Saturday, October 24, 2020
Monday, October 19, 2020
නට්සින්ගේ කතාව යනු හිට්ලර්ගේ කතාව විතරද? ලියනගේ අමරකීර්ති
නට්සින්ගේ කතාව තරුණ පරිවර්තක නිශාන්ත කුලරත්නගේ අලුත්ම පරිවර්තන කෘතියයි. එය ඉතා හෙමින් සැරේ කියවා දීර්ඝ ලිපියකින් සාකච්ඡා කළ යුතු කෘතියකි. එහෙත් මේ ඊට තැන නොවේ. මෙය එහි දේශපාලන අර්ථයක කැටි කරගත් කෙටි තීරුවකි. එම කෘතියේ දෙවෙනි පරිච්ඡේදයේ අපගේ අවධානයට ලක්විය යුතු කරුණක් තිබේ. ඒ මෙයයි: නට්සින් විසින් ජර්මනියේ කරන ලද අතිවිශාල මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුත්තේ හිට්ලර්ගේ විශේෂ ඝාතක කණ්ඩායම්ය යන්න සාමාන්‍යයෙන් විශ්වාස කෙරෙන දෙයකි. හිට්ලර්ගේ මිනීමරු රහස් පොලිසිය වු ගෙස්ටාපෝව සිය උකුසු ඇසින් බලා සතුරන් යැයි සැලකෙන අය අල්ලා ඝාතනය කළ බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එකල ජර්මනිය ගැන චිත්‍රපටිවලින් කෙරෙන්නේද එවැනි චිත්‍රණයකි.
එහෙත් නට්සින්ගේ කතාව නම් මේ පොත ඊට වඩා වෙනස් විදියකට කරුණු වටහා ගන්නට අපට උපකාර වෙයි. ජර්මනියේ සිදු වූ අපරාධවලට සරිලන තරමට නට්සි පක්ෂයේ සාමාජිකයෝ හෝ ගෙස්ටාපෝ පොලිස් මැරයෝ ජර්මනියේ නොසිටියහ. හිට්ලර් විසින් ජාතිවාදී දෘෂ්ටිවාදය වපුරන ලද පසු බොහෝ ජර්මන් වැසියෝ ඒ දෘෂ්ටිවාදය තමන් වෙත අන්තරීකරණය කරගෙන පවත්වාගෙන ගියහ. ඔවුහු මනුෂ්‍ය ඝාතනවලට ස්වේච්ඡාවෙන්ම උදව් කළහ.
මේ කරුණ හොඳින්ම පෙනෙන්නේ ගෙස්ටාපෝ ලේඛනාගාරයකින් හමු වූ ලිපිගොණු 18000ක් පමණ පරීක්ෂා කිරීමේදීය. නට්සින්ගේ මෙවැනි ලිපි ගොණු දහස් ගණනක් මිත්‍ර හමුදා එන්නට පෙර ගිනි තබා විනාශ කර දැැමිණ. එහෙත් වූර්ස්බර්ග් නගරයේ පැවැති මෙවැනි ලේඛනාගාරයක වූ ලේඛන විනාශ කරන්නට පෙර ඇමරිකානු හමුදා ඒ නගරය යටත් කර ගත්තේය. ඒ නිසා ලිපිගොණු විශාල ප්‍රමාණයක් ඉතිරි විය. ඒවායේ එන්නේ නට්සි විරෝධීන් යැයි සැලකෙන හෝ යුදෙව් ජාතිකයන් සමග සම්බන්ධතා ඇතැයි සැලකෙන හෝ අයගේ පෞද්ගලික විස්තරය. ඒවා ඒඒ පුද්ගලයන් ගැන රහස් පොලිස් වාර්තාය.
එහෙත් මේ වාර්තාවල තොරතුරු රහස් පොලීසිය විසින් මහන්සි වී සොයාගත් ඒවා නොවේ. ඇතැම් විට නට්සි පක්ෂයේ සාමාජිකයන් විසින් වාර්තා කරන ලද තොරතුරුද නොවේ. සාමාන්‍ය ජර්මානුවන් විසින් විවිධ හේතු නිසා තමන් අකමැති අයට විරුද්ධව කරන ලද පැමිණිලි ඇසුරින් ඒ බොහෝ වාර්තා සකස් වී ඇත.
හිට්ලර් සම්බන්ධයෙන් කෙනෙකු විහිළු කළේ යැයි කෙනෙකුට ආරංචි වෙයි. ඔහු එය ගෙස්ටාපෝවට හෝ නට්සින්ට වාර්තා කරයි. වයස්ගත කාන්තාවක වසන තට්ටු නිවාසය කෙනෙකුට අවශ්‍ය වෙයි. ඔහු ඈට විරුද්ධව පැමිණිලි කරයි. නට්සින් බලයට පත් වෙන විට යුදෙව්-ක්‍රිස්තියානි විවාහ සම්බන්ධතා පවා නීතියෙන් තහනම් වූවක් නොවේ. බොහෝ දෙනා එවැනි මානව සම්බන්ධතා පැවැත්වූහ. එහෙත් නට්සින් විසින් ජාතිවාදී අදහස් අධිපති අදහස් බවට පෙරලන ලද පසු සාමාන්‍ය ජර්මානුවෝ යටකී මානව සම්බන්ධතා පවා වරදක් සේ දැක පොලීසියට වාර්තා කළහ.
හිට්ලර්ගේ සාර්ථකත්වය යනු ඔහුගේ පොලීසියේ සාර්ථකත්වය නොව ඔහුගේ ජාතිවාදයට ස්වේච්ඡාවෙන්ම සහභාගි වීමට විශාල ජර්මානුවන් පිරිසක් එකඟ කරගැනීමේ සාර්ථකත්වයයි. සීමාන්තික දෘෂ්ටිවාද පතුරුවන නායකයන්ගෙන් සිදු වන විනාශය මෙයයි. රට දේශද්‍රෝහි-දේශප්‍රේමී යනාදි වශයෙන් දෙකට බෙදන දෘෂ්ටිවාදය පතුරු වන ලද පසු තම නායකයා වෙනුවෙන් දේශද්‍රෝහීන් නම් කිරීමේ කාර්ය බාරගන්නා අය එමට සිටිති. එහිදී ඔවුන්ගේ පෞද්ගලික අමනාපකම්, අනුවණකම්, අගතීන්, හීනමානයන් ආදී ඕනෑම දෙයක් බලපාන්නට පුළුවන. නීතියේ ස්වාධිපත්‍යය නැති සමාජයක මේ ඕනෑම මිනිස් අගතියකට දරුණු හිංසක ස්වභාවයක් ගන්නට හැකියාව ඇත.
යම් සමාජයක බහුතරයට අයත් පිරිස මෙවැනි දෘෂ්ටිවාදයන්ට හසුවීම පාලනය කළ යුත්තේ ඒ නිසාය. අපේ රටේ සිංහල සමාජයෙන් මතුවන අන්තවාදී කණ්ඩායම් ගැන විචාරය කරන විට ඇතැම් සිංහල අය අසන්නේ “ලෝකයේ අපි විතරද අන්තවාදී වැඩ කරන්නේ” කියාය. එය ආචාරධාර්මිකව බංකොලොත් ප්‍රශ්නයක් බව ඔවුන්ට වැටහෙන්නේ නැත. එහි ඇගවුම අනික් අය කරන නිසා අපත් කළ යුතුය යන්නය. යම් සමාජයක බහුතරය යැයි සැලකෙන පිරිස නිරන්තර විචාරයකට ලක් කොට තැබිය යුත්තේ ඒ පිරිස අන්තවාදී දෘෂ්ටිවාදවලට හසු වුවහොත් අනෙක් මනුෂ්‍යයන්ට සාපේක්ෂව තමන්ගේ උසස් බව පිළිබඳ කියාපෑම්වලට ඔවුන්ට වැඩි අවස්ථාවක් ඇති නිසාය. බහුතරයට අයත් නොවූවත් ආධිපත්‍යයෙන් වැඩි පිරිස අන්තවාදී අදහස් ගත් විටද එවැනි අවස්ථා පැනනැගි රටවල් අඩුය. එහිලා හොඳම නිදර්ශනය දකුණු අප්‍රිකාවය. තමන් නෛසර්ගිකවද ඓතිහාසිකවද ජානමය වශයෙන්ද උසස්ය යන දෘෂ්ටිවාදය ගැනීමෙන් විනාශව ගිය රටවල් අතර ප්‍රධන වන්නේ ජර්මනියයි.
ජර්මනියේදී ඒ බහුතර දෘෂ්ටිවාදයේ හිංසනයට හිංසනයෙන්ම පිළිතුරු දීමට තරම් විශාල සුළුජාතීන් ප්‍රතිශතයක් සිටියේ නැත. එසේ වී නම් ලංකාවේ හෝ ඝාසා තීරයේ ඇති වූ තත්ත්වයක් වැන්නක් ඇති වන්නට ඉඩ තිබිණි. බහුතරයට අයත් ජනතාවගේ දෘෂ්ටීන් බහුතරයේ දෘෂ්ටීන් වන නිසාම ආධිපත්‍යයට පත් වීම වැලැක් විය යුත්තේ ඒ නිසාය. එය දිගුකාලීන වශයෙන් ගත් කල බහුතරයටද හොඳය. එහෙත් ඒ කාරණය බහුතරයේ බොහෝ දෙනෙකුට වැටහෙන්නේ නැත.
නට්සින්ගේ කතාව කෘතියෙන් පෙනෙන තවත් වැදගත් දෙයක් ඇත. එය නම් හිට්ලර් තම දේශය වෙනුවෙන් දිවා රෑ වෙහෙස වූ දේශප්‍රේමී ජනනායකයෙකිය යන මිත්‍යාවයි. ඔහු ජාතිය වෙනුවෙන් වැය කළේ දවසින් ඉතා සුළු කාලයකි. අනික් කාලය අලසකමින් හෝ ඉඳුරන් පිනවමින් ගත කළේය. රෑ කෑමෙන් බොහෝ විට කළේ චිත්‍රපටි බැලීමයි. එකල මෙකල මෙන් රියැලිටි ෂෝ තිබුණේ නම් ඔහුද කරනු ඇත්තේ ඒවා බැලීමයි. අදත් ඇතැම් ජනාධිපති මාලිගවල සිදුවන්නේ අතිසරල ටීවී ෂෝ බැලීම මිස පොත පත හැදැරීම නොවන බව ප්‍රකට කරුණකි.
ජර්මනියේ ආර්ථිකය ගතයුතු මග ගැන කිසිදු හැඟීමක් හිට්ලර්ට තිබී නැත. ඔහු කළේ විරැකියා ප්‍රශ්නය විසඳන ලෙස ජර්මන් බැංකුවේ සභාපතිට කියා පෑම පමණි. අපේ කට්ටිය ආචාර්ය පීබී ජයසුන්දරට එසේ කියන්නාක් සේය.
හිට්ලර් වැඩිමනත් බුද්ධිමය ජීවිතයකින්ද ක්‍රියාශීලීකමකින්ද යුතු අලස ජීවිතයක් ගෙව්වද ඔහු ජාතිය වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන ජාතියේ පියා යැයි සිතන ජනතාවක් නිර්මාණය කරන්නට ඔහුට හැකි විය. ඔහු ජර්මනිය පිළිකුල් සහගත ජාතිවාදයක් කරා ගෙන ගියේ එසේ සිතන ජනතාවකගේ සහායෙනි.
නට්සින්ගේ කතාව නම් මේ කෘතිය සිංහලයෙන් පළ වීම අපට දේශපාලන කැඩපතක් ලබා දීමක් වැනිය. “ඉතිහාසයෙන් අනතුරු ඇඟවීමක්” යැයි ඒ පොතට උප මාතෘවක්ද ඇත. නට්සි ජර්මනිය යනු එක්තරා කලෙක එක් රටක් සේ නොව කොතැනත් විය හැකි විනාශයක් පිළිබඳ රූපකයක් සේ ගත යුතුය. ඉතිහාසය ඉගෙන ගන්නේ ඒ සඳහා නොවේද? එම කෘතියේ කතුවර ලෝරන්ස් රීස් සිය හැඳින්වීමේ අවසානයේ මෙසේ කියයි:
“නට්සි හිංසනයට සමාන වූ යම් දෙයක් ලෝකයේ කොහේ හෝ තැනක නැවත වාරයක් සිදු විය හැකිද? මා මෙහිදී සිටින්නේ කාල් යැස්පර්ස් සමගය: එය ඕනෑම මිනිත්තුවකදී නැවත වරක් සිදුවීමේ හැකියාව පවතී.”
ඇත්ත පුවත්පත- අගෝස්තු 3 2014
Thursday, October 15, 2020
Moral Imagination and Literature: an Introduction to Ethical Criticism- Liyanage Amarakeerthi
(The text of a speech
delivered at Annual General meeting of the Society for the Integration of
Science and Human Values, (SISHVA) of the Department of Pali and Buddhist
Studies, University of Peradeniya, on August 28,th 2018)
For a long time, SISHVA has been inviting me to give a talk,
but I could not make myself available mainly because I was busy communicating
with other audiences both in speech and writing. This time, however, I made
special efforts to commit myself to doing this.
Wednesday, October 14, 2020
ජාතිවාදය පාලනයට නීතියේ ආධිපත්‍යය- ලියනගේ අමරකීර්ති
ගෝපාල් ක්‍රිෂ්ණ ගාන්ධි යනු මහත්මා ගාන්ධිගේ මුණුපුරාය. දැන් ඉන්දියාවේ අගමැති වන මෝදි මැතිවරණය දිනා දිව්රුම් දෙන්නට පෙර ගාන්ධි මෝදිට විවෘත ලිපියක් ලිව්වේය. එය හින්දු පුවත්පතේ පළ විය. අලංකාර ඉංග්‍රීසියෙන් ලියූ ඒ ලිපිය සම්පූර්ණයෙන් පරිවර්තනය කරන්නට මෙහි අවකාශ නැත. එහි එන කරුණු කීපයක් හෙමින්සැරේ කියවමු.
රොබර්ට් ෆ්‍රොස්ට්ගේ “ආනන්දය” හා “ප්‍රඥාව” යනු කුමක්ද? ලියනගේ අමරකීර්ති
සාහිත්‍ය කලා ආදිය ගැන යම් පහසු නිර්වචනයක් කටපාඩම් වීමත්, එය පරම්පරාවක් විසින් නැවත නැවත කියනු ලැබීමත් හොඳ දෙයක් නොවේ. කෙටිකතාව යනු ඒකීය ධාරණාවකින් යුක්ත රචනාවකියි යන්න බොහෝ දෙනෙකුට කටපාඩම්ව තිබේ. එහි ඇති ගැටලු සහගත ස්වභාවය මම කෙටිකතා කලාව (2018 සරසවි)නම් පොතෙහිදී පෙන්වා දුන්නෙමි. එහෙත් අර කටපාඩම් ප්‍රකාශයෙහි සීමාසහිත බව ගැන මා ඉදිරිපත් කළ අදහස සාහිත්‍ය කලා ලෝකයෙහි පැතිරෙන්නට තව කලක් ගත වෙනු ඇත. නොඑසේ නම් එය අවධානයට ලක් නොවන්නටද ඉඩ තිබේ. අර වැනි අතිසරල කළ අදහස් පාඩම් කරවීම සාහිත්‍ය අධ්‍යාපනය නමින් නිතර සිදු වේ. තරග විභාගවලට ලක්ෂ ගණනක් සිසුන් සූදානම් කරන විට සිදුවන්නේ එයයි.
Tuesday, October 13, 2020
අවංකකමේ හා අව්‍යාජත්වයේ නාට්‍යයක් - ජනේලයෙන් පනින්නද? ලියනගේ අමරකීර්ති
අව්‍යාජත්වය හා අවංකකම තරම් සාහිත්‍ය නිර්මාණයක සාර්ථකත්වයට හේතු වන අන් දෙයක් නැත. තමා හොඳින් දන්නා විෂයයක් හෝ ලෝකයක් පිළිබඳ කරන අවංක ගවේෂණය යම් සාහිත්‍ය නිර්මාණයක් විශිෂ්ටත්වයට පත් කරන්නට හේතු වෙයි. මෙවර යෞවන සම්මාන ලත් නාට්‍යයක් වන ජනේලයෙන් පනින්නද? නාට්‍යය පේරාදෙණිය සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේදී ඉමහත් ප්‍රේක්ෂක ප්‍රසාදය විඳිමින් රඟ දැක්විණ.
Monday, October 12, 2020
මාලන් බණ්ඩාර කපුවත්තගේ නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර
(මේ තියෙන්නෙ 2020 ඔක්තෝබර් 12 වෙනිදා සූම් මගින් පැවති සංවාදයට මා ඉදිරිපත් කරන්නට සිටි අදහස්. එහෙත් කාලය මදිවීම නිසා බැරි උනා.






