයට මිස මනුෂ්‍යයාට රටින් රට යාමට නොහැකි වූ ගෝලීයකරණය ප්‍රශ්න කරයි. 

   විවිධ රටවලින් ලෝකයේ ධනවත් රටවලට සංක්‍රමණය වූ අය සංස්කෘතීන් දෙකක් අතරට මැදිව නව ජීවිතයක් ගොඩ නගා ගැනීමට ප්‍රයත්න දරන අන්දම ගැන නවකතා නිතර ලියවේ. ජුම්පා ලහිරිගේ ද නේම්සේක්,  මීරා චාන්ද්ගේ අ ඩිෆරන්ට් ස්කයි, ඇන්ඩි්‍රයා ලෙවිගේ ස්මෝල් අයිලන්ඩ් හා ෆෘට්  ඔෆ්ද ලෙමන්, හනීෆ් කුරේෂිගේ ද බුද්ධා ඔෆ් ද සබර්බියා, ඇමී ටෑන්ගේ ජෝයි ලක් ක්ලබ් ආදී නවකතා, සේඩි ස්මිත්ගේ වයිට් ටීත්,  ආදී නවකතා ගණනාවක් ඉන්දියාව, ටි්‍රනිඩෑඩඩ්, චීනය, පාකිස්ථානය යනාදී රටවලින් සංවර්ධිත බටහිර රටවලට සංක්‍රමණය වූ ජනයාගේ ජීවිතය ගැනය. ඒ නවකතා පශ්චාත්-ජාතික රාජ්‍යය ලෝකයක යථාර්ථයන් ගැන කියන අතර ඒවාට ගෝලීය පාඨක පිරිසක් සිටියි. ඒ නිසා නවකතා එක්තරා ආකාරයක ගෝලීය නවකතා විශේෂයක් යැයි හඳුන්වන්නට පුළුවන. කැනඩාවේ වසන සිංහල සම්භවයක් ඇති රැන්ඩි බෝයගොඩගේ ද බෙගාර්ස් ෆීස්ට් නවකතාව මේ ප්‍රවණතාවටම නිදර්ශනයකි. ලංකාවෙන් ඒ රටවලට සංක්‍රමණය වූ ජනයාගේ දෙවැනි පරම්පරාව අතරින් මෙවැනි නවකතාකරුවන් පහළ වීමට ඉඩ ඇත. හිමාලි එන්. ලියනගේගේ දෙහි, සුවඳ රස හා කටු නවකතාවේ මේ තේමාව සම්බන්ධයෙන් සිංහලෙන් ලියවුණු නවකතාවකි. ඒ නිසා සිංහල භාෂාවෙන් පවා විදේශයන්හි සිට විදේශයන්හි ජීවිතය ගැන කිය වෙන නවකතා ලියවෙන්නට ඉඩ ඇත. 

    පශ්චාත්-ජාතික රාජ්‍යමය ලෝකයක යථාර්ථය පිළිබඳ නවකතා වර්තමාන නවකතා කලාව වෙත මා දකින එක් ප්‍රවණතාවකි.

    

  (2012 වසරේදී ලංකාදීප පුවත්පතට ලියූවකි)

Saturday, May 8, 2021

අප සිතන විධිය වෙත වෙළඳ මාධ්‍ය කරන බලපෑම ඉක්මවන අධ්‍යාපනයක් - ලියනගේ අමරකීර්ති

                 




(මෙම කෙටි රචනයද මානව ශාස්ත්‍ර විෂය ක්ෂේත්‍රයෙහි කාර්යභාරය ගැන දේශනයකින් කොටසකි. වචන 1200කට කෙටි කර ඇත.)


අප ජීවත්වන යුගය වෙළඳ මාධ්‍ය මගින් බෙහෙවින් පාලනය කරන ලද්දකි. අපේ ඇසට පෙනෙන සියලු ශබ්ද සහ සියලු රූප වානිජ ජනමාධ්‍ය විසින් පාලනය කෙරේ. අපගේ පරිභෝජන පුරුදු හෙවත් භාණ්ඩ හා සේවා සඳහා අපගේ ඉල්ලුම හැඩගැස්වීම ඒ මාධ්‍යයෙහි කාර්යයි. ඊට අමතරව දැනට පවතින පරිභෝජන ධනවාදය සාමාන්‍යකරණය කිරීම, එය පැවතිය හැකි එකම යථාර්ථය යැයි ඒත්තු ගැන්වීම ආදිය වානිජ ජනමාධ්‍ය නිසා සිදුවේ. ඒ කාර්ය කිරීමට එවන් සන්නිවේදන ක්ෂේත්‍රවල සිටින අයට විශාල වැටුප් ගෙවනු ලැබේ. වානිජ ජනමාධ්‍යය යනු නව ලිබරල් ධනවාදයේ වාහකය නොව නවලිබරල් ධනවාදයෙහි නිෂ්පාදනයම ජනමාධ්‍යය යැයි අරුන්දතී රෝයි ලියූවේ එහෙයිනි. එනම් නව ලිබරල් ධනවාදය විසින් නිපදවනු ලබන යමක් වේද ඒ වූකලි වානිජ ජනමාධ්‍යමය සංකල්පරූපය.

මෙම කෙටි රචනයෙහි අරමුණ නූතන ජනමාධ්‍ය නිසා ඇති වන ජනප්‍රිය මහ ජන සංස්කෘතිය අපගේ චින්තනය පාලනය කරන ආකාරය ගැන ඔබගේ අවධානය යොමු කිරීමය. මේ කරුණ ගවේෂණය කිරීම සඳහා ලංකාවේ කෙරුණු පර්යේෂණ නැත. අප රට සන්නිවේදන අධ්‍යයනය උගන්වන විශ්වවිද්‍යාල පැවතියද ඒවායින් කෙරෙන්නේ අර කී ජනමාධ්‍ය ලෝකයට ශිල්පීන් බිහි කිරීම මිස වර්තමාන මාධ්‍ය සහ ජීවිතය අතර සම්බන්ධය විචාරාත්මකව අධ්‍යයනය කිරීම නොවේ. ඒ නිසා මා මෙහිලා කරුණු උකහා ගන්නේ ඉතා ප්‍රබල වානිජ මාධ්‍ය කර්මාන්තයක් ඇති ඇමරිකාවෙනි. ඒ කර්මාන්තය තරමටම ප්‍රබල ලෙස වානිජ ජනමාධ්‍ය පිළිබඳ විචාර සංස්කෘතියක්ද එරට ඇත. 

                               මහසෙනගෙහි සිතීම


නූතන ජනමාධ්‍ය නිසා ඇතිවූ සංස්කෘතික ගති ලක්ෂණ mass culture යනුවෙන් හැඳින්වේ. එය සිංහලයෙන් තේරුම් ගැනීම හිතන තරම් පහසු නැත. පොදු මහජන සංස්කෘතිය, ජනරාශියෙහි සංස්කෘතිය, මහ සෙනගෙහි සංස්කෘතිය වැනි අර්ථ එහි තිබේ. එමෙන්ම තොග නිෂ්පාදිත සංස්කෘතිය යන අර්ථයද එහි තිබේ. එසේම නොගැඹුරු මතුපිට සංස්කෘතිය යන අර්ථයද එහි වේ. මෙම යෙදුම වහරන්නේ ඉන් අදහස් වන සංස්කෘතිය කවරකින් වෙන් කරගන්නටද යන්නද නිතරම පැහැදිලි නැත. ඒ නිසා එය වටහා ගැනීම උදෙසා අපට එය සම්භාව්‍ය හෝ විදග්ධ සංස්කෘති සමග සන්සන්දනය කළ හැකිය. සම්භාව්‍ය විදග්ධ සංස්කෘතියට ඔතෙලෝ නාට්‍ය හෝ සිංහබාහු නාට්‍ය අයිති වේ නම් දෙවෙනි ඉණිම ජනරාශියෙහි සංස්කෘතියට අයිති වේ. මෙවන් කලා කෘතිවලට අමතරව වානිජ ජනමාධ්‍ය විසින් ප්‍රචලිත කෙරෙන විලාසිතා, රුචි අරුචිකම්, ප්‍රමුඛතා, පරිභෝජන රටා ආදිය මාස් කල්චර් හෙවත් මහසෙනගෙහි සංස්කෘතියට අදාළ වේ.


මෙම මතුපිට සංස්කෘතියෙහි මනෝමය බලපෑම ඉතා ප්‍රබලය. අද වන විට අපගේ තරුණ පරම්පරාව වෙත බලපාන ප්‍රඥාවේ මූලාශ්‍ර හැටියට ප්‍රධානත්වය ගෙන ඇත්තේ විද්්‍යුත් මාධ්‍ය, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය ආදියයි. මෙය අලුතින් කියන්නට තරම් දෙයක්ද නොවේ.

සාමාන්‍ය ඇමරිකානු දරුවෙකු අවුරුදු 18 වන විට පැය 11000ක් පන්ති කාමරයේද පැය 22000ක් ටෙලිවිෂනය ඉදිරිපිටද ගත කරන බව ගණන් බලා තිබේ. එම කාලය තුළ ඔහු හෝ ඇය පාසැලේ පාඩම් 13000කට සහභාගි වන අතර ටෙලිවිෂන් වෙළඳ දැන්වීම් 75000 (හත්ලක්ෂ පනස් දාහක්) පමණ නරඹයි. අවුරුදු 35 වන විට ඒ පුද්ගලයා නිල අධ්‍යාපනික පැය(ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි වැනි) 20000ක ඇසුරු ලබන අතර පැය 45000ක් පමණ ටෙලිවිෂන් බලයි. ඒ කාලය තුළ ඔහු හෝ ඇය වෙළඳ දැන්වීම් මිලියන දෙකක් නරඹයි. මෙහි භයානකත්වය වටහා ගත එරට දරුවන් නැවතත් පොත පත කියවීම වෙත යොමු කරන්නට ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ආරම්භ කළේය. ඇතැම් දැන උගත් දෙමව්පියෝ (සුළු පිරිසක්) ටෙලිවිෂනය තම නිවෙස්වලින් ඉවත් කළහ.


අප රට මෙවැනි සංඛ්‍යා ලේඛන සොයාගන්නට නැත. එහෙත් තත්ත්වය අඩු වැඩි වශයෙන් සමාන්තර යැයි උපකල්පනය කළ හැකිය.

                              අප වෙත එල්ල වන ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රහාරය

අප අර තරම් විශාල ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රහාරයකට ලක්වීම අපට බලපාන්නේ කෙසේද?

පර්යේෂකයෝ මෙසේ කියති: වර්තමාන වෙළඳ දැන්වීම් යනු ඉතා සියුම් නිෂ්පාදනයකි. ඒවාගේ ආකෘතියම අපගේ තාර්කික විඥානයෙහි මතුපිට විනිවිද යයි. මේ නිසා භාණ්ඩ හා සේවා පිළිබඳ කෘත්‍රිම අවශ්‍යතාවක් නිර්මාණය කෙරේ. එසේ කරන්නේ අපගේ භාවයන්ම ආමන්ත්‍රණය කරමිනි. ඒ නිසා වෙළඳමය කියාපෑම් වෙත හැඟීම්බර ලෙස, ආවේගමය ලෙස, වහා රැවටෙන බොළඳකමින් යුතුව ප්‍රතිචාර දැක්වීමට අපි හුරුවක් ලබමු. මෙය සෙමින් සෙමින් ඇති වන හුරුවකි. එසේම ඒ වෙළඳ දැන්වීම් මගින් වඩා කල්පනාකාරී, ගැඹුරු චින්තන සම්ප්‍රදායයන්ගෙන් අප උගත් වටිනාකම්වලට වඩා වෙනස් වටිනාකම් පද්ධතියක් වෙතට අප උරා ගැනේ. මෙයද සෙමින් සෙමින් සිදුවන්නකි. උදාරහණයක් මෙසේය: බොහෝ විට වෙළඳ දැන්වීම් මගින් සෙල්ලම් කිරීම යන්න වැඩ කිරීමට වඩා වැඩි සන්තෘප්තිදායක දෙයක් ලෙසද, ආත්මීය ඉන්ද්‍රිය ප්‍රීණනය හෙවත් ඉඳුරන් පිනවීම ආත්ම පාලනයට වඩා හොඳ දෙයක් ලෙසද, පරමාදර්ශී වටිනාකම්වලද වඩා භෞතිකමය දේවල වටින බවද පෙන්වා දෙනු ලැබේ. මේවාගේ විවිධ ස්වරූප පැවතිය හැකිය. මානසික හෝ බුද්ධිමය වර්ධනයට වඩා කාය ශක්තිය හා කායික ආකර්ෂණය වටිනා දෙයක් දෙයක් යැයි විටෙක අඟවනු ලැබේ. මෙවන් වටිනාකම් පිළිබඳ පීලි පැනීම් සිදුවන්නේ හුදෙක් එක වෙළඳ දැන්වීමකින් නොවේ. ලක්ෂණ ගණන් වානිජමය පණිවිඩ නිරන්තරයෙන් අපගේ විඥානය මත කඩා වැදී මේ වෙනස ක්‍රමයෙන් ඇති කරයි. 

   එවන් වෙළඳ පණිවිඩ බාරගෙන ඒවා ස්වකැමැත්තෙන් ප්‍රතිනිෂ්පාදනය කරන අයද සිටිති. නළුනිළියන්, ක්‍රීඩකයන් වැනි ජනප්‍රිය චරිත එහි යෙදෙන පිරිසකි. අපේ රටේ නම් මෝස්තර නිර්මාණකරුවන්, නිරූපණ ශිල්පීන්, ටියුෂන් ගුරුවරුන් වැනි අයද මේ ප්‍රතිනිෂ්පාදකයන් අතරට වැටේ. 

                                       අවධානයක් නැති හිස් බැල්ම

   මෙසේ අපගේ ජීවිතය හතර වටින් වට කර ඇති වානිජ මාධ්‍ය කරන බලපෑම් ඉතා සියුම් ලෙස විශ්ලේෂණය කළ අය වෙති. මහාචාර්ය වින්සන්ට් රයන් රගීරෝ එක් අයෙකි. ඔහුගේ පොතපත ගැන විස්තර මේ ලිපිය අග එයි. ටෙලිවිෂන් වැඩසටහන් නිතර පාහේ මෝටර් රථ අනතුරු, හිංසන ක්‍රියා, ලිංගික දර්ශන ආදිය ප්‍රේක්ෂකයන්ගේ අවධානය අඩුවීම වැළැක්වීම සඳහා භාවිත කරයි. එසේම නිරන්තර වෙළඳ දැන්වීම් විරාමද ගනු ලැබේ. එනම් පැය භාගයක වැඩසටහනක් නරඹන අපගේ අවධානය බොහෝ වාරයක් කඩමින් මාරු කිරීම වානිජ ටෙලිවිෂනයේ කාර්යයි. ලංකාවේ සියලු ටෙලිවිෂන් වානිජ ටෙලිවිෂන් නිසා මෙය අප කාටත් පොදු අත්දැකීමකි. ඇමරිකාවේ පීබීඑස් වැනි ටෙලිවිෂන් වානිජ චැනල නොවන නිසා අර වැනි නිරන්තර බිඳීම් සිදු නොවේ. එලෙස නිරන්තරයෙන් අපගේ අවධානය පිණිස වෙනස් වෙනස් දේ ලබාදීමෙන් සිදු වන්නේ කුමක්ද? අප කලින් කී පරිදි පැය හතලිස් පන්දාහක් වානිජ ටෙලිවිෂන් බලමින් තිස්පස් වෙනි වියට ආ කෙනෙකුට මෙය කෙසේ බලපානු ඇතිද? සිදුවන බරපතලම හානිය එවැනි අයගේ අවධාන කාල ශක්තිය ටෙලිවිෂනය මගින් හැඩගැස්වීමයි. මහාචාර්ය රගීරෝ විශ්ලේෂණය කළ ඇතැම් ටෙලිවිෂන් වැඩසටහන්වල එක් පැයක් තුළ දර්ශනයෙහි මාරුවීම් 78ක් පමණ සිදුවී තිබේ. මේ මාරුවීම් විවිධ ස්වරූප ගනියි. දෘෂ්ටිකෝණය මාරුවීම්, කැමරා කෝණය මාරුවීම්, පසුබිම මාරුවීම්, ශබ්දය වෙනස්වීම්, තථ්‍ය දර්ශනයක සිට ෆැන්ටසි දර්ශනයකට මාරුවීම්, වැඩසටහනෙන් වෙළඳ දැන්වීම් වෙත මාරුවීම් ආදී වශයෙනි. වෙළඳ දැන්වීම් ඇතුළෙහි සිදුවන යට කී වැනි මාරුවීම්ද සැලකිල්ලට ගත් විට ඇතැම් විට ටෙලිවිෂන් පැයකදී සිදුවන මාරුවීම් 800ක් පමණ ඔහුට හමු වී තිබේ. තප්පර පහළොවක වෙළඳ දැන්වීමක් තුළ මාරුවල සාමාන්‍යය 17ක් යැයි ඔහු කියයි. 

  මේ මාරුවීම් යනු මොනවාද? අපගේ අවධානය පැයක් තුළ ඉතා සියුම් ආකාරවලින් 800ක් සැරයක් 800ක් දේ වෙත පැනීමය. අපි 800 පැත්තකින් තියමු. පැයක් තුළ 200ක් එවන් මාරුවීම් සිදුවීම පවා විශාල ගණනකි. අවුරුදු දහයක් පහලොවක් පුරා දරුවන් මෙවන් ටෙලිවිෂන් අත්දැකීමක් ලබමින් හැදී වැඩීම යනු බරපතල කාරණයකි. අද මේ තත්ත්වය පළමු ලොව රටවල විශාල ප්‍රශ්නයක් ඇති කර තිබෙන බව කියවේ. බරපතල බුද්ධිමය කාර්යයන් සඳහා අවශ්‍ය දීර්ඝ අවධාන කාලයක් දරා ගැනීම යන්න පුරුදු නැති පිරිසක් ඒ සමාජවල සිටිති. අපේ රටේද ඒ තත්ත්වය ඇති වෙමින් පවතින බව තරුණ සරසවි සිසුසිසුවියන් සමග කාලයක් වැඩ කිරීමෙන් මටද අවබෝධ වී තිබේ. තෝරාගත් ගැඹුරු සාහිත්‍ය කෘතිය සෙමින් කියවමින් සියුම් විශ්ලේෂණීය භාවනාවකට ඔවුන් යොමු කිරීම ඉතා දුෂ්කරය. තරමක දිග වෙළඳ දැන්වීමකට සමාන කියමනකට ඇනා කැරනිනා හෝ අපරාධය හා දඬුවම කැටි කර දෙනු ඇතැයි ඔවුන්ගෙන් වැඩිදෙනෙක් අපේක්ෂා කරති. අප රට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයද ඊට දිරි දෙන අධ්‍යාපනයකි. මේවා අප තවම සාකච්ඡාවටවත් ගෙන නැති දරුණු අර්බුද වේ. 

    අද පාසල්වල ඉහළ පන්තිවල ළමයින්ගේ අවධානය බරපතල මාතෘකාවක් තුළ රඳවා ගැනීම ඉතා අමාරු ඇතැම් ගුරුවරු කියති. ඇතැම් ටියුෂන් පන්තිවල නෙක නෙක විනෝද කෑලි ඉදිරිපත් කරන්නට සිදු වී ඇත්තේද මේ නිසා විය හැකිය.  

   වානිජ මාධ්‍ය සංස්කෘතිය විසින් සිදු කෙරෙන තවත් ඒකමානීයතාවක් වෙත අවධානය යොමු කරන්නට කැමැත්තෙමි. ටෙලිවිෂන්වල සාකච්ඡා වැඩසටහන් ඇත. ඒවා කතා සන්දර්ශන හෙවත් ටෝක් ෂෝ යනුවෙන් හැඳින්වේ. මහාචාර්ය රගීරෝ වරක් එවන් ටෝක් ෂෝවලට සහභාගි වන අය පුහුණු කරන කෙනෙකුගෙන් තොරතුරු ගත්තේය.

ඔහු මෙසේ කීවේය: “අපි හිතමු අපි කාගෙන් හරි අහනවා කියල අයවැය පරතරයක් පැවතීම රටට හොඳද නැද්ද කියලා. එතකොට පිළිතුරු දෙන කෙනා කිව්වොත් “අය වැය පරතරයට පුළුවන් ආර්ථිකය උත්තේජනය කරන්න නමුත් ඒකෙන් ආර්ථික මත විශාල බරකුත් පැටවෙනවා” කියල ඒක ටෝක් ෂෝ එකකට හොඳ උත්තරයක් නෙමේ. කියන්න ඕනෙ මෙහෙමයි. “අය වැය පරතරය කියන්නෙ ඉතා හොඳ දෙයක්.” නැත්නම් “අයවැය පරතරය කියන්නෙ ඉතා නරක දෙයක්” කියල. ඔය දෙකෙන් කෝක කිව්වත් කමක්නෑ. අවශ්‍ය වෙන්නෙ සමබර විවරණාත්මක පිළිතුරක් නෙමේ අතිසරල කරපු පිළිතුරක්. එහෙම කිව්වොත් තමයි කියන කෙනා දිහාට අවධානය යොමු වෙන්නෙ. එහෙම කියන කෙනත් ප්‍රසිද්ධ වෙනවා.”

  පිළිතුර “කෝක වුණත්” ටෝක් ෂෝ එකට අදාළ නැත. ටෝක් ෂෝ සන්දර්ශනය ආකර්ෂණීය වන්නේ එවන් ඒකමානීය ප්‍රකාශ ලැබෙන තරමටය. සැබෑ අධ්‍යාපනය යනු එය නොවේ.

  මෙය අපගේ අවධානයට ලක් විය යුත්තකි. අප රට ඇතැම් ටෙලිවිෂන් ටෝක් ෂෝද අතිසරල කියමන් ප්‍රචාරය කරන මධ්‍යස්ථාන වී ඇත්තේ මන්ද යන්නට පිළිතුරක් එතන ඇත. ඊට වඩා බරපතල හානියක් තිබේ. ඒ වූකලි මහජනයා එවන් අතිසරල, ඒකමානීය, ඒකපාර්ශවීය චින්තන මාදිලියකට හුරුවීමය. ඒ නිසා ඔවුන් යමක් ගැන සිතන විදියද අර වැනි ඒකමානීය ස්වරූපයක් ගැනීමේ විවතාව තිබේ. ටෙලිවිෂනයෙහි එන සෑම වැඩසටහනක්ම මෙසේ යැයි මින් අදහස් නොවේ. 


  අප විශ්වවිද්‍යාලයීය මානව ශාස්ත්‍ර පාඨමාලා උගත යුත්තේ අපගේ යුගය විසින් සකස් කරන ලද අපගේ චින්තනමය ඒකමානීත්වය නමැති දුගීභාවයෙන් මිදීමටය.

වැඩිදුර කියවීම්

Vincent Ryan Ruggiero. Beyond Feelings: A Guide to Critical Thinking.

Daniel Coleman. Vital Lies, Simple Truths.


 


Sunday, April 25, 2021

රටේ පදනම ඉවරයි - කිෂාලිගේ ඇසින් අතිඋතුම් මාතෘභූමිය දැකීම - ලියනගේ අමරකීර්ති

 




යම් කිසි සංකීර්ණ නීතිමය කරුණක් ගැන සරල පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විට මම නිතර කියවන තීරු ලිපියක් තියෙනවා. ඒක ලියන්නෙ කිෂාලි පින්ටෝ ජයවර්ධන. ඒ තීරුව පළ වෙන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ. ඒ වගේ ලිපියක් සිංහල පත්තරවල නෑ. මේ සතියේ කිෂාලිගේ ලිපිය ආරම්භ වන්නේ ඉතා සිත්ගන්නා වැකියකින්. එහි අර්ථය මෙයයි: "2015-19 අතර කාලයේදී යම් යම් දූෂණ වංචා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් කළ ගවේෂණවලදී යම් යම් පුද්ගලයන් නීතිවිරෝධී ලෙස ඒ ගවේෂණවලට මැදිහත්වීදැයි සොයා බැලීමට පත් කර ඇති අබේරත්න කොමිසම දැන් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට නීති විරෝධී ලෙස මැදිහත්වීම සුපිරි උත්ප්‍රාසයකි." 

         

    අපේ රට හොරාකාපු උදවිය

 ඇය හඳුනා ගන්නා උත්ප්‍රාසය ඇත්තක්. මේක දැනටමත් කීපදෙනෙක් පෙන්නා දී තිබෙනවා. වේගයෙන් ජනප්‍රියත්වයෙන් ඇද වැටෙන ගෝඨා ආණ්ඩුව මීට වසරකට පෙර පෙනුණ තරම් ස්ථිර දෙයක් නෙමෙයි. ඒ නිසා තව අවුරුදු කිහිපයකින් ඔය කොමිසමේ සභාපති අබේරත්න නැමැත්තාද සුදු කමිස ඇඳ අත්වල මාංචු පැළඳ බන්ධනාගාර බස්වලට නගිනවා බලන්න පුළුවන්. මේ රට පාලනය කරන ප්‍රධාන පක්ෂ දෙකම චෞර වළල්ලක ග්‍රහණයට ලක් වෙලා කියන එක බොරු නෙමේ. සැබෑ මහජන අවදිවීමක් ඇති වූ දවසට ඔය හොරු ඔක්කොම අල්ලන්න පුළුවන්. හොරාකාපු ධනය ආපහු ගන්න පුළුවන්. 

     ඊනියා ලෝක බලවතුන් අපේ හොරු අල්ලගන්න අපට උදව් කරන්නෙ නෑ. සාමාන්‍යයෙන් ලෝකයේ දැනට දේවල් සිද්ධ වෙන විදියට අපේ රට හොරාකාපු උදවිය ජාත්‍යන්තර වශයෙන් අනාවරණය වෙන්න අවුරුදු විස්ස තිහ යනවා. ෆිනෝෂේ, මාකෝස් එළිදරව් වෙන්න කොච්චර කල් ගියාද? මෙහෙ ඉන්න හොරු ඔක්කොම මේක  දන්නවා. ඒ නිසා හොරු ඇල්ලීමේ අර්ථයෙන් විතරක් දේශපාලනේ කරන්න අමාරුයි. ජනතාව සංවිධානය කරන්නයි ඕනෙ.

                              ශිෂ්ටත්වයටත් කැළලක්

අපි කිශාලිගෙ කොලමට යමු. කිෂාලි මෙහෙම කියනවා: අබේරත්න කොමිසමේ ක්‍රියා පිළිවෙළ, ඔවුන් තමන්ගෙ සොයාගැනීම් කරන විදිය, ඒ කොමිසමේ නියෝග ක්‍රියාත්මක කරන්න යන විදිය අවුරුදු සියයට වැඩි ඉතිහාසයක් ඇති අපේ රටේ අධිකරණ පද්ධතිය ඔළුවෙන් හිටවීමකට සමානයි. ඒකත් ඇත්ත. මේක දන්න පොහොට්ටුකාරයො පවා ඉන්නවා. දැනට බලයෙ ඉන්න දූෂිතයන්ට තියෙන නඩු, ඇතැම් මිලිටරිකාරයන් විසින් කරන ලද මානවහිමිකම් උල්ලංඝනය කිරීම් ආදිය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගනු ලැබීම මේ කොමිසමෙන් යෝජනා කෙරෙනවා. මේක නීතියේ ආධිපත්‍යයට විතරක් නෙමේ ශිෂ්ටත්වයටත් කැළලක්. මේ කොමිසම්වල වැඩ කරන ඔය අබේරත්න වගේ අය නිදහස් අධ්‍යාපනයෙ දරුවො. හැම ආණ්ඩුවකම ඉන්න දූෂිතයන්ට ආයතනික සහාය දෙන ඔක්කොම නිදහස් අධ්‍යාපනයෙ දරුවො. පීබී ජයසුන්දරලා, අබේරත්නලා එකම ගම් පලාතකින් ආපු, එකම වගේ පසුබිමක අය. අර පංචමහා බලවේගයේ ගුරු, වෙද, ගොවි පවුල්වල දරුවො. ඒ දරුවො නිදහසින් පසු හැම ආණ්ඩුවකට දූෂිත වැඩවලට උදව් කරන පිරිසක් බවට පත්වීමේ ඛේදවාචකය අපේ අධ්‍යාපනයෙම අර්බුදයක්. අන්න ඒ නිසයි මම 43 වෙනි සේනාංකයට සම්බන්ධ වෙන අය නෛසර්ගිකවම ප්‍රගතිශීලීන් යැයි හිතන්න අකමැති. මේ රට කාලදාන්න දායක වුණු නිදහස් අධ්‍යාපනයේ දරුවන්ගෙ ගණන කෙළවරක් නෑ. අබේරත්න එක මහත්තයෙක් විතරයි. 

  දූෂිතයන්ට සහ මිනීමරුවන්ට එරෙහිව තියෙන මේ චෝදනාවලින් අබේරත්න නිර්දේශ කරන විදියට නිදහස් කිරීම ජාත්‍යන්තර ලෝකය හමුවේ ලංකාවට ඇති ප්‍රතිරූපය තවත් නරක් වෙනව බව කිෂාලි කියනවා. 

ඒ විතරක් නෙමේ, දැන් බලයේ ඉන්න දේශපාලකයන්ගේ සහ හිටපු දේශපාලකයන්ගේ දූෂණ ආදිය පිළිබඳ නඩු නීතිවේදීන් පවා පරීක්ෂාවට ලක් කිරීමට අබේරත්න කොමිසම යෝජනා කරනවා. ඒ කියන්නෙ ඒ නීතිවේදින්ගේ ගෙවල්වලට සැරෙන් කතා කරල එන්න සුදු වෑන් යැවීමක් වෙන්නත් පුළුවන්. මේ වගේ වැඩවලට පොහොට්ටුවාදී නීතිඥයොත් කැමති ඇති. එහෙම අයට තවදුරටත් නීතිඥයන් කියන්න පුළුවන්ද? ඒ නිසා කිෂාලි මෙහෙම අහනවා:

“ කටක් ඇර කියන්නට බැරි තරම් අපරාධ කළ, අපරාධ කළ ටිකදෙනෙකු සහ ඔවුන්ගේ හෙංචය්යන් ආරක්ෂා කර ගැනීමට සමස්ත ජාතියක්ම මේ මිල ගෙවන්නට අවශ්‍යද?”

  ඇය කියන මිල කුමක්ද යන්න තේරෙන්නේ අපේ ජනතාවගෙන් ටික දෙනෙකුට පමණයි. නීතියේ ආධිපත්‍යය, නීතිය ඉදිරියේ සමානත්වය යන වටිනාකම් සහ ඒ වටිනාකම් ආරක්ෂා කරන ආයතන පද්ධතියක් නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ. ඒවා නොකෙළසෙන වටිනාකමක් විදියට ආරක්ෂා වෙන්න ඕනෙ. ඒක තමයි අපි ජීවත් වෙන සමාජ ක්‍රමය දරා සිටින මුල්ගල. ඒ මුල්ගල හෙල්ලි හෙල්ලි හරි තියෙන බව දන්න සමාජෙක තමයි ප්‍රජාතන්ත්‍රවාදය ගැන යම් විශ්වාසයක් තියාගන්න පුළුවන්. කිෂාලිම කියන විදියට ඒ මූලධර්ම නිකම් ව්‍යවස්ථාවක ලියපුවා නෙමේ. ඒවා තමයි අපේ ශිෂ්ටත්වය දරා සිටින පාදම. මේ පාදමට බලයට එන හැම ආණ්ඩුවක්ම එක එක හානි කරනවා. කිෂාලි මේ සතියෙ කතා කරන්නෙ මේ දවස්වල අදාළ වන එහෙම හානි දෙකක්. එකක් අබේරත්න කොමිසම. අනික පෝට් සිටි පනත.  

   කිෂාලි කරන විශාල අනතුරු ඇඟවීමක් අද අපි බොහෝ දෙනෙකුට තේරෙන්නේ නෑ. නීතියේ ආධිපත්‍ය මෙලෙස කෙලසීම ගැන කියමින් ඇය මෙහෙම කියනවා: “මේ වූකලි අපේ ලංකාව විනාශ කෙරෙන ආකාරයයි, අපේ ජාතික රාජ්‍යයෙහි පදනමම අස්ථාවර කෙරෙන්නේ මෙලෙසයි.”

   අපේ ජාතික රාජ්‍යයෙහි පදනමට ලොකු තර්ජනය ඇත්තේ “ඩොලර් කාක්කන්ගෙන්” යැයි පොහොට්ටුකාරයෝ හිතනවා. ඒත් ඇත්ත තර්ජනය එන්නේ කොතනින්ද? කිෂාලි ලස්සන ඉංග්‍රීසියෙන් එහෙම අහනවා. “ඩොලර් කාක්කන්” වෙනුවට ඇය යොදන්නේ විදේශීය කුමන්ත්‍රණකරුවන් යන යෙදුම.

  අපේ ජනතාවට ජාතික රාජ්‍යයේ හෝ ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ පදනම ගැන හිතන්න වෙලාවක් නෑ. වෙසක් එකට දෙන පන්දාහ ගැනයි, අලි වැටයි, වගා පාඩුවලට ලැබෙන වන්දියි ගැන එයාලට හිතන්න වෙලා තියෙනවා. ජනතාවක් එහෙම දේවල් ගැන පමණක් කරදර වෙන පිරිසක් බවට ඌනනය කර හෙවත් ක්ෂුද්‍ර කර තැබීම සංවිධානාත්මක වැඩක්. ගෝලීය ධනවාදයට විතරක් නෙමේ දේශීය ජාතිකවාදියාටත් අවශ්‍ය එහෙම ජන පිරිසක්. අපිට එහෙම ජනතාවක් ඉන්නවා. අර්බුදය ඊටත් වඩා දරුණුයි. නිදහස් අධ්‍යාපනය ලැබුවායි කියන මධ්‍යම පන්තියෙනුත් විශාල පිරිසක් අයිති වෙන්නෙ ඒ ජනතාවට.

     


Tuesday, April 13, 2021

දිලුම් අමුණුගමට එරෙහි මෙම ප්‍රකාශ ඔබ දුටුවාද? ලියනගේ අමරකීර්ති

 



    දෛනිකව කරන ගෙවතු වගා කටයුතු අවසන්ව පැමිණි පසු අද අප්‍රේල් පළමුවෙනිදා යැයි මම සිතින් මවා ගතිමි. එවිට පහත සඳහන් ඡේද දර්ශනය විය.


මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී දිලුම් අමුණුගම, තම හාම්පුතා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් කෙනෙකුට අවශ්‍ය සියලු ගුණාංගවලින් යුතු කෙනෙකු යැයි කීම නිසා දිවයින පුරා බොහෝ දෙනෙක් කෝපයට පත් වී සිටිති. තම ජනාධිපතිවරයාගේ ඉතිරි ධුරකාලය තුළ ඔහුගේ  හිට්ලර් ලක්ෂණ වැඩි වැඩියෙන් ප්‍රකාශ වනු දකින්නට තමන් කැමති යැයි අමුණුගම කළ ප්‍රකාශය බියගෙනදෙන, අශිෂ්ට ප්‍රකාශයක් සේම මුග්ධ ප්‍රකාශයක් සේ බොහෝ  දෙනෙකු දැක තිබේ. මේ වන විට ඔහුගේ ප්‍රකාශයට එරෙහිව පහත සඳහන් පුද්ගලයන් සහ ආයතන විසින් පහත සඳහන් ප්‍රකාශ නිකුත් කරනු ලැබ තිබේ:

  * 

දිවයිනෙහි පිහිටි කීර්තිමත් යටත් විජිත අධ්‍යාපන ආයතනයක් වන ත්‍රිත්ත්ව විද්‍යාලය තම ආදිසිසු දිලුම් අමුණුගමගේ හිට්ලර් වන්දනය නිසා ගැඹුරු ලෙස ශෝකයටද ලජ්ජාවටද පත්ව  ඇති බව නිවේදනය කළේය.

එම විද්‍යාලයෙහි නිවේදනය තව දුරටත් මෙසේ කීවේය: “අධ්‍යාපනයෙහි අරමුණ වියයුත්තේ හිට්ලර් වැනි කිසිම කෙනෙකු යළි කවදාවත් බලයට පැමිණීම වැළැක්වීමය.” 

ඒ මන්ත්‍රීවරයාගේ දේශපාලන චින්තනය සකස් වීමට ත්‍රිත්ත්ව විද්‍යාලයෙහි විෂය මාලාව කිසි ලෙසකින් හෝ බලපෑවේ යැයි නොසිතන ලෙස එම විද්‍යාලය මහජනයාගෙන් ඉල්ලා සිටියේය. එංගලන්ත ක්‍රිස්තියානි පල්ලියේ සහ ක්‍රිස්තියානි ආගමික ආයතන පද්ධතියේ ඉතිහාසය තුළ යුදෙව්-විරෝධී ලක්ෂණ අපමණ සොයාගත හැකි වුවත් දිලුම් අමුණුගම නාසිවාදියෙකු කිරීමෙහිලා මහනුවර ත්‍රිත්ත්ව විද්‍යාලය කිසිම කාර්යභාරයක් ඉටු නොකළ බව ඒ විද්‍යාලයෙහි ප්‍රකාශයෙන් තව දුරටත් කියවිණි.

                                                               *

 

මහනුවර පිහිටි ප්‍රධාන බෞද්ධ පන්සල් දෙක වන මල්වත්ත සහ අස්ගිරිය විහාර අමුණුගමගේ ප්‍රකාශය වහාම හෙළා දැක්කේය. ඒ බෞද්ධ ප්‍රකාශවලට මෙසේ කියවිණ: වසර ගණනාවක දේශපාලන හිංසනය අත්දුටු ලංකාවට හිට්ලර් වැනි නායකයෙකුගේ කිසිම අවශ්‍යතාවක් නැත. තම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා මෙන් ඒ විහාරවල නායක හිමිවරු දිලුම් අමුණුගමගෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කළහ. බෙහෙවින් අර්ථවත් ආකර්ෂණීය පාලි ගාථා උපුටා දක්වා තිබුණු ඒ ප්‍රකාශවලින් කියවුණේ බුදුන් වහන්සේ කිසි කලෙක හිට්ලර් වැනි නායයකන්ට අනුග්‍රහය නොදැක්වූ බවය. බුදුන් දවස එවැනි අශිෂ්ට නායකයෙකු සිටියේ නම් බුදුන් කළේ වහාම ඒ නායකයා දමනය කොට දැහැමි කිරීමය. 


*

           වඩාම අලංකාරවත් බසින් ලියුවුණු ප්‍රකාශය නිකුත් කෙරුණේ දිලුම් අමුණුගමගේ ආසනයෙහිම පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි උපකුලපතිවරයා විසිනි. හිට්ලර්ගේ ගතිගුණ අගය කරන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඇසී පාවාදෙනු ලැබූවාක් වැනි අසරණ හැඟීමක් උසස් අධ්‍යාපන ආයතනයක පාලකයා වන තමාට දැනුණු බව උපකුලපතිවරයා කියා සිටියේය. එතුමා මෙසේද කීවේය:

“විශ්වීය මානවීයත්වය සොයාගන්නට සහ ඒ මනුෂ්‍යයත්වයට ගරු කරන්නට උගන්වන අපගේ විශ්විවද්‍යාලය අහළපහළින්ම ෆැසිස්ට්වාදී දේශපාලකයෙකු මතුව තිබීම ගැන මම ගැඹුරු ලෙස ශෝකයට පත්ව සිටිමි.”

  ප්‍රාඥ ලක්ෂණයෙන් සපිරි උපකුලපතිවරයාගේ ප්‍රකාශනය විසි එක් වෙනි සියවසට උචිත සැබෑ අධ්‍යාපන පරමාදර්ශ පැහැදිලි කළ අතර ඒ පරමාදර්ශවලින් සැදුණු සාමකාමී අනාගතයෙහි හිට්ලර් කෙනෙකුට කිසිම ඉඩක් නොමැති බවද කියා සිටියේය. 

                                    *                      

   මැනවින් උගත් සර්වභෞමික වූද අන්තර්ජාතික වූද රුචිය සම්බන්ධයෙන් නිරන්තර ප්‍රසිද්ධියක් උසුලන දෙරණ රූපවාහිනී නාලිකාව යනු මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය පිළිබඳ අප්‍රසාදය පළ කිරීමට මුලින්ම ඉදිරියට ආ මාධ්‍ය ආයතනයයි. ඒ නාලිකාව අයිති ව්‍යාපාරික ප්‍රකෝටිපතිනිය අර මන්ත්‍රිවරයාගේ ඥාති සහෝදරියක වීම හේතුවෙන් මන්ත්‍රීවරයාගේ අදහස්වලින් තමන් ඈත් වී සිටින බව පෙන්වීමට එම නාලිකාව විශේෂ උත්සාහයක් ගත්තේය. එම නාලිකාව මෙසේ කියා සිටියේය:

"දෙරණ නාලිකාවෙහි අපි සෑම විටෙකම බහුසංස්කෘතික ලංකාවක් සහ ලෝකයක් වෙනුවෙන් පෙනී සිටියෙමු. හිට්ලර් සහ ඔහුගේ දෘෂ්ටිවාද මනුෂ්‍යවර්ගයා අභිමුව ඇති දරුණුම තර්ජනවලින් එකක් යැයි අප නාලිකාව සෑම විටෙකම සලකා ඇත. ලංකාවේ හෝ ලෝකයේ කිසිම තැනක සිටින අංශු මාත්‍රයක් හෝ හිට්ලර් ලක්ෂණ ඇති නායකයෙකුට දෙරණ කිසි කලෙක සහාය නොදක්වනු ඇත. එසේ කරන්නේ නම් එය මනුෂ්‍යයත්වයටද නිග්‍රහයකි. "

      *

වඩාම හෘදයංගම වූද අනුවේදනීය වූද ප්‍රකාශය නිකුත් වූයේ තවත් අමුණුගම කෙනෙකු වෙතිනි. ඒ වූකලි අන් කිසිවෙකු නොව සෝබෝන් විශ්වවිද්‍යාලයෙහි උගත්, විශ්‍රාමික දේශපාලනඥ ආචාර්ය සරත් අමුණුගමය. තරුණ නාසි-අමුණුගම දේශපාලනය වෙත රැගෙන එන ලද්දේ ආචාර්ය අමුණුගම විසිනි. ගැඹුරු ශෝකයෙන් යුතු ආචාර්ය අමුණුගම තම දියණියට අයත් දෙරණ ජාතික නාලිකාවේ පෙනී සිට, තම දේශපාලන පුත්‍රයාගේ මුග්ධකම දැඩි සේ පිළිකුලට භාජනය කළේය. සාමාන්‍යයෙන් බෙහෙවින් ව්‍යක්ත කථිකයෙකු වන ආචාර්ය අමුණුගම දිලුම්ගේ දේශපාලන දෘෂ්ටිය සම්බන්ධයෙන් තම ශෝකය ප්‍රකාශ කිරීමෙහිලා වචන සොයා ගැනීමේ දුෂ්කරතාවකින් පෙළෙන බව පෙනී ගියේය. එහෙත් , හිට්ලර් හෝ එවැනි කිසිම කෙනෙකු ලංකාවට අවශ්‍ය නැති බව ඔහු ඉතා පැහැදිලිව කියා සිටියේය. ඔහු තවදුරටත් මෙසේද ඇඟවීය: තමාගේ චිරප්‍රසිද්ධ අධ්‍යාපනය- මහනුවර ත්‍රිත්ත්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, සෝබෝන් විශ්වවිද්‍යාලය ආදියෙන් ලද අධ්‍යාපනය,- එක්සත් ජාතින්ගේ සංවිධනයෙහි සේවය කිරීමෙන් ලද අත්දැකීම්, නිරන්තර කියවීමෙන් ලද පාණ්ඩිත්‍යය, නිරන්තර ලිවීම නිසා ගොඩ නැගුණු කීර්තිය පමණක් නොව මහනුවර ප්‍රභූවරයෙකු සේ තමාම ලෝකය හමුවේ ගොඩනැගූ අංලකාර ස්වයං- චරිතාලේඛ්‍යය යනාදී සියල්ල තම දේශපාලන අනුපාප්තිකයාගේ විනාඩියක මුග්ධත්වය නිසා ලිහි ඉහිරී ගොස් කඩා වැටුණේය. ඒ ගැනම පමණක් වුව ආචාර්ය අමුණුගම දැඩි සේ ශෝකවන බව පෙනිණි. 

                                                   

                                                                *

මෙවන් ප්‍රකාශන නොයෙක් දෙනා විසින් දිගින් දිගටම නිකුත් වෙමින් තිබේ. ඒ සියල්ලෙන්ම දිලුම් අමුණුගමගේ හිට්ලර් ප්‍රේමය අශිෂ්ටත්වයක්, මුග්ධත්වයක් සේ ගර්හාවට ලක් කෙරේ.


 

                                          ****

මගේ පාඨකයිනි සමාවුව මැනව. ඉහත කී ආකාරයේ ප්‍රකාශ නිකුත් වීමක් සිදු වී නැත. ඉහත ඡේද සියල්ල අද අප්‍රේල් පළමුවෙනිදා යැයි පරිකල්පනය කිරීම නිසා මට පෙනුණ විකාර දර්ශනයක ඵලයක් වේ.  



 


Did you see these wonderful statements agianst Dilum Amunugama? Liyanage Amarakeerthi

    After I got back from my early morning gardening activities, I imagined to today to be the first of April, and I just had the vision of following paragraphs:





 

 

* Kandy district parliamentarian Dilum Amunugama's statement that his boss, president Gotabhaya Rajapaksa, possesses all the attributes required to become a Hitler has angered many people all over the island. The parliamentarian's comments that he expects his boss's Hitlerian qualities to be more pronounced in the remainder of his presidency has been seen as alarming, uncivilized, and, simply, stupid. So far, the statement has triggered following reactions from a diverse group of people and institutions:

 

* Trinity College, Kandy, one of the most renowned colonial schools in the country and the alma mater of idiotic parliamentarian has issued a statement that the college is deeply saddened and ashamed by its former student's admiration of Hitler. "The goal of education," the college said, "is to prevent anyone like Hitler coming into power anywhere in the world ever again. " The college pleaded to the public not to assume that the parliamentarian's thoughts on political pow   After I got back from my early morning gardening activities, I imagined to today to be the first of April, and I just had the vision of following paragraph:er have ever been resulted from anything in the college's curriculum. Even though one may find evidence of anti-Semitism in the history of the Church of England and Christian religious establishment, the TCK has been has had no role in making Mr. Amunugama a Nazi."

* The main Buddhist temples at Kandy immediately denounced Mr. Amunugama's statement. After many years of political violence, the Buddhist statements pointed out,  the country has no need of a Hitler-like leader. Chief prelates at the two temples jointly requested Mr. Amunugama to make a public apology without being an apologist for Nazim. Both statements contained extremely evocative Pali verses to demonstrate the lord Buddhit never advocated a Hilter-like leaders. If there were any such leader the Buddha always tamed them.

 

* The Vice Chancer of the University of Peradeniya, the largest university in the county located in Mr. Amunugama's hometown issued the most elegant public condemnation expressing a sense of betrayal and helplessness that the university felt on hearing the parliamentarian's adoration of Hitlerian qualities. "I am deeply saddened, " the vice chancellor said, " that a fascist politician has risen from the vicinity of our university where students are regularly taught to discover and respect universal humanity." The vice chancellor's erudite statement went onto elaborate on the true goals of 21st century education, and in the peaceful future those educational goals envision, there is no room for a Hitler.

* Derana TV channel, always known for its learned cosmopolitanism, was the first among media institutions to come out expressing its displeasure over the parliamentarian's unfortunate comments. As the parliamentarian was a cousin of the business tycoon that owns Derana, the channel seemed in a hurry to disassociate itself from the parliamentarian's views. "We at Derana, " the channel went on to say, "have always stood for a multicultural Sri Lanka and a world, and has consistently treated Hilter and his ideologies to be the greatst threat to the humanity. And Derana will never support anyone with an iota of Hitlerian attributes in Sri Lanka or anywhere in the world. "


* The most poignant statement against Amunugama came from another Amunugama. He is none other than Dr. Sarath Amunugama, a Sorbonne educated retired politician and an excellent writer. After all, he was indeed the one who systematically groomed younger Amunugama, the Nazi one, in politics. Deeply shocked senior Amunugama appeared on a national TV channel(Derana) to denounce his political progeny's stupidity. Usually eloquent Dr. Sarath Amunugama had constant difficulty in finding words to express his sadness about Dilum's political views, but managed to state clearly that Sri Lanka does not need a Hitler or anyone in that ilk.  He went onto imply the following: His celebrated education,- formative years at Trinity College, four years at the university of Ceylon,  PhD in Sociology,- all his reading and writing, experience at the United Nations, and his self-portrayal as a Kandyan elite all have come undone by a minute of stupidity of his political successor…

* These kinds of statements continue to be issued, I have only cited a few.

***

Sorry people nothing of this sort has happened yet. I just imagined today to be the first of April.

 Amarakeerthi

 

 

 

 

 

Saturday, April 10, 2021

අර්ජුන පරාක්‍රමගේ සාහිත්‍ය දේශනයෙහි බුද්ධිමය ආලෝකය- ලියනගේ අමරකීර්ති

                   

               

   ජාතික සාහිත්‍ය උත්සවයට සමගාමීව ආරාධිත සාහිත්‍ය දේශනයක් පැවැත්වීමේ කටුත්ත මෑතකදී ඇරඹිණි. එය සිදුවූයේ සාහිත්‍ය අනුමණ්ඩලයේ නිලධාරි පාර්ශ්වයේ චින්තන විශ්වය හදිසියේ පුළුල් වීමක් නිසා නොවේ. ඒ අනුමණ්ලයට අලුතින් එක් වූ විචාරාත්මක ශක්තියෙන්ද, ජාත්‍යන්තර ශාස්ත්‍රීය පුහුණුවෙන්ද යුතු තරුණ කීපදෙනෙකු නිසාය. එවන් පිරිසකට සවන්දීමේ ගුණය ඇති රඹුකන සිද්ධාර්ථ හිමි වැනි කෙනෙකු එහි මුලසුනෙහි වැඩසිටීම ඉතා උචිතය. විශ්වවිද්‍යාලවලට නාකි වෙන ගතානුගතිකයන්ට වඩා විවෘත මනසින් සාහිත්‍ය කලා ආදී බුද්ධිමය කටයුතු දෙස බැලිය හැකි පිරිස් එවන් ආයතනවලට එක්වීම සාධනීය දෙයකි. 

   මහාචාර්ය ජයදේව උයන්ගොඩ 2017 අගෝස්තු 30 වෙනිදා පැවැත්වූ සාහිත්‍ය දේශනය පිටු අසූ ගණනක පුස්තිකාවක් සේ මුද්‍රණය විය. ඒ ගැන එදවසම මා ලියූ රචනය මුලින් පුවත්පතකද, පසුව මගේ සිතිවිලි සිතිජය පොතෙහිද පළ විය. විසි වෙනි සියවසේ මුල සිටම ඉන්දියාව සහ ලංකාව අතර පැවති සංස්කෘතික-බුද්ධිමය සම්බන්ධතා ගැන මහාචාර්ය උයන්ගොඩ එදා පැවැත්වූ දේශනය අලුත් කරුණු ගණනාවක් හෙළි කළේය. සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්ම ඔහු කරන ශාස්ත්‍රීය රචනා නිසා අපගේ චින්තන විශ්වය ප්‍රසාරණය විය.

   මෙවර සාහිත්‍ය දේශනය අප්‍රේල් 7 වෙනිදා පැවැතිවිණි. එය පවත්වන ලද්දේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසිනි. එයද රාජ්‍ය සාහිත්‍ය උත්සව සන්දර්භයකදී සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන දේශනයකි. අපගේ ශාස්ත්‍රාලික ලෝකය තුළ සිටින විශිෂ්ට චින්තකයන් දෙදෙනෙකුටම මෙම දේශනයට ආරාධනා කරනු ලැබීම සතුට දනවයි.